විමලනාත් වීරරත්න

“රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වුණු “වියත්මග” වගේම සංවිධානයක් “හරිමග”. හරිමග ඇතුළෙ පාතාල ක්‍රියාකාරීන් ඉන්නවාදැයි කියලා සැකයක් දැන් අපිට ඇතිවෙලා තියනවා. මම දන්නෙ නැහැ මෙතනට ආපු පිරිස ආවෙ කාට හරි පහර දෙන්නද කියලා. පුද්ගලිකව මම මේ සමහරු අඳුරනවා. මොවුන් බොරැල්ලෙ වනාතෙ අය. අපි ආරක්ෂක ලේකම්තුමාගෙන් අහනවා අපේ හඬ බාල කරන්න පාතාලේ ක්‍රියාකාරීන් දානවද, පසුගිය කාලෙ වගේ කියලා. අපි හඬ අවදි කරන්නෙ වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒක මංකොල්ල කන්න රටේ පාලකයන්ට හෝ හරිමගේ චණ්ඩින්ට ඉඩක් නෑ. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ දැක්ම ඇතුළෙ පාතලය තියෙන්න බැහැ. එතුමා කිව්වා පාතාලය අයින් කරනවා කියලා. එතුමා කිව්වා රටේ දුරාචාරය අයින් කරනවා කියලා. එහෙම නම් ඒකෙ වගකීම ගන්න ඕනෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. අපි කමල් ගුණරත්න කියන යුද නායකයාට, ආරක්ෂක ලේකම්වරයාට ගරු කරනවා. හැබැයි එතුමාගෙ චණ්ඩි පාට් වලට, එතුමාගෙ පාතාල චණ්ඩින්ට අපිව නතර කරන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න හරිමග තුළ අපේ ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් කොට්ඨාසයක් වැඩ කළා. හරිමග ස්ටිකරය අපේ රථයෙ පිටුපස අලවගෙන විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. ඒත් වැරදි පෙන්වනකොට පාතාලය දාලා අපිව මට්ටු කරන්න හදනවනම් අපි ඒකට කොහොමවත් ඉඩ තියන්නැහැ. ඔය කමල් ගුණරත්න නෙමෙයි කවුරු වුණත් අපිව මැරුවත් අපේ හඬ අපි නතර කරන්නේ නැහැ. මතක තියාගන්න වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් ලබාදෙන්න ඉන්න සංවිධාන හැටියට අපි එදත් කිව්වා අදත් කියනවා මේ වෙනකොට හරි මගට මුවාවෙච්ච පිරිසක් ආරක්ෂක ලේකම්තුමාගෙ නමට හා ප්‍රතිරූපයට මුවාවෙලා රක්ෂණ ක්‍රියාවලියක් ආරක්ෂක අමාත්‍යාංශය අනියමින් යොදාගෙන රක්ෂණය කිරීමක් අහිංසක ත්‍රීරෝද රථ රියදුරන්ට විකුණනවා. පොලීසිය යොදවා මේ රක්ෂණය නොගතහොත් උඹලට ස්ටෑන්ඞ් නැහැ කියලා රියදුරන්ව බිය වද්දලා තියෙන්නෙ. කොහුවල, රාජගිරිය, ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශවල 300රැු 500රැු ට රක්ෂණවලට අයකරනවා. මේක මංකොල්ලයක්. ඒක කරන්නේ ආරක්ෂක ලේකම්ට මුවා වෙලාද ? ආරක්ෂක ලේකම් චණ්ඩි යවලා උත්තර දෙන්නෙ අපිව දණ ගස්සන්නද ? මම එකක් කියනවා. අපිව දණ ගස්සන්න බැහැ. අපි මළත් දණ ගහන්නෙ නැ. පාතාල ක්‍රියාකාරීන්ට ආරක්ෂක ලේකම්ගේ රැකවරණය ලැබෙනවා නම් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මොකද වෙන්නෙ. එහෙම නම් අපිට ජීවත්වෙන්න බැහැනෙ”.


උක්ත සටහන ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන විසින් නිකුත් කර තිබුණු සමාජ මාධ්‍යයේ පළවු වීඩියෝවකින් උපුටා ගත්තකි. එම කතාව ශ්‍රවණය කරනවිට සුනිල්ගේ ඝාතනය සැලසුම් කළ එකක්දැයි සහ සැකය මතුවීම නොවැළැක්විය හැකිය. තමන්ට තර්ජනය එන්නේ කොතැනින්දැයි ඔහු ඍජුවම කියයි. ආරක්ෂක ලේකම් එම බිය ගැන්වීමේ ක්‍රියාවලිය යට ඇතැයි එහෙදි ඔහු ඍජුවම පවසයි. එමෙන්ම තමන් මරා දැමුවත් අයුක්තියට එරෙහිව නගන හඬ යටපත් වීමට ඉඩ නොතබන බවද සුනිල් කියයි. ඇත්තටම අවසානයේදි සුනිල් මරා දැමුවේය. සුනිල් කියන පරිදි හරිමග නමැති වැරදි මගක යන සංවිධානය ගැන පාතාලයට එරෙහි බව කියු ජනාධිපතිවරයා පියවර ගත යුතු බව ඔහු කියයි. ඒ හරිමග තුළ පාතාල ක්‍රියාකාරින් සිටින නිසාය.


රක්ෂණ මාෆියාවක් කල එළි බැසීම තුළින් බළහත්කාරය භාවිතා කර ඊට ත්‍රීරෝද රථ රියදුරන් යොමු කිරීම මෙම වීඩියෝව තුළින් සුනිල්ගේ බලවත් විවේචනයට ලක්වෙයි. සුනිල්, ගෝඨාභය මහතා ජනාධිපති කරවීමට වෙහෙසවුවකු වුවත් ඔහු ගෝඨාභය පාලනය ක්‍රියාත්මක වන ස්වරූපයෙන් බැට කන්නෙකු බවට ක්‍රමයෙන් පත්ව තිබෙන බව මේ කතාව අසනවිට දැනෙයි. චණ්ඩි පාට් දැම්මාට බය නොවන බව හෙතෙම කමල් ගුණරත්නට ඍජුවම කියයි. ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක ලේකම්ට මුවාවී තම වෘත්තිකභාවයට එරෙහි මාෆියාවක් ක්‍රියාත්මක වන බව සුනිල් වැඩිදුරටත් කියයි.


සුනිල් නැවැත්විය නොහැකි බව පෙනෙන මිනිසෙක් නිසා එම සංගමයේ සගයාගේ ලීසිං ප්‍රශ්නය සාකච්ඡා කිරීමට පැමිණි අවස්ථාව සුනිල්ගේ ගමන නතර කර දැමීමට ඔහු කියන වරලත් පාතාලය පියවර ගත්තාද ? සුනිල් අවසාන මොහොතේත් ජනාධිපතිවරයා ගැන යම් පමණක හෝ පැහැදීමක සිටි බව පෙනෙයි. එසේ සිතෙන්නේ මේ අයුක්ති සහගත තත්ත්වය ගැන පියවරක් ගන්නා ලෙස කරන ඉල්ලීම නිසාය. මේවා ව්‍යාජ විශ්වාසයන් බව කියන්නට අද සුනිල් නැත. එහෙත් මේ කිසිවෙක් විශ්වාස නොකරන ලෙස පමණක් අප සුනිල් වැනි යම් අවංකභාවයක් පෙන්වන යුක්තියේ අරගලකරුවන්ට කියමු.