දිනී ජයසේකර

වසර විස්සකින් පසුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන එකම කාන්තා නියෝජනය, එහිදී 2020 කියන්නේ තීරණාත්මක අවධියක්. මේ සම්බන්ධව කාන්තාවක් විදියට දකින්නේ කොහොමද?


ඉදිරි මැතිවරණයේ තීරණාත්මක බව මම දුටුවේ කාන්තාවක් විදියටම නෙවේ සාමාන්‍ය මනුස්සයෙක් විදියටයි. මම දැක්කේ අද අපේ රට ප‍්‍රපාතයකට යන ගමන් මගක ඉන්නා බවයි. දත්ත වලට අනුව ඇමරිකන් ඩොලර් ටි‍්‍රලියන දොළහක ණයක් ගෙවන්න තියෙනවා. ලංකාවේ ආර්ථිකය අතින් දළදේශීය නිෂ්පාදනය වර්ෂ 1986 සමග සන්සන්දනය කරනකොට වර්ෂ 2019 වන විට දේශිය ආර්ථිකය 50% කින් පමණ පහතට වැටිලා තියෙනවා. එහිදී පැහැදිලි වන්නේ අපේ රටේ කිසිදු නිෂ්පාදනයක් වෙන්නේ නැහැ කියන දේ. විදේශීය රටවලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ගෙන්වනවා. පස්සේ මිනිස්සුන්ට පෙන්වනවා අපේ රටේ ඕනම දෙයක් වෙළද පොළේ මිලදී ගන්න තියෙනවා කියලා. එයින් අපි විදේශිකයෝ තර කරනවා. මට ඇති එකම ගැටළුව, අපේ රටේ දරිද්‍රතාව දිනෙන් දින වැඩි වෙනවා. සමෘධි ලාභීන් 45%ක් අඩු ආදායම් ලාභී පවුල් වෙද්දි තව තවත් ණය ගන්නවා ණය පියවන්නට හැකියාව තියෙනවා කියලා. හැබැයි දේශපාලකයන් සියල්ල සුපෝඛභෝගී ජීවිත ගත කරමින් විදේශ රට වල කුණු පවා ලංකාවේ තැන්පත් කරන්න මාන අල්ලමින් ප‍්‍රතිපත්ති රහිතව කටයුතු කරනවා. හරියට මේක අම්බලමක් වගේ කියලා හිතාගෙන. මම දකින දේ අනුව ප‍්‍රධාන වශයෙන් අපේ රටට මූලික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. අන්න ඒකටයි මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි විය යුතුද?

මම පෞද්ගලිකව දකින විදියට මේ රටට විධායක ජනාධිපති ධූරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. 2015දිත් කීවා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා. එහෙත් ඒක අහෝසි කරගන්න පුළුවන් වුනේ නැහැනේ. මම බලයට පත් වුනොත් ඉතා ඉක්මනින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා. මොකද හොද අගමැති කෙනෙක් සහිතව හොද කැබිනට් මණ්ඩලයක් පත් කරලා සිදුවන ක‍්‍රියාවලිය සහ පසු විපරම නිරීක්ෂණය කිරීමේ හැකියාවක් මට තියෙනවා. රට හරි පැත්තකට යොමු වෙනව නම් රටේ සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජනාධිපතිට වුනත් එයින් තෘප්තියක් ලැබීමේ හැකියාවක් තියෙනවා.

90 දශකයේ කුණු ප‍්‍රතිචක‍්‍රීකරණය ව්‍යාපෘතියක් ඔබ ඉදිරිපත් කළා. ඒත් වර්තමානයේ කුණු ගැටළුව ජාතික ප‍්‍රශ්නයක් බවට පත් වෙලා?

මම එදා 1993 වර්ෂයේ කුණු ප‍්‍රතිචක‍්‍රීකරණය සදහා යෙදවූ ව්‍යාපෘතියම තමයි විසදුම වෙන්නේ. එහෙත් මට එය ක‍්‍රියාත්මක කරන්න කිසිදු බලයක් නැහැ. එතකොට මම මේ වෙනකන් කළේ තවත් කෙනෙක් හරහා චම්පික රණවකට ප‍්‍රතිපත්තියක් හදල දීලා එය ක‍්‍රියාත්මක කරනකන් බලන් හිටිය එකයි. බලයේ පිහිටි කිසි කෙනකුට උවමනාවක් නැහැ කුණු ගැටළුව නිරාකරණය කරන්න. මම පෙනී හිටියේ ඔහුවත් ඔහුගේ පක්ෂය සදහාවත් නෙවේ. මම පෙනී හිටියේ කසල ප‍්‍රශ්නයට විසදුමක් ලබාගැනීම සදහා පමණයි. මම කුණු දැක්කෙ අපේ ආර්ථිකය හැටියටයි. සහ කුණු කියන්නෙ සම්පතක්. කුණු ප‍්‍රතිචක‍්‍රීකරණය කරලා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නය වගේම බයෝ ගෑස් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. වර්තමානය වන විට වාලච්චේනේ සහ ඇඹිලිපිටියේ කම්හල් දෙකම වහලා. ජී.එල්.පීරිස් මහත්මයට මම කිව්වා විදේශ රටවලින් එන කඩදාසි වල ටැක්ස් එක අඩු කරන්න එපා කියලා. එහෙත් ඔහු තමයි මේ විනාසෙට මුල පිරුවේ. ටැක්ස් එක අඩු කරපු ගමන් මිනිස්සු කඩදාසි ගෙන්නෙව්වා. අපේ කම්හල් වැහුවා. ඊටපස්සේ එයාලගේ සැලසුම වුණේ මෙම කර්මාන්ත ශාලා ටික දකුණු අප‍්‍රිකාවට විකුණන්න.

ස්වාධීන අධිකරණ පද්ධතියක් නිර්මාණ විය යුත්තේ කෙසේද?

නීතිය කියන්නේ ජනතාවගෙ අයිතිවාසිකම් ලබා දෙන ක‍්‍රමයයි. එතකොට අධිකරණය ඒ වෙනුවෙන් පෙනී සිටින ස්ථානයක් විය යුතුයි. එහිදී අධිකරණය ස්වාධීන විය යුතුමයි. ජනාධිපතිවරයා කුමන හෝ අවස්ථාවක අධිකරණයට ඉහළින් සිටිනවානම් එය ගැටළුවක්. මොකද ජනාධිපතිවරයකුට බැහැ අධිකරණයක් පාලනය කරන්න. ඒ හේතුවෙන් තමයි මම කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුමයි කියලා. මොකද ජනාධිපති බොහෝ වෙලාවට අධිකරණයට බලපෑම් කරනවා. 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති බලතල යම් තරමක කප්පාදුවක් සිදු වුවත් ජනාධිපතිට තවමත් හැකියාව තියෙනවා පිරිස පත් කිරීම සදහා. එතකොට තමන්ට කැමති කෙනෙක් පත් කරලා ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න බැහැනේ ස්වාධීන පිළිතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙයි කියලා. පත් කිරීම් කළ යුත්තේ සුදුසුකම් මත පමණයි.


මම දකින විදියට නඩුකාරවරුන්ට පක්ෂ දේශපාලනය කරන්න බැහැ. නඩුකාරවරයෙක් කියන්නේ නඩුවක් බුද්ධිමත්ව සවන් දෙන්නෙක්ටයි. එය පක්ෂයේ නිල්, කොළ සහ රතු කියන වර්ණ වලින් සවන් දෙන්න ගියොත් අසාධාරණයක් සිදු වෙනවා. ජනාධිපති කෙනෙක්ට පක්ෂයක් තියෙන්න බැහැ. ආණ්ඩුකාර වරයාට පක්ෂයක් තියෙන්න බැහැ. නඩුකාර වරුන්ට පක්ෂ තියෙන්න බැහැ. පක්ෂෙකින් ආවා වෙන්න පුළුවන්. නමුත් තනතුර බාරගන්නකොට පක්ෂය ගැලවිලා යා යුතුයි. විශේෂයෙන්ම පක්ෂ දේශපාලනය මත රටක් පාලනය කරන්නත් බැහැ. අධිකරණයක් ස්වාධීන කරන්නත් බැහැ.


වර්තමානය වන විට නව ආර්ථික ප‍්‍රතිපත්තියක් ලංකාවට අවශ්‍ය බව පෙනී යනවා. එහිදී නව ආර්ථික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක විය යුත්තේ කෙසේද?


ඇත්ත වශයෙන්ම නව ආර්ථික ප‍්‍රතිපත්තියක් ලංකාව වැනි රටකට අවශ්‍ය වෙනවා. අපේ රටේ නැතිම දේ දේශීය කර්මාන්ත. යම් පිරිසක් විසින් බී ඕඅයි කලාපයක් නිර්මාණය කරගෙන ඉන්නවා. එයට මධ්‍යයම පරිසර අධිකාරියේ සභාපතිටවත් බී ඕඅයි කලාපයට ඇතුළත් වෙන්න බැහැ. එතකොට මේක අපේ රටේ නොවන දෙයක් ලෙසයි ක‍්‍රියාත්මක වෙන්නේ. ඔවුන් අපේ බිම පාවිච්චි කරනවට මුදලක් ගෙවනවා. නමුත් එයින් අපිට ඇත්තටම හොද ආදායමක් එන්නේ නැහැ. ඉතින් මගේ ඉදිරි සැලැස්ම අනුව පවතින වෙළ`ද කලාප සියල්ල ඉවත් කරල දාන්න අවශ්‍යයි. නව ප‍්‍රතිපත්තියක් සමග නව ඉදිරි වැඩ පිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියට බලතල පවරන්න ඕනෙ ඒ ගැන විමසන්න. පසුව දේශීය කර්මාන්ත නගා සිටවිය යුතුයි. අපේ රටේ බොහොමයක් තවම දන්නේ නැහැ දේශීය කර්මාන්ත කොච්චර ප‍්‍රමාණයක් රට තුළ තියෙනවාද කියලවත්. මම කියන්නේ අපේ නිෂ්පාදන අපිම කර ගත යුතුයි කියලා. එහිදී ආර්ථිකය නගා සිටවිය යුත්තේ දේශීය නිෂ්පාදන තුළින්මයි. එහෙත් අපේ රටේ තාක්ෂණයේ හීනයක් තියෙනවා. එහිදී මට හැකියාවක් තියෙනවා මගේ සම්බන්දකම් මත ඉන්දියාව සහ ඇමරිකාව වැනි රටවලින් තාක්ෂණය ගෙන්වා ගැනිමට. මෙතෙක් සිදු කළ ව්‍යාපෘති තුළින් විදේශික ආර්ථිකය ඉහළ නැංවුණා. අපිට කිසිදු ආර්ථික වාසියක් ලැබුනේ නැහැ. ණය විතරයි. එහෙත් මෙවර මගේ ප‍්‍රතිපත්ති සමග රටේ ආර්ථිකයට වාසියක් ගෙන ඒමයි මගේ වගකිම. දැනටමත් මම එංගලන්තය වැනි රටවල් කිහිපයක් සමග මේ සම්බන්දව සාකාච්ඡුා කරමින් සිටිනවා.