නුවන් උදය වික‍්‍රමසිංහ

නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ ආයතනයන් එකී වගකීම වෙනුවට මැරවර හැසිරීම පෙන්වන්නට පටන් ගැනීම කෙතරම් නරක අන්තයකට ගමන් කළ හැකිදැයි පෙන්වා සිටිනු ලබනා ඛේදනීය අත්දැකීම අපි ඉතාම දරුණු ලෙස අත්විඳිමින් සිටිමු. මෑතක සමාජ මාධ්‍ය හරහා සංසරණය වන්නට පටන් ගත් පොලිස් නිලධායාගේ හැසිරීම අපට යළි සිහිපත් කරනුයේ එයයි.

මහ මග මල්ලව පොර අල්ලන පොලිස් නිලධාරියෙකි. හෙතෙම එක ග‍්‍රහණයෙන් පුරවැසියෙකු අල්ලා බිම හෙළයි. ඉන් නොනැවතී උඩ පැන බිම වැටී ඉන්නා පුරවැසියාගේ සිරුර පාගා දමන්නට පනියි. තෙමේම සමබරතාව ගිලිහී බිම ඇද වටෙන්නට යන විට තවත් පුද්ගලයෙකු පැන ඔහු අල්ලා ගනියි. ඒ අතර බිම හෙළන ලද පුද්ගලයා වැතිරගත්වනම පසුවෙයි.

මේ සිදුවීම ගැන කතා බහ ඇවිස්සී ඒමත් සමගම පොලිස් නිලධරයාගේ හැසිරීම සාධාරණය කිරීමට උත්සාහ දරන ලද පාර්ශවයන් වෙතින් ආ ප‍්‍රතිචාර වූවේ සිය ඉහළ නිලධරයා මේ පුද්ගලයා විසින් පදවන ලද ට‍්‍රක් රියක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීම නිසා කෝපයට පත් නිලධරයා මෙලෙස හැසිරී ඇති බවයි. එසේම දවසෙහිම මහ මග රාජකාරි කිරීමේදී ඔවුන්ට දරන්නට සිදුවන අධික පීඩනයද මෙවන් හැසිරීමකට හේතුවන්නට ඇති බවකි.

මේ සියල්ලම සත්‍යය විය හැකිය. ලංකාවේ පොලීසියට සිය රාජකාරි කරන්නට සිදුව ඇත්තේ දරුණු පීඩනයක බව පිළිගත හැකිය. එහෙත් ඒ පීඩනය දරුණු ලෙසම එල්ල වනුයේ මහමගින් නොව දේශපාලන යාන්ත‍්‍රණ වලින් බව අප පැහැදිලි කරගත යුතුය. ඊට හොඳම උදාහරණය සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ගේ ස්ථාන මාරුව හරහා ඇති තිබෙනා තත්ත්වයයි.

කවර තත්ත්වයක් යටතේ වුව අපට පිළිගත නොහැකි කරුණක් තිබෙන බව අප වටහා ගත යුතුය. ඒ අප වන් රටක පොලිසිය පමණක් නොව කවර වෘත්තියක වුව නියැලෙන්නන් සිය රාජකාරි කරනුයේ අන්ත පීඩනයක බවය. එක් පසෙක දරුණු වන ජීවන බරය. අනෙක් පස අප තෙරපාලන දේශපාලන අන්ධකාරයය. එක් පසෙක ඉහවහා ගිය දූෂණයය. අනෙක් පස අපේ දේශපාලන නූගත්කමය. ඉදින් එවන් තත්ත්වයක් යටතේ කවරකු වුව සිය වෘත්තීය දිවිය තුළ පීඩනයකට ලක්වීම පිළිිගත හැකිය. අපට පිළිගත නොහැක්කේ ඒ පීඩනය සිය සේවාදායකයා වෙත මුදා හැරීමය. අප එසේ කිරීම යනු අපද තිරශ්චීනත්වය කරා ගමන් කරමින් සිටින්නේය යන සත්‍යයයි.

අදාළ පොලිස් නිලධරයා සැකකරුවකු සැණෙන් මෙල්ල කිරීමට දක්ෂ පුද්ගලයකු බව ඉතා පැහැදිලිය. ඒ ඔහු ක්ෂණිකව අනෙකා බිම හෙළන බැවිනි. එහෙත් එයද සිදුවන්නේ මැරවර ස්වරූපයකිනි. ඔහු අනෙකා බිම දමන ආකාරය ඉතාම අනතුරුදායකය. යම් හෙයකින් අනෙකා බිම ඇද වැටීමේදී ඔහුගේ හිස වැනි ස්ථානයක් බිම වැදී ඔහුට අනතුරක් වී නම් ඇතිවන්නට තිබුණ තත්ත්වය අප කල්පනා කළ යුතුය. ඒ සියල්ලටම වඩා ඔහු යටත් කරන ලද පුද්ගලයා මත පනින ආකාරය ඉතාම නින්දිතය. මේ නීතිය රකිනා ආයතන වෙතින් අප කෙසේවත් අපේක්ෂා නොකළ යුත්තකි.

මහමග විනය පිරිහී ඇතිබව අවිවාදිතය. එහෙත් ඊට පිළියම නීතිය අකුරටම ක‍්‍රියාත්මක කිරීම මිස බාහු බලයෙන් නීතිය ස්ථාපිත කරන්නට යාම නොවේ. බුද්ධියෙන් කළ යුතු කාර්යයන් සඳහා බාහු බලය, මුදල් බලය සහ තක්කඩිකම මාධ්‍යය කරගත් අය දේශපාලනයට යැවීම තුළින් අප අත් කරගෙන තිබෙනා පරිහාණිය මීට උදාහරණ ලෙස දැක්විය හැකිය.

මෙහිදී අප අමතක නොකළ යුතු තවත් කරුණක් තිබේ. ඒ නීතිය ස්ථාපිත කිරීම පොලිසියට තනිවම කළ නොහැක්කක් බවය. පොලීසියද අන් සියළු ආයතන මෙන් අත්තනෝමතික දේශපාලන බලය හමුවේ සැලකිය යුතු පමණකින් අසරණව පවත්නා බවයි. එහෙයින් පුරවැසි සමාජය කළ යුතුව ඇත්තේ පුරවැසියාගේ ශක්තිය කැටි කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතිය ස්ථාපිත කිරීම සඳහා පෙරට ඒමය. එහෙත් අපේ අවාසනාවට අප රටෙහි එවන් මැදිහත්වීම් අල්පය. අප ඒ වෙනුවට උත්සාහ දරනුයේ ඔළු ගෙඩි එහා මෙහා කිරීමෙන් විසඳුම් ලබන්නටය.

ඇමරිකානු පොලිසියේ අත්තනෝමතික හැසිරීම හමුවේ මියගිය ජෝර්ජ් වෙනුවෙන් ලොවම හඬ නැගූ ආකාරය සහ අප රටින්ද ඊට එල්ල වූ විරෝධය අප සිහිපත් කළ යුතුව තිබේ. එහෙත් මේ සිදුවීම සම්බන්ධයෙන් එවන් විරෝධයක් අප වෙත නැති සෙයකි. අනෙක් අතින් ඇමරිකානු පොලිසිය තම වෘත්තීය සගයකු අතින් සිදුවූ වරද වෙනුවෙන් කණ්්ඩායම් ලෙස දණ නමා ජනයාගෙන් සමාව අයදින ආකාරය ඒ දිනවල අපට දක්නට ලැබුණි. එහෙත් අප රටෙහි එවන් නිහතමානීකමක් අපේ ආයතන වෙතින් දකින්නට නොලැබෙයි. එසේම පුරවැසි සමාජයෙන්ද මෙවන් තිරශ්චීන ක‍්‍රියා සම්බන්ධයෙන් වන විරෝධය අල්පය. ඊටද හේතු පැහැදිලිය. නීතියෙන් දඬුවම් කිරීම වෙනුවට අවි පෙන්වන්නට ගොස් මිය යන පාතාලයන්ගේ කතා අනුමත කරනා සමාජයකට එවන් ප‍්‍රතිචාර දැක්වීමට අපහසුය.

අප සිටිනුයේ තව දුරටත් අප අයිති මානව වර්ගයාටද කියා අපෙන්ම අසාගත යුතු තැනක බව තේරුම් ගත යුතුය. තව දිනකින් දෙකකින් මේ සිදුවීම යටපත්ව අප වෙනත් සිදුවීමක් පසුපස දුවනා ආකාරය අපටම දැකිය හැකි වනු ඇත. එහෙත් අප ඊළඟ සිදුවීම කරා පනිනුයේ වඩාත් පිරිහුණ මිනිසුන් ලෙස මිස දියුණු පුරවැසියන් ලෙස නම් නොවේ.

අපට පොලිසියක් ඇවැසිය. ඒ අප රකින්නට නීතිය, නීතියම භාවිතා කරනා පොලිසියකි. නීතිය වෙනුවට දේශපාලන බලයෙහි අතකොළු බවට පත්, බාහු බලය, කඳුළු ගෑස් සහ මූනිස්සමෙන් අවසන් විසඳුම දෙන්නට නොයනා පොලිසියකි. එහෙත් එවන් පොලිසියක් ඉබේ ස්ථාපිත වන්නේ ද නැත. ඒ සඳහා දියුණු පුරවැසි ව්‍යාපාර, දේශපාලන ව්‍යාපාර රටට අවශ්‍යය. අප වහ වහා උත්සුක විය යුත්තේ ඊටය. එසේ නොවනතාක් අපට ඉතිරි වනු ඇත්තේ නරුමකමම පමණි.