රසික ගුණවර්ධන


පසුගිය සතියේ දියවන්නාවේ බෝට්ටු අනතුරකින් මියගිය පුද්ගලයෙකු පිළිබඳව මාධ්‍ය හරහා තොරතුරු වාර්තා විය. ඇතැම් මාධ්‍ය සඳහන් කළේ මියගිය පුද්ගලයා අනවසරයෙන් පොල්දූව පාලම යටින් දමා ඇති ආරක්ෂිත දැල ඉවත් කර අධිආරක්ෂක කලාපයට ඇතුළු වී ඇති බවය. තවත් තැනක සඳහන් වූයේ ඔහු සොරකම් කිරීම සඳහා එසේ අධිආරක්ෂිත කලාපයට ඇතුළු වී ඇති බවය. කෙසේ වෙතත් අධිආරක්ෂිත කලාපය තුළදී අදාළ පුද්ගලයා මියගොස් තිබුණේ ආරක්ෂක අංශ බෝට්ටුවක ඔහු ගමන් කළ ඔරුව ගැටීමෙනි. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා මියගිය පුද්ගලයාගේ සමීපතමයන් උද්ඝෝෂණය කළේ මෙය හිතාමතා සිදු කළ අනතුරකින් සිදුවූ මරණයක් බවත්, එයට සාධාරණයක් ඉටුකරන ලෙසත් ඉල්ලමින්ය. අපි ඔවුන්ගේ හඬට කන් දෙන්නට රාජගිරිය, වැලිකඩ, බුත්ගමුවට ගියෙමු.


තැනින් තැන කඩින් කඩ ඇද හැලෙන වර්ෂාව අප තෙමාලන්නට විය. තෙත බරිතවම අප සොයා යන්නේ ඒ මියගිය මිනිසාගේ නිවසය. ඔහු නමින් රාජේන්ද්‍රන් රවීන්ද්‍රන්ය. අසල්වැසියන්ට රවී ය. රවීගේ නිවසට බුත්ගොමුවේ හරස් පාරෙන් හැරී ඒ හැටි දුරක් නැත. දියවන්නාවට සම්බන්ධ බුත්ගොමුව ඇළ අද්දරින් වැටී ඇති කුඩා මාර්ගය ඔස්සේ කෙළවරටම ඇදී ගිය විට රවීන්ද්‍රගේ නිවස පිහිටා ඇත. මාර්ගයේ අද්දරම රවීගේ මරණ දැනුම් දෙන බැනරයකි. එහි දැක්වෙන පරිදි රවීන්ද්‍රගේ වයස කියනුයේ අවුරුදු විසි අටකි. එතැන් පටන් රවීන්ද්‍රගේ නිවස දක්වා වැටී ඇති මාර්ගය දිගේ තැනින් තැන අල්ලාප සල්ලාපයේ යෙදෙන තරුණ පිරිස්ය. රවීන්ද්‍රගේ නිවසට අපට පාර කියන්නේ ඔවුන්ය. බුත්ගමුවේ රවීන්ද්‍රලාගේ නිවෙස්, කුඩා මාර්ගය සහ ඇළ එකිනෙකට හාදකම් කියන්නේ කිටි කිටියේ තුරුලු වෙමින්ය. ඒ හාදකම ඕනෑවට වඩා දුර ගියහොත් රවීන්ද්‍රලාගේ නිවෙස්වලට වන්දි ගෙවන්නට සිදුවන බව කියන්නේ මාර්ගය අවසානයේ තැන් කිහිපයක්ම තරමක විශාල දිය පිරිණු වළවල්ය. වළවල් කීවාට ඒවා දියවන්නාවේ අවශේෂ අතු වැනිය.


මේ අතරින් යන අපට රාජේන්ද්‍ර රවීන්ද්‍රන්ගේ නිවස එක එල්ලේම හඳුනා ගැනීමට හැක්කේ ඒ නිවස වටා එක්රොක් වී සිටින පිරිස නිසාය. රාජේන්ද්‍රන්ට තමන්ගේ හිතවතුන් හැරදමා යාමට සිදු වූවද වත්තේ මිනිසුන් රාජේන්ද්‍රන්ගේ ආදරණීයයන් තනිකර නැත.


තැනක ඇන තියාගෙන කල්පනාවේ නිමග්න මහලු ස්ත්‍රියකි. ඊට නුදුරින්ම තවත් තැනක ලෑලි නිවසට වාරුවී දියවන්නාව දෙස බලා සිටින මහලු මිනිසෙකි. දියවන්නාවත් වත්තේ මිනිසුනුත් අතර ඇති ඇයි හොඳයිය මේ මහලු මිනිසුන්ටත් වඩා මහලු බව නිසැකය. එහෙත් මේ නස්පැත්තිය වත්තට ගෙන ආවේ මේ තරමටම තමන්ගේ ජීවිතවලට හාදකම් කියන දියවන්නාව බව ඔවුන්ට විශ්වාස කළ නොහැක්කාට සැක නැත.


රාජේන්ද්‍රන්ගේ නිවස අඩි දහයේ දහයේ කාමරයක් තරමට කුඩාය. ඒ කුඩා නිවසේ ලෑලි බිත්තියකින් වෙන් කළ කොටස් දෙකකි. ඉදිරිපස කොටසේ නිවසේ මුල්ලක තැබූ කුඩා නොඋස් ටීපෝවක තැබූ රාජේන්ද්‍රන්ගේ පින්තූරයකි. එය ඉදිරියේ දැල්වූ පහනකි. ඒ කුඩා කොටසේ අඳුර පලවා හැරීමට දැල්වෙන පහනට අමතරව තවත් කුඩා විදුලි බුබුලක් දල්වා ඇත. විදුලි බුබුල සේම පහනද දැල්වුණද ඒ කුඩා ඉඩ තවමත් ඇත්තේ පාලුවේ ගිලීය. දොර අසලින් තැබූ පුටු කිහිපයක ඈඳිගෙන ඇත්තේ අසල්වැසි කාන්තාවන් කිහිපදෙනෙකි. ඒ අතර විදුලි බුබුලේද දැල්වෙන පහනේ මලානික එළියෙන්ද පහස නොලබන පිටුපස කොටස ඇත්තේ අඳුරේ ගිලීය.


ඉදිරිපස කොටසේ සුදු උඩු වියනක් ඇද ඇත්තේ ප්‍රාණය නිරුද්ධ වුවත් රාජේන්ද්‍රන්ගේ සිරුර නිවසට ගෙන ඒමට ඔහුගේ ආදරණීයන්ගේ ඇති බලාපොරොත්තුව නිසාය.


නිවස තුළින් ඇසෙන්නේ සිහින් ඉකිබිඳුමකි. ඊටම මුසුවූ කුඩා දරුවෙකුගේ හැඬුම් ස්වරයක්ද ඇසේ. හේ රාජේන්ද්‍රන්ගේ බිරිඳය. හඬන කුඩා දරුවා රාජේන්ද්‍රන්ගේ මසක් නොවයස් කිරිසප්පයාය. රාජේන්ද්‍රන්ට දරුවන් දෙදෙනෙකි. අනෙකාට පස් වස් පිරී ඇත.


“තණ්හාවට ගිය ගමනක් නෙමේ. කන්ඩ දෙයක් නෑ කියල ගියෙ.” ශානිකා, රාජේන්ද්‍රන්ගේ බිරිඳ පවසයි. ඇය හැඬුම් වාර කිහිපයකට පසු තමන්ගේ වචන ගලප්පා ගත්තාය.


“එයා රෑ දොළහට විතර තමයි ගෙදරින් ගියේ. එවලෙම කරන්ට් එකත් ගියා. එදා අපි නිදාගත්තෙම නෑ. ඇහැරන් හිටියෙ. අල්ලපු ගෙදර මහත්තයත් එක්ක තමයි අපේ මහත්තයත් ගියෙ. එයාල ගිහින් පැයක්වත් ගියෙ නෑ. එහා ගෙදර මහත්තයගෙ වයිෆ් කෑ ගහගෙන ඇවිල්ල කීව, ශානිකා….. ශානිකා……. වරෙන් රවීල ගඟේ වැටිල, රවීව හොයා ගත්ත ජෙස්ටර් තමයි නැත්තෙ කියල. මමත් අඬාගෙන දිව්ව. එයාගෙ මහත්තය වුණත් පවුනෙ. බලද්දි ජෙස්ටර්, එයාගෙ මහත්තය ඉන්නව. මගෙ මහත්තය නෑ.” ශානිකා නැවතත් සංවේදී වේ. ඈ වයස අවුරුදු විසි දෙකක තරුණියකි. ජීවිතය පටන් ගත්තා පමණි.


“අපි නිල් පාලම උඩට ගියා. එතනින් ගිය පොලිස් වාහනේකට අතවනල කීව මගේ මහත්තය ගඟේ වැටුණ හොයල දෙන්න කියල. ඒ අය ජීප් එකෙන් බැස්සෙවත් නෑ. පැයක් විතර ජීප් එකට වෙලාම හිටිය. ඔතනින් යන්න අපි හොයල දෙන්නම් කියල විතරයි කීවෙ.” ඒ අඳුරු රැයේ මතක ඈ පෙළගස්වයි.


“දැන් එයාට කොරෝන කියල අපට මිනිය දෙන්නෙ නෑ. මම කීව මගේ මහත්තයට කොරෝන නෑ. එයාව පුච්චන්න එපා වළලන්න කියල. එයාව වළලපු තැන බබාලටයි මටයි ගිහිල්ල බලල මල් ටිකක් තියල වැඳල එන්න පුළුවන්නෙ. එක දවසක් මහත්තයගෙ තුරුළෙ ඉන්න දෙන්න.” ඇය වැලපෙයි. යෙහෙලියකට වාරු දී වැලපෙයි.


“එයාව පුච්චනව කියල ආරංචි උනොත් ළමයි දෙන්නයි මමයි පැට්‍රල් දාල ගිනි තියාගන්නව කියල කීව. එතකොට වැලිකඩ පොලිසියෙ ඕඅයිසී මහත්තය කීව, තමුසෙ ගිනි තියාගන්නව මට මොකෝ කියල. තමුසෙල අපේ කවුරුත් නෙමේනෙ කීව.” හයක් හතරක් නොතේරෙන කිරිසප්පයන් දෙදෙනෙකු සමග ශානිකා තනිකර දමා රාජේන්ද්‍රන් ඔවුන්ගෙන් පැහැරගෙන ගොස්ය.


අප ශානිකා සමග කතාබහ කරන අතරතුර අසල් වැසියන් කිහිපදෙනෙක්ද අප වටා රොක් වූහ. ඔවුහු ශානිකාට මඟ හැරෙන දෑ කඩින් කඩ මතක් කර දෙති. ඒ ගැහැනුන් එකෙකු දෙන්නෙකු අප සමග තවත් තොරතුරු පවසන්නට විය.
ඈ නමින් ජෙන්සි ය. අසල්වැසි කාන්තාවකි.


“අපි ඉපදිච්ච ගම මේක. අපේ රස්සාව මාලු අල්ලන එක. අපිට මාලු අල්ලන්න බලපත්‍ර තියනව. මේ ගඟ අපට හුරුයි. නිවුස් වලට කියන්නෙ අපි ආරක්ෂක ගේට්ටුව කඩාගෙන මාලු අල්ලන්න ගියා කියලා. ඒ බොරු. ඒ ගේට්ටුව හැම වෙලේම ඇරල තමයි තියෙන්නෙ. මොකද මේ පැත්තෙ මාලු නෑ. ඒක අධිආරක්ෂක කලාපයක් කරා කියල අපි හොරකමේ යන්නෙ නෑ. කිසිම හොරකමක් මේ වෙනතුරු වෙලා නෑ.”


ඇය පවසන ආකාරයට ආරක්ෂිත වැටේ ඇති ගේට්ටුව විවෘතව තබා ගැනීම ආරක්ෂක අංශත් ධීවරයනුත් අතර සන්තෝසම් ලබාදීමේ එකඟතාව මත සිදුවී ඇත්තකි.


“ඒ ගේට්ටුව ඇරල තියන්න ඒ අයට අපි අරක්කු දෙන්න ඕනෙ, සල්ලි දෙන්න ඕනෙ. සමහර වෙලාවට බත් උයල දෙන්න ඕනෙ. අපේ මහත්තයගෙ අතේ මම බත් උයල යවල තියනව. ඒ ඔක්කොම දීල තමයි අපි ගේට්ටුව ඇරගෙන කාටවත් කරදරයක් නැතුව මාලු අල්ලගෙන එන්නෙ.” ඇය පවසයි.


රාජේන්ද්‍රන්ගේ මරණය මේ ආකාරයට මාලු අල්ලන්නට ගොස් සිදුවූ පළමු මරණය නොවේ. මීට පෙර ජානි නම් අයෙකු මාලු ඇල්ලීමට ගොස් සිටියදී පොලීසියෙන් පන්නන විට ගඟට පැන දියේ ගිලී මියගොස් ඇත. රාජේන්ද්‍රන්ගේ මරණය සිදුවන්නේ ජානිගේ මරණය සිදුවී උණුසුම මැකී වසරක් යන්නටත් පොරොත්තුවය.


රාජේන්ද්‍රන් සමග ඔරුවේ ගමන් කළ අනෙක් සගයා මදුෂාන් පියරත්නය. මදුෂාන් එදා සිදුවීම ගැන කියන්නේ මෙසේය.


“අපි පළවෙනි දැල දාද්දි යුධ හමුදාවෙ කට්ටිය අපිව දැක්ක. ඒ අය ටෝච් එක ගහල යනවද අපි එන්නද ඇහුව. අපි “හරි සර් යන්නම්” කියල ඇවිල්ල, පල්ලෙහට ඇවිල්ල තව දැලක් ගැහුව. ඒක පන්නන සද්දෙ එයාලට ඇහුණ. එයාල ආපහු ටෝච් එක ගැහුව. අපි දැක්ක එයාල බෝට්ටුවට නඟිනව, එයාල ටෝච් එක ගහගෙන බෝට්ටුවෙන් අයින දිගේ හිමීට ආව. ඊට පස්සෙ මීටර් සීයයක් විතර තියල බෝට්ටුවෙ වේගෙ වැඩි කළා. අපි කෑ ගැහුව, දැලක් දාල තියෙන්නෙ, හෝ…හෝ.. කියල.


එයාල ඒව ගණන් ගන්නෙ නැතුව වේගෙ වැඩි කරගෙනම අපේ ඔරුව උඩින් ගියා. එතකොටම පැනපන් කියල කෑගහගෙනම මම ඔරුවෙන් පැන්න. රවීට පැන ගන්න පුළුවන් උනාද, මොනව උනාද කියල මම දන්නෙ නෑ. මම යට ගිහිල්ල උඩට එද්දි එයා හිටියෙ නෑ. මම කෑ ගැහුව. එයාල අපිව හප්පල අනිත් පැත්තෙන් ඇවිල්ල බෝට්ටුව නවත්තගෙන හිටිය. මම කීව අනිත් කෙනා නෑ පොඞ්ඩක් බලන්න කියල. එයාල ගණන් ගත්තෙ නෑ. කුණුහරුපෙන් බැනල, ආපු විදිහකට පලයල්ල කියල ගියා.


ඊට පස්සෙ මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ. මම බටේ ගහගෙන මෙහාට එද්දි අපේ දෙන්නෙක් මාලු අල්ල අල්ල හිටිය. ඒ දෙන්නට විස්තරේ කීවහම ඒ අය තමයි වත්තට කෝල් කරල පණිවිඬේ කියල තියෙන්නෙ.


අපි කොච්චර ඔතන මාලු අල්ලන්න යනවද. නේවි එකේ අය ඔහොම කරන්නෙ නෑ. එදා ආවෙ නේවි එකේ අය නෙවේ. යුධ හමුදාවෙ අය. යුධ හමුදාපතිගෙ ගෙදර වැඩ කරන්න හිටපු තුන්දෙනෙක් තමයි ආවෙ.


ඒ වෙලාවෙ වහිනව. ඒ අයගෙන් එක්කෙනෙක් නිල්පාට කුඩයක් ඉහළගෙන තුන්දෙනාම හමුදා ඇඳුම් ඇඳගෙන හිටියෙ. ඒ අයගෙ මූණු හරියට දැක්කෙ නෑ. කොහොම හරි එදා රෑ දොළහත් එකත් අතර හමුදාපතිගෙ ගෙදර සිකුරිටි තුන්දෙනෙක් තමයි අපිව හැප්පුවෙ.” මදුෂාන් කියයි.


සිද්ධියට මුහුණ දුන් දැනට ජීවතුන් අතර සිටින එකම කෙනා මදුෂාන්ය. ඔහු පවසන ආකාරයට අදාළ සිදුවීම හදිසි අනතුරක් නොව සිතාමතා සැලසුම් සහගත සිදුකරන ලද්දකි. මධුෂ්ගේ ප්‍රකාශයට අනුව රාජේන්ද්‍රන්ගේ මරණය යුධ හමුදා නිලධාරීන් විසින් සිතා මතා සැලසුම් සහගතව සිදු කළ මිනී මැරුමකි!
මෙය රණවිරු ගායද? හමුදාපති ළඟ සිටින නිසා උණද? කියන්නට අපි නොදනිමු.


“බෝට්ටුව හප්පගෙන ගිහිල්ල තියෙන්නෙ ඔරුව උඩින්, එයාල කියනව බෝට්ටුව ඩැමේජ් නෑලු. කවදාවත් ගින්ඩිය වදින්නෙ නෑ ඔරුවක, යට බලන්න එපෑනෙ ඩැමේජ් එක.” ජෙන්සි පවසයි.


මෙම සිදුවීම සිදුවන්නේ යුධ හමුදාපතිවරයාගේ පුද්ගලික නිවස ඉදිරිපිටය. යුධ හමුදාපතිවරයාගේ නිවස ආරක්ෂා කරනවා කියා රටේ නීතියට ඉහළින් යන්නට ඔවුන්ට බලයක් ලැබෙන්නේ කෙසේද?


යමෙකුට මෙම අනතුර එකී යුධ හමුදා නිලධාරීන් නොදැනුවත්ව සිදු වූ අනතුරක් ලෙස උපකල්පනය කළ හැකි වුවත්, එම නිලධාරීන් අනතුරෙන් පසු තමන්ගේ බෝට්ටුව හරවා නවතා සිටි විට, අනතුරට පත්වූ අය උදව් ඉල්ලූ අවස්ථාවේදී එතැනින් පිටවී යන්නට යෙදුණේ ඔවුන් තුළ තිබූ ඒ අශීලාචාර බලාපොරොත්තුව නිසා නොවේද? ඔවුන් එතැනින් පලා ගියේ කුමන සදාචාරයකට යටත්වද?


“අපි කියන්නෙ නෑ අපි අධිආරක්ෂක කලාපයට ගිය එක හරි කියල. අපි එතනට ගිය එක වැරදියි. රජයට නීතියක් තියනවනෙ, මෙයාලගෙ ඔරුව ගන්න ඕනෙ. මෙයාලගෙ දැල් ගන්න ඕනෙ. මෙයාලව උසාවි දාන්න ඕනෙ. කනේ පාරක් ගහල හරි, කකුලක් අතක්පයක් කඩල හරි ජීවිතේ බේරගන්න තිබුණ.” අයෙකු පවසයි.


“අපි පාලම උඩ ඉද්දි කවුරුත් උදව්වට ආවෙ නැති නිසා 119ට කෝල් කරල කීව. එයාල කීව පොලිසියට ගිහිල්ල පැමිණිල්ලක් දාන්න කියල. මනුස්සයෙක් වතුරෙ ගිලෙද්දි පැමිණිලි දදා ඉන්න පුළුවන්ද?” අයෙකු ප්‍රශ්න කරයි.
වත්තේ මිනිසුන්ට ඔවුන් එකිනෙකා තමන්ගේ පවුලේ සාමාජිකයන් සේ සමීපය, හිතවත්ය. මේ නිසා වත්තේ සියලු දෙනාගේ සිත් හඬවන්නට රාජේන්ද්‍රන්ගේ හැරයාම සමත්ව ඇත. ඔවුන් එකාමෙන් රාජේන්ද්‍රන්ගේ මරණයට සාධාරණයක් ඉල්ලන්නේ ඒ නිසාය. අද මෙය රාජේන්ද්‍රන්ට වුවත් හෙට මෙයට ඔවුන්ට මුහුණදීමට සිදු නොවෙතැයි කිසිවෙකුට නම් පැවසිය හැකිද?


“අපි පාරට බැස්සෙ සල්ලි ඉල්ලන්නවත්, වන්දි ඉල්ලන්නවත් නෙවේ. අපිත් මේ ලංකාවෙම මිනිස්සු. අපටත් සාධාරණයක් වෙන්න ඕනෙ. එයාල මේ කතාව යට ගැහුවත් අඩුම ගානෙ මිනියවත් අපට දෙන්න. අපට පීසීආර් රිපෝට් එක පෙන්නුවෙ නෑ. පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව පෙන්නුවෙ නෑ. ඒ මුකුත් නැතුව වයිෆ්ටයි, තව දෙන්නෙකුටයි එන්නලු පුච්චල දාන්න. අපිට එහෙම කරන්න දෙන්න පුළුවන්ද?” ජෙන්සි අසයි.


මොවුන් පසුගිය සිකුරාදා (13) මහා මාර්ගයට පැමිණ උද්ඝෝෂණයේ නිරතවන්නේ රාජේන්ද්‍රන්ගේ මරණයට සාධාරණයක් ඉල්ලමින්ය. එම ස්ථානයට වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පැමිණ පිරිසට තර්ජනය කර ඇත.
“ඉස්සරහට අම්මලට පුත්තු නැතිවෙයි, ගෑනුන්ට මිනිස්සු නැතිවෙයි කියල වැලිකඩ ඕ.අයි.සී මහත්තය කීව. අපට ඉස්සරහට මොනව වෙයිද කියල බයෙන් ඉන්නෙ. අපි මාලු අල්ලල ජීවත් වෙන්නෙ. ඉස්සරහට මාලු අල්ලන්න දෙන්නෙ නෑ කියල කීව.” අයෙකු පවසයි.


වත්තේ මිනිස්සු එකා මෙන් රජේන්ද්‍රන්ගේ මරණයේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටී. අතෝරක් නැතිව මතුවන කතා කාගේ මුවින් ගිලිහෙන්නේ දැයි එකවිටම හඳුනාගත නොහැකිය.


“වෙනදට අපි ගියහම නේවි එකෙන් අල්ලනව. අල්ලල දැල ගන්නව. දෙතුන් දාහට දැලක් හදන්න බෑ. දැලක් හදන්න පහළොස් දාහක් විතර යනව. හම්බකරන සොච්චමෙන් ඒකටත් ගාණක් තියාගන්න ඕනෙ. දැල ගත්තහම ඒක ගන්න කීයක් හරි දෙන්න ඕනෙ. නැත්තන් අරක්කු බෝතලයක්වත් දෙන්න ඕනෙ.” ඔවුන් පවසයි.


මොවුන් කාලාන්තරක් තිස්සේ මාලු වෙළඳාමෙන් ජීවත් වූ පිරිසක් නිසාම, සිය දෛනික මාලු අස්වැන්න අලෙවි කිරීම උදෙසා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට යයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ එක් විටම පැතිරගිය කොවිඞ් රැල්ල හේතුවෙන් එයට සම්බන්ධ වූ පාර්ශ්වයන් නිරෝධායනය කිරීමට සිදුවිය. ඒ යටතේ රාජේන්ද්‍රන් ද දින 14ක නිරෝධායන කාලසීමාවක් පසුකර පීසීආර් පරීක්ෂණයක්ද සිදුකර ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බවට සහතිකයක් රාජගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.කේ.සී. මදුරංග විසින් නොවැම්බර් මස 12 වන දින සහතිකයක් නිකුත් කර ඇත.


“මිනිය අරගෙන යද්දි අපි කීව පී.සී.ආර්. කරල තියෙන්නෙ කියල. එතකොට එයාල කීව තුන්වෙනිද පී.සී.ආර් කරල තියෙන්නෙ හත්වෙනිදවත් කරල තිබ්බ නම් මොනවහරි කරන්න තිබ්බ කියල. ඒ නිසා පී.සී.ආර්. කරන්න වෙනව කියල.


මෝචරියෙ නම්බර් එකක් අපට දුන්න. අපි එහෙට කෝල් කරල ඇහුවහම කීව තාම ටෙස්ට් කරල ඉවර නෑ කියල. එවලෙ කීව වාර්තා එන්න පැය හයක් විතර යනව කියල. පැය හයකට පස්සෙ අපේ හතර දෙනෙක් එතනට ගියා. ඊට පස්සෙ එයාලට කියල තිබ්බ පැය දෙකකින් රිපෝට් ආව, එක පොසිටිව් කියල. බොඩිය තියෙන්නෙ ජාතික රෝහලේ පොලිස් මෝචරියෙ.” ජෙන්සි කියයි.


ඒ අතර කාගේදෝ ළඟ තිබී මියගිය රාජේන්ද්‍රන්ගේ මුහුණේ ඡායාරූපයක් පෙන්වීය. රාජේන්ද්‍රන්ගේ මිය යාමට ප්‍රථම ඡායාරූපයක් සමග සසඳන විට මළ සිරුරේ ස්වරූපය සැබැවින්ම වෙනස් වී තිබුණි. මුහුණ ඉදිමීය. ඇස් නිල් වී ඉදිරියට නෙරා විත්ය. මුහුණේ ඉහළ කොටසේ රුධිරය ගලා ආ පැල්ලම්ය. මුඛයේ දත් නැත.


“එයාල කියනව වතුරේ තිබ්බහම දත් දියවෙනව කියල. අපි දියවන්නාවෙ වතුර ගැන දන්නව. එහෙම දත් දියවෙනව නම්, අපිත් මේ වෙද්දි දියවෙලා තියෙන්නෙ ඕනෙ. මීට කලින් ඕනෙ තරම් වතුරෙ ගිලිල මැරුණ මරණ අපි දැකල තියනව, ඒ එකකවත් දත් දියවෙල තිබ්බෙ නෑ.” නිමේෂ් පවසයි.


“එයාලට එදාම බොඩි එක හම්බ වුණා. එයාල ඒක ගන්න එක පරක්කු කරේ වතුරේ තිබ්බහම වතුරට ඉදිමිච්ච එක පේන්න.” තවත් අයෙකු පවසයි.


“උන දේ උනා. දැන් ළමයි දෙන්නෙක් මෙයා තනියම බලා ගන්න ඕනෙ. එක ළමයෙක් තව ටික කාලෙකින් ඉස්කෝලෙ දාන්න ඕනෙ. අනිත් කෙනාට මාසයක්වත් නෑ. ඒ දරුව ගෑනු දරුවෙක්. රස්සාවකටවත් යන්න විදිහක් නෑ. ලෙඩක් දුකක් හැදිල මැරුණ නම් හිත හදාගන්න තිබ්බ. මේ එන අය තව කී දවසක් එයිද? රවීගෙ ජීවිතේ උදුර ගත්ත නම්, මේ ළමයිගෙ, මේ පවුලෙ අනාගතය හරි බලන එක යුතුකමක් නේද? අපේ කොල්ලෙක් නැතිවෙලා තියෙන්නෙ, අපි මේ අයව අතහරින්නෙ නෑ.


මේ විදිහට එක එක ඒව කියල අපේ හැමෝම මේ අය මරල දායි. අපි මේ වැරැද්දම කරල තිබ්බ නම් අපිට මොනව කරයිද. පුංචි අපට තමයි හැම දෙයක්ම. ” නිමේෂ් පවසයි.


ලිපිය ලියන මොහොත වන විට දැනගන්නට ඇත්තේ රාජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී ඇති බවක් තීන්දු කොට ඔහුගේ සිරුර ආදාහනයට සැරසෙන බවකි. එසේ ඔහුගේ සිරුර ආදාහනය කළහොත් යුධ හමුදාව තමන්ගේ බලපුළුවන්කාරකමට මුවා වී බිලිගත් අහිංසක ජීවිතයක කතාව වැළලී යනු ඇත. අහස පොළොව නුහුන අපරාධයක් සැඟවී යනු ඇත.


රාජේන්ද්‍රන්ට කොරෝනා වැලඳී ඇත්නම්, ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද කොරෝනා වැළඳී තිබිය යුතුය. එසේ නම් ඔවුන් නිරෝධායනයට හෝ වෙනත් ආරක්ෂිත තත්ත්වයකට පත් කළ යුතුය. එහෙත් අවම තරමින් ඔහුගේ පවුලේ අයට හෝ ඔහුගේ කිසිදු ආශ්‍රිතයෙකුට පී.සී.ආර්. පරීක්ෂණ හෝ මේ වන තෙක් සිදු කර නැත. රාජේන්ද්‍රන්ට කොරෝනා වැළඳී ඇතැයි කියන ව්‍යාජයේ තරම එයින්ම වැටහේ. මෙයට සම්බන්ධ ඉහළ බලවතුන්ට උවමනා මෙය වසා දමා තමන්ගේ පිරුවට පිරිසුදු කරගන්නටය.


එහෙත් රාජේන්ද්‍රන්ගේ මරණයට සාධාරණයක් ඉටුවන තෙක් නීතිගරුක පුරවැසියන් බලා සිටින බව ඔවුන් මතක තබා ගත යුතුය.

ප.ලි.
නොවැ. 17දා දැනගැනීමට ලැබුණේ කොරෝනා පොසිටිව් වීම හේතු කොටගෙන රවීන්ද්‍රන්ගේ සිරුර ආදාහනය කළ බවය. මේ සම්බන්ධව විමසීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධ කරගැනීමට අප කිහිප වරක්ම උත්සාහ කළද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here