ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

සෞභාග්‍යයේ දැක්ම

”නීතිය ශිෂ්ටසම්පන්න සමාජයක අත්තිවාරම වන අතර රටක නීතිය ක‍්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ යහපත සඳහාය. නීතියේ ආධිපත්‍යය යන සංකල්පයේ අරමුණ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීම වන හෙයින් කිසිදු විටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජය නීතියේ ආධිපත්‍යයට බලපෑම් නොකළ යුතුය.
එබැවින් අපගේ රජය නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සෑමවිටම කැපවන අතර කිසිවෙකුටත් නීතියේ ආධිපත්‍යය අභියෝග කිරීමට ඉඩ නොතැබේ.”
(සෞභාග්‍යයේ දැක්ම, පිටුව 70)

උදච කොමිසම

යහපාලන ආණ්ඩු සමයෙහි සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලදුව එහි කොමසාරිස්වරුන් ලෙස විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු පත් කරනු ලැබ තිබේ. මෙම ත‍්‍රිපුද්ගල කොමිසම නියෝජනය කරන උපාලි, දයා සහ චන්ද්‍රා යන අයගේ නම්වල මුලකුරු එකතු කොට ‘උදච කොමිසම’ යනුවෙන් මෙහිලා හඳුන්වනු ලැබීම අවුලක් නොවේ. මක්නිසාද ජනාධිපති කොමිෂන් සභා ඉතිහාසය තුළ ඒ ඒ කොමිසමේ සභාපතිවරයාගේ නමින්ද ජනාධිපති කොමිසම් හඳුන්වන ලද අවස්ථා තිබේ.

ගම්මන්පිල රණවිරුවකු හෝ රාජ්‍ය නිලධාරියකුට ඇන්දවීම

2015 ජනවාරි මස 8 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම” දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අරමුණු වුවද ප‍්‍රකට දේශපාලනඥයකු වන නීතිඥ උදය ප‍්‍රභාත් ගම්මන්පිලගේ පැමිණිල්ලක් පැමිණිලි අංක 545/2020 යටතේ විභාග කිරීමට උදච කොමිසම කටයුතු කිරීම තුළ ගම්මන්පිල රාජ්‍ය සේවකයෙකු හෝ රණවිරුවකු කිරීම කොතෙක් දුරට යුක්තිසහගතද?

‘සාමාන්‍ය’ සහ ‘විශේෂ’ පටලැවිල්ල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා මූලික වශයෙන් දෙවැදෑරුම්ය. කිසියම් කරුණක් සම්බන්ධයෙන් මූලික තොරතුරු ලබා ගැනීම ‘සාමාන්‍ය’ කොමිසමක ලක්ෂණය වන අතර ‘විශේෂ’ පටලැවිල්ල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා මූලික වශයෙන් දෙවැදෑරුම්ය. කිසියම් කරුණක් සම්බන්ධයෙන් මූලික තොරතුරු ලබා ගැනීම ‘සාමාන්‍ය’ කොමිසමක ලක්ෂණය වන අතර ‘විශේෂ’ කොමිසමක් මගින් සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් මගින් ගන්නා ලද තොරතුරු විශ්ලේෂණය කර අදාළ කාරණය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කොට උපදෙස් ලබාදීමක් සිදු කෙරේ. එසේ වුවද උදච කොමිසමේ වාර්තාව සහ නිර්දේශ පිළිබඳ විමසීමේදී එම කොමිසම තමන්ගේ භූමිකාව පිළිබඳ අධි තක්සේරුවක් මත පිහිටා කටයුතු කර ඇති බවක් පෙනේ. ඒ අනුව එම නිර්දේශ ‘කැකිල්ලේ නඩු තීන්දු’ ලෙස සමාජය තුළ හාස්‍යයට ලක්ව තිබේ.

පිටු 2043ක ලියවිල්ල අවුලක් වීම

උදච කොමිසමේ වාර්තාව පිටු 2043කින් සමන්විතය. එය වෙළුම් තුනකින් සහ ලිපි දෝෂ සහ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමේ පරිශිෂ්ඨයකින් සහිත වාර්තාවක් වන්නේය. එම වාර්තාවේ දැක්වෙන ‘පසුබිම’ හැඳින්වීමෙහිලා පිටු පහක් වෙන් කර ඇති අතර පිටු දෙකකට වැඩි සහ පිටු තුනකට අඩු ප‍්‍රමාණයක් වැය කර තිබෙන්නේ 1948 වසරේදී ශ‍්‍රී ලංකාව නිදහස ලැබීම, 1971 කැරැුල්ල, 1975දී යාපනය නගරාධිපති දොරේඅප්පා ඝාතනය කරමින් ඇරඹි එල්ටීටීඊ සංවිධානයේ ක‍්‍රියා සහ 2009 මැයි 19 වන දින යුද්ධය නිමා කිරීම යන කතාන්දර කියා සිටීමය. ඒ තුළින් විවිධ අපරාධ සම්බන්ධ චෝදනාවලට ලක්ව තිබෙන ආරක්ෂක හමුදා සහ පොලිස් සේවයේ නිලධරයන් රණවිරුවෝ යන ලේබලය අලවා ඔවුන්ට හිරිහැර කිරීම පාපකර්මයක් සේ සැලකීමට උත්සාහයක් දරා ඇත. ඒ අනුව දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවේ ආරම්භක හැඳින්වීමම හාස්‍යජනකය.

නීතිපති දෙපාර්තමේන්තුව මොන්ටිසෝරියකට ඇන්දවීම

උදච කොමිසමේ විමර්ශනවලට ලක්වන පැමිණිලි අතරින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලද ඒවාද වෙති. නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන විවිධ අපරාධ සම්බන්ධ සෑම ලිපි ගොනුවක්ම එහි නිලධාරීන් විසින් මනාව පරිශීලනය කර නඩුකරයක් පවත්වාගෙන යාමට තීරණය කරනු ලැබේ. එලෙස නඩු පවරන ලද අපරාධ උදච කොමිසම් වාර්තාවේ දැක්වෙන පරිදි විවිධ අධිකරණවල විභාගයට ලක් කර තිබේ. මෙම කොමිසමේ වාර්තාවේ දැක්වෙන නිර්දේශ අනුව ඍජු හෝ වක‍්‍ර අයුරින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් දමන ලද නඩු ඉල්ලා අස්කර ගැනීම සඳහා යොමු කිරීමක්ද දක්නට ලැබේ. ඒ තුළින් සමාජයට සහ ලෝකයට දෙනු ලබන පණිවුඩය කුමක්ද? නීතිපති දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් සිදු නොකර නඩුකර පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවය. ඒ තුළින් උදච කොමිසම එම දෙපාර්තමේන්තුව මොන්ටිසොරියක් බවට පත්කර දැමීම කනගාටුදායකය.

අධිකරණය හෑල්ලූවට ලක්වීම

කොමිසම් වාර්තාවේ දැක්වෙන පැමිණිලි බොහොමයක් මහේස්ත‍්‍රාත් සහ මහාධිකරණවල විභාගයට ලක්වූ නඩුකර වන අතර ඒවා නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාක්ෂි ඇතිව ගොනුකර ඇති නඩුකරද වෙති. එම නඩුකර නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉවත් කර ගැනීමකට තල්ලූ කර දැමීමේ ක‍්‍රියාවලිය තුළ එම නඩු විභාගයට ගන්නා ලද අධිකරණ හෑල්ලූවට ලක්වීම වැළැක්විය නොහැක.

‘සෞභාග්‍යයේ දැක්ම’ ඝාතනය කිරීම නීතියේ ආධිපත්‍යයට බලපෑම් නොකරන බවට සෞභාග්‍යයේ දැක්ම තුළින් ගෝඨාභය රාජපක්ෂ ජනතාවට පොරොන්දුවෙමින් 69 ලක්ෂයක ජනවරමක් ලබා ජනාධිපති ධුරය ලබා ගනු ලැබුවේය. ඔහු විසින් පත් කරන ජනාධිපති කොමිෂන් සභාවක් වූ උදච කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ හෑල්ලූවට ලක් කිරීම තුළින් සෞභාග්‍යයේ දැක්ම ඝාතනය කිරීමක් සිදුකර ඇත. එමෙන්ම නීතිගරුක සහ විනයගරුක සමාජයක් ගොඩනැගීම දේව වාක්‍යය සේ සලකන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රතිරූපය කුඩු පට්ටම් කර දැමීමට එම කොමිසම කටයුතු කර තිබෙන බවද කිව යුතුය.

පුරවැසි වගකීම

ශ‍්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකු විසින් සිදුකරන ලද කවර ආකාරයක හෝ අපරාධයක් සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමේ බලය අධිකරණය වෙත ලබාදීම ශිෂ්ටසම්පන්න රාජ්‍යයක පරම වගකීමකි. මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිට උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පවතින සියලූ ආකාර අධිකරණ නඩු කටයුතු සම්බන්ධයෙන් කවර ආකාරයක තර්ජනයක් හෝ බලපෑමක් සිදුකිරීමෙන් වැළකී සිටීම ජනතාවගේ බදු මුදල්වලින් දීමනා සහ වරප‍්‍රසාද ලබා ගන්නා ජනතා නියෝජිතන් වන දේශපාලනඥයන්ගේ පරම වගකීමක් වන්නේය. උදච කොමිසම වෙත ලැබුණු පැමිණිලි දේශපාලන පළිගැනීම් හා සම්බන්ධ බවට එම කොමිසම ඍජු හෝ වක‍්‍ර අයුරින් සාක්ෂි දරන අතර එහි නිර්දේශ තුළින් අධිකරණ පද්ධතියට සිදුවන බරපතළ හානිය පිළිබඳ ගැඹුරින් සිතා බැලීම ශ‍්‍රී ලාංකේය සෑම පුරවැසියකුගේම සමාජීය සහ ජාතික වගකීමක් වන්නේය. එහෙයින් ඒ පුරවැසි වගකීම ඉටු කරනු පිණිස සෑම ශ‍්‍රී ලාංකිකයෙකු විසින් උදච කමිටු නිර්දේශ කෙරෙහි අවධානය යොමු කොට අධිකරණ පද්ධතිය අවභාවිත නොකරන ලෙස වත්මන් පාලන අධිකාරයට බලපෑම් කිරීම් අවශ්‍යය. ඥාතීන් සහ ගජමිතුරන් බේරා ගැනීමේ ජඩ අරමුණින් යුතුව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම් සභා පිහිටුවීම නතර කර දමන ලෙසද පාලකයන් වෙත බලපෑම් කළ යුතුය.

අධිකරණ බලයට අපහාස කිරීමක්
නීතිඥ අචලා සෙනෙවිරත්න

ජනාධිපති කොමිසමක් පත් කළ යුත්තේ මොකක් හෝ අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ඒ ගැන සොයා බැලීමටයි. යම් අපරාධයක් වෙලා තියෙනවා නම් ඒ ගැන සොයන්න කොමිසමක් පත් කරන්නේ කුමක් හෝ ප‍්‍රමාදයක් වෙලා තියෙනවා නම් අසාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැතිනම් තමයි කොමිසමක් පත් කරන්නේ. නිර්දේශ සොයන්න නොවේ, ඒ අඩුපාඩු මොනවාද කියලා සොයලා බලන්නයි. ඒ අඩුපාඩු සොයලා ඒ අඩුපාඩු නොවෙන්න හරි මිනිස්සුන්ට සාධාරණයක් කරන්න කුමක් හරි ක‍්‍රමවේදයක් හදන්නයි කොමිසමක් පත් කරන්නේ. නමුත් මේ දේශපාලන පළිගැනීම් කොමිසම හැදුවේම අපරාධකාරයෝ ආරක්ෂා කරන්න විතරයි. ඒ කියන්නේ වින්දිතයන්ට වැරදි කරපු මිනිස්සු බේරා ගැනීමට තමයි දේශපාලන පළිගැනීම් කියන කොමිසම හැදුවේ. එහි නිර්දේශ ටික බැලූවාම හොඳටෝම පැහැදිලි වෙනවා. දැන් මේ නිර්දේශ කරලා තියෙන නඩු විමර්ශන අවුරුදු 10 හෝ 11ක් විමර්ශන කරලා මහේස්ත‍්‍රාත් අධිකරණයට මහාධිකරණයට යොමු කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ නැවත අධීක්ෂණය කරලා ආපු නඩු. ඒ අනුව ජනාධිපති කොමිසමේ සිටින ජනාධිපති විසින් පත් කරන කෙනෙකුට කොහොමද කියන්න පුළුවන් වන්නේ ඒවායේ කිසිම සාක්ෂික් නැහැ කියලා. දේශපාලන පළිගැනීමේ කොමිසම තුළින් කරන ලද හැම විමර්ශනයක්ම කළේ ඒකපාර්ශ්විකයි. කොයි වෙලාවකවත් වින්දිත මිනිසුන් මේවාට ගෙන්නුවේ නැහැ. සාක්ෂි ඇහුවේ නැහැ. ඒ සම්බන්ධයෙන් තියෙන සාක්ෂි අධිකරණයෙන් ගත්තේ නැහැ. තනිකරම විත්තිකාරයෝ නිවැරදිකාරයෝ කරලා සාක්ෂිකාරයෝ සහ වින්දිතයෝ වගඋත්තරකරුවෝ කරලා මේවා කරලා තියෙන්නේ. මේවා ලෝකයේ කොහේවත් සිද්ධ වෙන දේවල් නොවේ. අනෙක් කාරණය වන්නේ ජනාධිපති කොමිසමකට කිසිම බලයක් නැහැ අධිකරණයක නඩු කටයුතුවල බලපෑම් කරන්න. අධිකරණය අබිබවා ගිය ජනාධිපති කොමිසම් ලංකාවේ කියන්න කිසිම බලයක් නැහැ. මේ දැන් කරන්නේ බලහත්කාරයෙන් නිර්දේශ කරලා අධිකරණවලට බලයක් ඇති කිරීමක්. මේ වෙලාවේ නීතිපතිවරයාගේ වගකීම තමයි, අධිකරණයට නඩු යොමු කිරීම කරන්නේ නීතිපතිවරයා, නීතිපතිවරයා අවුරුදු ගණනාවක් නඩු කටයුතු අධීක්ෂණය කරලා විමර්ශනවලට සහයා දීලා නඩු කටයුතු කරන්නේ. ඔහුම අධිකරණයට ඇවිල්ලා නඩුව ඉල්ලා අස්කර ගන්නවා කියලා කියනවා නම් තනිකරම නීතිපතිවරයා කරන්නේ අධිකරණයට අපහාස කිරීමක්. මෙවැනි ජනාධිපති කොමිසම් කියන්නේ අධිකරණ බලයට අපහාස කිරීමක්.

අධිකරණය විනාශ කිරීමක්
නීතිඥ නාමල් රාජපක්ෂ

මහා බලයක් හදා ගන්න, 69 ලක්ෂයක් ජනතාවක් ඡුන්දය ලබා ගත්තාට ගෝඨාභය රාජපක්ෂ කොච්චර පීචංද කියලා හිතෙනවා. මෛත‍්‍රීපාල සිරිසේනටත් මේ වගේ වැඩක් කළේ නැහැ. ඔය වගේ තුට්ටු දෙකේ වැඩක් කරන්න අවස්ථාවක් නැහැ. තමන්ට හිතවත් විනිශ්චයකරුවෙක් දාලා ලංකාවේ හැමදාම කොමිසම් සභා පාවිච්චි කළේ රටේ ධනයයි. ලංකාවේ වගේ රටක අධිකරණයක් පොලිසියක් අපරාධ දෙපාර්තමේන්තුවක් තියෙනවා නම් නඩු විසඳන්න ක‍්‍රමයක් තියෙනවා නම් කොමිසම් සඳහා කුමකටද? ජනාධිපතිවරු කොමිෂන් සභා හැමවිටම දැමීමේ තමන්ට දේශපාලන වාසියක් ගන්න හෝ කල් මරන්න. නමුත් මෙම කොමිසම තුළින් තනිකරම දේශපාලන වාසි ගන්න මෙන්ම තමන්ගේ අය නිදහස් කරන්න හදපු කොමිසමක් මේ ගැන කතා කරලා වැඩක්ම නැහැ. ඒ තරම් ලංකා ඉතිහාසයේ සාමාන්‍යයෙන්, හැම ඒකාධිපතියෙකුගේම ලක්ෂණයක් වන්නේ, එකක් තමයි තමන්ගේ කට්ටිය දාලා වැඩ පෙන්වන එක. දෙවැනි එක වන්නේ ව්‍යාජ සතුරේ මැවීම. උදාහරණයක් හැටියට දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව වැනි සතුරෝ මැවීම. තුන්වැනි කාරණය වන්නේ රටේ ක‍්‍රමවේද කඩා දැමීම. මේක ලංකාවේ ලොකු ඛේදවාචකයක්. ලංකාවේ අවුරුදු සිය ගණනක් මුළුල්ලේ පවතින අධිකරණ ක‍්‍රමය, නඩු අහන ක‍්‍රමය මේ සියලූ දේවල් අවසානයේදී කැබිනට් එක හරහා නිදහස් කිරීමටයි. අර වගේ පැමිණිලිකාරයෝ වැරදිකාරයෝ කිරීමටයි. මේක ඉතාම තුච්ඡු නින්දිත ක‍්‍රියාවක්.

ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ සියල්ල තමන්ගේ වැඩ වෙනුවෙන් විනාශ කිරීමක් තමයි සිදුකරන්නේ. රටට ආදරේ කරන කෙනෙක් රට තුළ පවතින පිළිගත් ක‍්‍රමවේදයන් ආරක්ෂා කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ රටේ ප‍්‍රධාන නීති නිලධාරියා. ඒ පුද්ගලයා පවා තමන්ගේ වැඩය වෙනුවෙන් සවුත්තු කරලා අපහාසයට පත් කිරීමක් තමයි මෙම කොමිසම තුළින් සිදුකරන්නේ. නීතිපතිවරයා යම්කිසි කරුණක් පිළිබඳව නඩුවක් දමන්නේ පොලිසිය නඩු දානවාට වඩා යම්කිසි විමර්ශනයක් කරලයි. මේ කොමිසම හරහා නීතිපති දෙපාර්තමේන්තුව වැඩක් නැති ආයතනයක් බවට පත්ව තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව නඩු දාපු සියල්ල දේශපාලන පළිගැනීම් කියලා තීරණය කළාම එවිට නීතිපතිතුමාට තිබෙන ආත්මය කුමක්ද?

අධිකරණ ක‍්‍රමවේදය හෑල්ලූ කිරීමක්
නීතිඥ උපුල් කුමාරප්පෙරුම

ඒ කොමිසම් සභාවේ ප‍්‍රතිඵල හැටියට නම් ලංකාවේ එහෙම නිර්දේශයක් දෙන්නේ බරපතළ අක‍්‍රමිකතාවක් හැම තැනකම සිද්ධ වෙලා තියෙනවා කියන පදනම තුළිනි. ඒ කොමිසම් වාර්තාව මං කියන්නේ අධිකරණයට අපහාස කිරීමක්. අධිකරණයක් ඉස්සරහ මිනිස්සු වැරදිකාරයෝ වෙන්නේ හෝ නඩු කටයුතු සිද්ධවෙන්නේ රටේ පිළිගත් නීිතියක් ඇතුළතයි. ඒ අනුව නීති සම්ප‍්‍රදායක් තියෙනවා. ඒ නීති සම්ප‍්‍රදාය ඇතුළේ තමයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ. චෝදනා පත‍්‍රයක් දෙනවා. විත්තිකාරයාට චෝදනා කියලා දෙනවා, පැමිණිලිකාරයෝ කවුරුන්ද කියලා දැනුම් දෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කරන සාක්ෂි මොනවාද කියලා කියනවා. ලේඛන හෝ වෙනත් දේවල් තියෙනවා නම් ඒවා මොනවාද කියලා කියනවා. ඊට පසු විත්තියටත් අවස්ථාවක් දෙනවා. ඒ සියලූ කටයුතු විශ්ලේෂණය කරලයි නඩු තීන්දුවක් දෙන්නේ. ඉතිහාසය පුරාවට විවිධ චෝදනා අධිකරණය සම්බන්ධයෙන් තිබුණාට සමස්තයක් වශයෙන් මට කියන්න පුළුවන් අපේ රටේ තිබෙන්නේ දියුණු අධිකරණයක් කියලා. කොමිෂන් සභාවක් දාලා අධිකරණයේ කරන ලද නඩු නැවත විමර්ශනය කිරීමේ අවශ්‍යතාවක් නැහැ. මේ නිසා සිදුවන්නේ සමස්ත අධිකරණ ක‍්‍රියාවලියම සහ අධිකරණ ක‍්‍රමවේදයම බරපතළ විදියට හෑල්ලූවට ලක්වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයන් හකුළන්න ගෙනාපු කෙමනක් මේක. මේ වගේ ක‍්‍රියාපාටි ඉදිරියටත් සිදුවුණොත් රටේ ඉතාම බරපතළ විදියට යුක්තිය අපගමනයක් වෙන්න පුළුවන්. අධිකරණය, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විමර්ශන නිලධාරීන් බයවෙන්න පුළුවන්. මෙහි භයානකකම සම්බන්ධයෙන් ජනතාව නිසි අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුයි.

සමහර සිද්ධි සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් ඇවිත් නැතුව පාර්ශ්වකරුවන්ට සිතාසිත් නිකුත් වෙන්නේ නැතුව ඒ පාර්ශ්වකරුවන්ට විරුද්ධව නිර්දේශ නිකුත් කරන ලද නිර්දේශද මෙහි තිබෙනවා. නීතිවේදයේ මූලිකම සිද්ධාන්තයක් තමයි දෙපැත්තටම සවන් දෙන්න ඕනේ කියන එක. නමුත් දෙපැත්තටම සවන් නොදුන් ඒවාත් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන් නොවන අයත් ඉන්නවා. ගම්මන්පිල කියන්නේ රාජ්‍ය සේවකයෙක් නොවේ. 2015 ජනවාරි 8 සිට 2019 නොවැම්බර් 22 වනතුරු රාජ්‍ය සේවකයන්ට, සංස්ථා සේවකයන්ට, යුද හමුදා නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට ඒගොල්ලන්ට වෙච්ච ප‍්‍රශ්න ගැන තමයි සොයන්න කියලා තිබුණේ. දේශපාලන පළිගැනීමට ලක්වූ ජනාධිපතිතුමා සඳහන් කරන ආයතන විදියට දාලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයයි. ඒක ඇතුළේ පුද්ගලික මිනිසුන් ගැන සඳහන් නැහැ.

නීතිපතිවරයා වෙතට එන විමර්ශන ගොනුවක් නිලධාරීන් දෙදෙනකු හෝ තුන්දෙනකු පරීක්ෂා කරලා තමයි චෝදනා පත‍්‍රයක් දෙන්නේ. ඒ කියන්නේ ඉතාමත් ක‍්‍රමවේදයක් ඇතුලේ තමයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා පත‍්‍රයක් හෝ අධිචෝදනා පත‍්‍රයක් යවන්නේ.