නිමල් අබේසිංහ

ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් සිටීද ? හදිස්සියේ එවැනි ප‍්‍රශ්නයක් පැන නගිනුයේ රටේ සිදු වූ ප‍්‍රධාන සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් කල්පනා කරන විටදීය. එක දිසා වන නිලධාරිනී දේවානි සම්බන්ධයෙන් ඇතිවු සිද්ධියය. දෙවැන්න භාග්‍යා නමැති දැරිය හා සම්බන්ධ සිද්ධියය. තෙවැන්න පන්නිපිටියේදී පොලිස් රථවාහන නිලධාරියකු විසින් මහ දාවලේ දෙනෝ දාහක් බලා සිටියදී මහපාර මැද ලොරි රථ රියැදුරෙකුට පහරදීමය.

මෙකී සිද්ධින් තුන සම්බන්ධයෙන් පුරවැසියන් ලෙස අප කළේ මොනවාද ? සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙකී සිද්ධීන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා පමණක් නොවේද ? එය සෑහේද ? ඉන් එපිටට ගොස් පුරවැසියන් ලෙස අප යමක් කළ යුතු යැයි නොහැගේද ? යනාදී වශයෙන් අටෝරාශියක් ප‍්‍රශ්න අප අභිමුවට එයි.

දේවානි සහ භාග්‍යා කතා කළේ විනාශවන නැතිනම් දේශපාලකයින්ගේ අනු දැනුමෙන් විනාශවන රටේ වනාන්තර ගැනය. ගහකොළට හිතැත්තවුන් නම් පරිසරයේ වටිනාකම හඳුනාගන්නාවුන් නම් මේ රටේ පුරවැසියා වීදි බැස විශාල උද්ඝෝෂණයක් කළ යුතු වේ. කනගාටුවට කාරණාවනම් එවැන්නක් ගැන හාංකවිසියක්වත් නොදන්නා සේ බොහෝ පිරිස් නිහඩව සිටීමය. අනෙක් වැදගත්ම දේ වන්නේ බොහෝ පිරිස් දේවානිට හා භාග්‍යාට අපහාස උපහාස කිරිමය. කිසිවකු දක්වන මතයකට අදහසකට එකග වීමට නොහැකි තවත් අය සිටිය හැකි මුත් එකී අදහස දැක්වු අයට අපහාස උපහාස කිරීමේ අයිතියක් කාටවත් නැත. එහෙත් එවැනි දේ එමට සිදුවේ. ඉන් පෙනෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ ඔළුවේ තරමය.

ආසන්නම සංසිද්ධිය මහරගම පන්නිපිටියේදී රථවාහන පොලිස් නිලධාරියෙකු විසින් ලොරි රියදුරෙකුට කළ මිලේච්ඡු පහර දීමය. ඒ සම්බන්ධයෙන්ද මුහුණු පොතේ විවිධ අදහස් පලවිණි. එසේ වීම තුළ මේවාට එරෙහිවන කිසියම් පිරිසක් සිටින බව හෙළිදරව් වන ඉන් සාර්ථක ඵලයක් නෙලාගත හැකි නොවේ. අනෙක් අතට කෝටි දෙකකටත් වැඩි ජනගහනයක් සිටින රටක සියගණනකගේ විරෝධය ලේන් හඬකට වඩා දෙයක් නොවේ. බලළා දුටුවිට හඩන ලේනාගේ හඩ ඒ අවට හැර ඈතට නොයයි. එනිසා මේ ෆේස්බුක් විරෝධය ලේන් හඩක් විනා වෙනකක් නොවේ. හිට්ලර්ගේ පාලනයේදී සිදුවු නොපනත් කම්වලට එරෙහි නොවී සිටිමෙන් සිය විනාශය ගැන මාටින් නිලමෝර් පියතුමා කිවු වදන් මෙහිදී අපට සිහිවේ. අප මේ බලාසිටින්නේ එතනට යාමට නොවේද ? ඇතිතරම් නොපනත් කම් සිදුවෙද්දී නිවට නියාලූව නිර්වින්දනය වුවන් සේ සිටීම රට විනාශයට දැමීමට ඉඩ සැලසීමකි. ‘‘හාල් ඉරිකි තල ඉල්ලෛ’’ යනුවෙන් දෙමළ භාෂාවේ කියමනක් තිබේ. එහි අරුත ඔළුව තිබෙනවා මොළේ නැහැ යන්නය. අපේ රටේද මිනිසුන්ට ඔළුව තිබුණද මොළයක් නැත. එසේ නොවුයේ නම් පාලකයින්ට රිසි දේ කරන්නට කියන්නට ජනතා දේපොළ කොල්ලකන්නට ඉඩ තබන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here