රජිඳු කාශ්‍යප


12 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය මේ ඉරිදා අවසන් වෙනු ඇත. මේ සටහන තබන බ‍්‍රහස්පතින්දා වන විට ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් නවසීලන්තය අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටී. ප‍්‍රතිවාදී කණ්ඩායම තේරීමේ තරගය සත්කාරක එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර 11දා පැවැත්වීමට නියමිත ය.
එහි ජයග‍්‍රාහකයන් කවුදැයි සිතනවාට වඩා එකී තරගාවලියේ අපේ කණ්ඩායමට ලත් තැන ගැන සිතීම වටී. තරගාවලියේ වඩා වැදගත් කාරණය වන්නේ 9 වැනි තැන සිට තරගාවලියට සහභාගි වූ අප කණ්ඩායමට 6 වැනි තැන ලැබීමයි. ඒ ඉලක්කම් කිහිපය මත රැුඳුණ ගෞරවය නොවන්නට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ගැන කතා කරන්නට දෙයක් ඇත්තේ ම නැති ගාණය.


ඔවුන් කණ්ඩායමක් ලෙස තරගාවලිය සැලසුම් කළ ආකාරය සහ ප‍්‍රතිවාදීන් හමුවේ ලත් දුර්වලතාවන් තරගාවලිය පුරාම දැකගත හැකිවූ ප‍්‍රධානතම කාරණා වූවේය. මේ කිසිවකටත් විසඳුමක් පෙනෙන තෙක් මානයක නැත. නිලධාරීන් සහ ක‍්‍රීඩකයන් පවසන කතා එකකට එකක් ගැළපෙන්නේ නැත. අඩුම තරමින් තරගාවලියෙන් තමන් ඉවත් වූ පසු එහි ප‍්‍රතිඵල ගැන විශ්ලේෂණයක් හෝ ඔවුන් අතර සිදුවී නැති බවකි පෙනෙන්නේ. තමන් දුර්වල වූයේ ඇයි හෝ තම සැලසුම් වැරදුණේ කොතැනදැයි යන සාකච්ඡුාවක් හෝ ඔවුන් අතර සිදුව නැති බවකි මාධ්‍ය හමුවේ කී කතා අනුව වැටහෙන්නේ.
මේ කණ්ඩායම ම ඉදිරියටත් යොදා ගන්නේ නම් ඔවුන් පන්දුවට පහරදීමේ දී සහ පන්දු රැුකීමේ දී පෑ දුර්වලතාවන් ගැන අවධානයට යොමු විය යුතුය. එහෙත් එවැන්නක් නැත. දැන් ඔවුනොවුන්ගේ කතාව ඉදිරියේ දී සිදු වෙනවා යැයි පැවැසෙන කණ්ඩායම් නිලධාරීන්ගේ වෙනස්කම් ගැනය.


ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු පවා සිතනුයේ ප‍්‍රධාන පුහුණුකරු සේ ම සහාය පුහුණුකරුවන්ගේ ද වෙනසක් සිදුවිය යුතු බවකි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසන ආකාරයට ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, පිතිකරු පුහුණුකරු ජෝන් ලූවිස්, පන්දු රැුකීමේ පුහුණුකරුවන් වන ස්ටීව් රික්සන් සහ මනෝජ් අබේවික‍්‍රම යන අයගේ සේවයන් අහිමි කිරීමේ හෝ ඔවුන්ගේ ගිවිසුම් කාලය නිමාවන තුරු වෙනත් සේවයක යෙදවීමට ඇති හැකියාව ගැන සොයා බලමින් සිටින බවයි.


මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් කිසිසේත්ම තම තනතුර හැර යෑමට බලාපොරොත්තු නොවන බවයි. 2018 වසරේ දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හී සේවයට එක් වූ හතුරුසිංහගේ ගිවිසුම්ගත කාලය නිමා වීමට තවත් වසරකට වැඩි කාලයක් ඇති බවකුයි පැවැසෙන්නේ.
ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා තරග 33කට සහභාගි වී ඇති අතර ඉන් ජයගත හැකිව ඇත්තේ තරග 10ක් පමණි. තරග 3ක් විසඳුමකින් තොරව අවසන් වෙද්දී පරාජය වී ඇති තරග සංඛ්‍යාව 20කි.
ඔහු යටතේ ප‍්‍රථම වතාවට ඇෆ්ඝනිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමට පරාජය වෙමින් ඉතිහාසයේ පළමු වතාවට ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමේ වරම් ද අහිමි කර ගත්තේය. එමෙන් ම කිසිදු තරගයක් ජය නොගත් තරගමාලා කිහියක් ද ඔහුගේ කාලයේ දී නිමා වුණි.


හතුරුසිංහ මෙරටට කැඳවෙන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දක්ෂතාවෙන් අඩු මට්ටමක සිටිය දී ය. ඔහුගේ පැමිණීමෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලූ අපලයන් දුරු වෙනු ඇතැයි විශ්වාස තැබූවෝ අපමණය. ඒ ඔහු ඉතා බලසම්පන්න පුහුණුකරුවෙක් ලෙසින් ඒ වන විට තබා තිබූ විශ්වාසය නිසාය.


එහෙත් හතුරුසිංහ මෙරටට පැමිණ කළේ තමන්ට අවශ්‍ය ආකාරයේ පහසුකම් සලසා ගැනීමත් තම අභිමතයන් කණ්ඩායම මත ඇතිරීමත් ය. ඔහුට කණ්ඩායම බාර දෙන්නේ තේරීම් කමිටුවට බලපෑම් කිරීමේ බලයක් ද සහිතවය. ඔහු පළමුවෙන් ම කළේ නායකත්වයෙන් ඉවත් ව සිටි ඇන්ජලෝ මැතිව්ස් නැවත නායකත්වයට පත් කරන ලෙස ක‍්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම ය. ඒ අනුව මැතිව්ස් නැවත නායකත්වයට පත්වෙන අතර එතැන් සිට සියලූ දේ මැතිව්ස් කර පිට තබා නිදහස් වීමට ඔහු සෑම අවස්ථාවක ම කටයුතු කළේය.


එහි උච්චතම අවස්ථාව වූයේ පසුගිය වසරේ නිමා වූ ආසියානු කුසලානයේ පරාජය මැතිව්ස් මත පැටවීමට ගත් උත්සාහයයි. එහෙත් මැතිව්ස් එවර නිහඬ වූයේ නැත. ලත් පරාජයට පුහුණුකරු ද වගකිව යුතු බැව් පවසමින් මැතිව්ස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් ලිඛිතව දැනුවත් කරන්නේය. එම සිදුවීම මැතිව්ස්ට නැවත නායකත්වය අහිමිවීමට තරම් බලපාන්නේය. ඒ ක‍්‍රිකට් බලධාරීන්ට මැතිව්ස්ට වඩා හතුරුසිංහ වැදගත් වූ බැවිනි.


එවන් තත්ත්වයක පුහුණුකරු බේරා ගැනීමට ලකුණු ගැසූ ක‍්‍රීඩකයෝ ද කණ්ඩායමේ බිහිවුණි. ඔවුන් රටටත් වඩා සිතුවේ පුහුණුකරු හතුරුසිංහ ගැන ය. ලකුණු ගැසූ කල එහි ගෞරවය පුහුණුකරුට ලබා දීමටත් නොගැසූ කල හීන් සිරූවේ ක‍්‍රීඩා විවේකාරයට ඇදීයාමටත් ඔවුහු පුරුදු වූහ. මේ පුහුණුකරුවෙක්ට තරම් නොවන කාරණාවන්ය.


එපමණක් නොව අවස්ථා දෙකක දී ම ලෝකයේ වීනීත ම කණ්ඩායම ලෙසින් සම්මානයට පාත‍්‍ර වූ කණ්ඩායමට ඒ වෙනුවෙන් ම දඩ කෑමට අවස්ථාව උදා කිරීමට හතුරුසිංහ කටයුතු කළ ආකාරය මතකය. ඒ අවස්ථාවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් හතුරුසිංහ ඉදිරියේ නිහඬ වූයේ ඔවුගේ ක‍්‍රියාව අනුමත කරමිනි. නමුත් එකී වරද හේතුවෙන් ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් දඬුවම් විඳි අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයෝ නිහඬව සිටියහ.


මේ හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මත තම ආධිපත්‍යයය පැතිරූ ආකාරය ය. එදා අප හතුරුසිංහගෙන් බලාපොරොත්තු වූයේ දියසෙන් කුමාරයා සේ පැමිණ ක‍්‍රිකට් ගොඩ ගනිතැයි කියාය. හතුරුසිංහට බාර දුන්නේ නාය යන දක්ෂතා ගොඩ ගැනීමටය. අනාගතයට හොඳ ආදේශකයන් බිහිකිරීමටය. එහෙත් හතුරුසිංහ කළේ දියසෙන් කුමාර ලීලාවෙන් පැමිණ වෙනත් කෙනෙක්ගේ වැඩ කොටසක් කිරීම ය.


ප‍්‍රමාද වී හෝ ක‍්‍රිකට් පාලකයෝ ඒ බැව් වටහා ගැනීම වටී.