ඉෂාරා අබේගුණසේකර

60,000ක් පමණ උපාධිධාරීන් සංඛ්‍යාවක් එකවර රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදුවේ. ඒ කිසිදු මූලික සමීක්ෂණයකින් තොරවය. එහිදී ඔවුන් කවර ආකාරයක කාර්යාලයක කුමන කටයුත්තකට යොමු කළ යුතු දැයි පැහැදිලි කිරීමක් තවමත් විධිමත්ව සිදුවී නැත. දැනටමත් ප්‍රමාණවත් තරමේ සේවක සංඛ්‍යාවක් රාජ්‍ය සේවයේ නියුක්තව සිටිති.


ඒ ඒ රාජ්‍ය ආයතනවල පවත්නා යම් සේවක හිඟයක් තිබේද, පවත්නා ක්‍රමවත් සේවා මාරු කිරීම් හෝ විධිමත් සේවා කළමනාකරණය නොවීම විනා එය සැබෑ සේවක හිඟයක් යැයි සිතිය නොහැකිය. පරිපාලන සේවය පිළිබඳ මනා අත්දැකීම් ඇත්තෝ පවසන්නේ ලක්ෂ 14ක් ඉක්මවන රාජ්‍ය සේවකයන් පිරිසක් සිටියද නිවැරදි කළමනාකරණ පිළිවෙතක් යටතේ අදාළ සියලු කටයුතු ලක්ෂ 07ක පමණ පිරිසකින් ඉටු කළ හැකි බවය.


වියට්නාමය වැනි රටක් දියුණුවෙමින් ඇත්තේ සේවා ආර්ථිකය මත පදනම්ව වන අතර ශ්‍රී ලංකාවේ සිදුවන්නේ රාජ්‍ය සේවය තවදුරටත් පුළුල් කිරීමය. රාජ්‍ය සේවයේ පවත්නා බරපතළ ගැටලුවක් වන්නේ අසුබවාදී ආකල්පය. රාජ්‍ය සේවය පෞද්ගලික අංශයට සාපේක්ෂව ඇත්තේ පසුපසිනි. මෙවන් පසුබිමක උපාධිධාරීන්ගේ ආකල්ප වර්ධනය, ඔවුන්ගේ ඵලදායී, කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම අභියෝගයකි.


දිගු කලක් නිවසේ රැඳී සිටීම, දැනුමින් යාවත්කාලීන නොවීම, විවාහ වී දරුවන් ලැබ ජීවිතයේ යම් කලක් ගතවීම, විවාහවීමට අපේක්ෂිතව සිටීම, පවුලේ වගකීම් හා යුතුකම් ඉටු කිරීමට අවශ්‍ය වන මුදල් නොමැතිකම වැනි අවස්ථාවලට මුහුණ දී ඇති මෙම පිරිස් මෙරට සේවා ආර්ථිකය නැංවීමට යොදා ගැනීම බැරෑරුම් කාර්යයකි. එනම් රට තුළ ආදායම් උත්පාදනය කළ හැකි වෘත්තීන් බිහි කළ යුතුව ඇත. නිදසුනක් ලෙස පරිභෝජනවාදී ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය යුතුය. ඖෂධ මෙරට තුළම නිෂ්පාදනය කිරීම, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය ආශ්‍රිතව එම කර්මාන්තය දියුණු කිරීම කළ හැකිය. ඒ ආශ්‍රිත තව තවත් රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරමින් අනාගත ශ්‍රම බලකායට අදාළ රැකියා වෙළෙඳපොළ සැකසිය හැකිය.


ඉතිහාසය පුරාම මැතිවරණයක් ඉදිරිපිටදී දේශපාලනඥයන් ලබාදෙන දහසකුත් මැතිවරණ පොරොන්දු අතරින් විරැකියාවට විසඳුම් ලබාදීමේ පොරොන්දුව ජනප්‍රිය අංගයකි. වංචාවන්, රැවටීම්, ඇන්දවීම් මැද වසර ගණනාවක් අපේක්ෂාභංගත්වයට පත් මානසික පීඩනයෙන් සිටි උපාධිධාරීන් රැකියාගත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මේ එක් පොරොන්දුවකි.


කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විවිධ කතිකාවන් සමාජය තුළ නිර්මාණය වී ඇත. නියමිත රාජකාරියක් නොමැතිව හා රාජ්‍ය අංශයේ පැහැදිලි පුරප්පාඩු සංඛ්‍යාවක් නොමැතිව අනවශ්‍ය පරිදි රාජ්‍ය අංශය පුළුල් කිරීමක් ලෙසද උපාධිධාරීන් 60,000කට පත්වීම් ලබාදීම විවිධ පාර්ශ්වයන් විසින් අර්ථකථනය කරයි. තවත් උපාධිධාරීන් පිරිසක් වැඩි වැටුප් ලද පෞද්ගලික අංශයේ රැකියාවන්ගෙන් ඉවත්ව රැකියාවේ සුරක්ෂිත බව හා ජීවිතාන්තය දක්වා, විශ්‍රාම වැටුප් අපේක්ෂාවෙන් රජයේ රැකියා වෙත ප්‍රවිෂ්ටව ඇත.


අතීතයේදී උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ අවස්ථාවන් සමග වර්තමාන තත්ත්වයන් සැසඳීමේදී යම් අවබෝධයක් ලබාගැනීමට හැකිය.


වර්ෂ 1996-1999 යන කාලසීමාවන් තුළ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී රාජ්‍ය ආයතන තුළ නිශ්චිත තනතුරු සඳහා බඳවා ගැනීමත්, නව තනතුරු නිර්මාණය කරමින් බඳවා ගැනීමත් සිදුවිය.


ඉන්පසු 2005 වසරේදීත් උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ඍජුව රාජ්‍ය සේවයට බඳවා ගත් අතර ඔවුන් ලබාගෙන තිබූ උපාධිය සලකමින් පවතින පුරප්පාඩු සඳහා යොමු කළ අතර නිර්මාණය කරන ලද නව තනතුරු සඳහාද යොදවන ලදි.
වර්ෂ 2012/2013 කාලසීමාව තුළද උපාධිධාරීන් 60,000ක් පමණ සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබිණ. එලෙස බඳවා ගත් පිරිසට නිශ්චිත වශයෙන් වෙන්වූ රාජකාරියක් හෝ රාජකාරි ලැයිස්තුවක් නොමැතිව රාජ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීම සිදුවුණි. එසේම විවිධ තනතුරු නිර්මාණය කරමින් පිරිසක් ක්ෂේත්‍ර නිලධාරීන් ලෙසද පත් කළ අතර ඔවුන්ටද නිශ්චිත රාජකාරි නොවීම නිසා කාර්යාලවල කල්මැරීමට සිදුවුණි. ඔවුන්ගෙන් බහුතරයක් රාජකාරියක් නොමැති නිසා ආයතනවල ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට හැකියාව ලැබුණි.
චක්‍රලේඛ ගැටලු මත කළමනාකරණ සේවා හා සංවර්ධන නිලධාරි සේවා තුළ ගැටුම්ද ඇතිවිය. මේවා විධිමත්ව සකස් කරමින් ක්‍රමවේදයක් තුළ ස්ථානගත කළ යුතුව ඇත.


කෙසේ වෙතත්, රැකියා විරහිතව සිටින උපාධිධාරීන් රැකියාගත කිරීම යහපත් ප්‍රවණතාවකි. මෙය දේශපාලන ආර්ථික විද්‍යාව තුළින්ද විග්‍රහ කරගත යුතුව ඇත. මේ වනවිටත් එක් ග්‍රාම නිලධාරි වසමක රාජ්‍ය සේවකයන් 5-10ක් හෝ හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් සිටිනවා විය හැකිය.


රටට වැදගත් වන අවශ්‍ය උපාධි බිහි කරනවා වෙනුවට අනවශ්‍ය උපාධි අනවශ්‍ය මට්ටමින් තිබීම ගැටලුවකි. රැකියා වෙළෙඳපොළට නොගැළපෙන අන්දමින් කලා උපාධිධාරීන් සුලභ වීම තවත් හේතුවකි. ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශ කළේ “දේශපාලන විද්‍යාව කරලා රස්සාවල් ගන්න බෑ. ඩිමාන්ඞ් එකක් තියෙන විෂයන් ඉගෙන ගන්න” යනුවෙනි. නමුත් ප්‍රශ්නය වෙනත් අතකය. විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව මේවා සැලසුම් කර උපාධි තොග ගණන් ලබාදෙමින් උපාධිධාරීන් දහස් ගණන් සමාජයට මුදාහරින වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ගොඩනැගිලි ඉදිකිරීම, ක්‍රීඩාංගණ ඉදිකිරීම සංඛ්‍යාත්මකව ඉහළ දැමීම වෙනුවට කළයුත්තේ අනවශ්‍ය විෂයන්ට අදාළ උපාධි සංඛ්‍යාව කප්පාදු කර රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි උපාධි පාඨමාලා වැඩි කිරීමයි.


උපාධියක් හිමි කරගෙන රැකියාවක් ද නොකර නිවසටම වී සිටිනවා වෙනුවට උගත් විෂය ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිරව මුදල් ලබාගැනීමේ අරමුණින් බොහෝ පිරිසක් ඇඟලුම් කම්හල්වලද, වෙනත් කර්මාන්තශාලාවලද ආදී වශයෙන් තාවකාලික රැකියාවන් සිදුකර ඇත. ඔවුන්ගේද සිහිනය කෙදිනක හෝ රජයේ රැකියාවක් ලබාගැනීමය. නමුත් මහ මැතිවරණයට දින නියම කළ මුල් කාලයේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කළද එය තාවකාලිකව නතර කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළහ. දැන් වන විට ඊපීඑෆ්/ඊටීඑෆ් ගැටලුවකට මුහුණ දෙන උපාධිධාරීන් රැසක් ද තම රජයේ රැකියා සිහිනය දකිමින් අපේක්ෂා දැල්වෙන දෑසින් බලා සිටී. ඇල්පෙනෙත්තත් පවා පිටරටින් ගෙන්වන, ජාතික කොඩියද වෙනත් රටක නිෂ්පාදනය කරමින් ආනයනය කෙරෙන පරිභෝජනවාදී ආර්ථිකයක් තුළ උපාධිධාරීන්ද රැකියා දෙන තෙක් බලා සිටීම අරුමයක් නොවේ.
නමුත් උපාධිධාරීන් 60,000කට රැකියා ලබාදීමත් සමග ඔවුන්ගේ ජන ජීවිතයට අදාළ විශාල වෙනස්කම් සිදුවනු ඇත. නිවසක් නොමැති පිරිස් නිවාස තනා ගනිති. විවාහ නොවී සිටින පිරිස් විවාහ වේවි. එවන් ආකාරයේ විවිධ ගැටලු සඳහා සහනයක් මෙමගින් ඇතිවේ.


සමාජය තුළ යම් අභිමානයකින් යුතුව ජීවත්වීමට උපාධිධාරීන්ට හැකියාව ලැබේ. ඒ අනුව රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම තුළ සමාජ, ආර්ථික ප්‍රතිලාභ බැහැර කළ නොහැකිය. ඒ මගින් සංවර්ධනය බෙදා ගනිමින් ස්ථාවර සමාජයක අඩිතාලම සකස් කළ යුතුව ඇත.


විදේශ ණය බර සමග මිරිකෙමින් සිටින ශ්‍රී ලංකා ආර්ථිකය තුළ උපාධිධාරීන් 60,000කට රුපියල් 20,000ක දීමනාවක් මාසයකට ගෙවීම නිසා (60,000×20,000) මුදලක් රජය විසින් වැය කරනු ඇත. (රු. 12,00,000,000කි) එනම් රුපියල් කෝටි 120කි. වසරකට කෝටි 1440කි. ඒ අභ්‍යාසලාභී කාලය සඳහාය. ඔවුන්ට විධිමත් නායකත්වය පුහුණුවක්, කළමනාකරණය පිළිබඳ දැනුමක් ලබාදීම වැදගත්ය. එසේ නොවන්නේ නම් රැකියාගත කෙරෙන උපාධිධාරීන් රාජ්‍යයේ කාර්යාලවලට මෙන්ම රටටද බරකි. උගත් පිරිස් විනය, පෞරුෂය හා නායකත්වය තුළින් රාජ්‍ය සේවාවට ඵලාදායි හා කාර්යක්ෂම ලෙස මුහු කිරීම ඉතා වැදගත්ය.

ප්‍රතිපත්තිමය තීරණයක්
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්
ජේ.ජේ. රත්නසිරි


රජයේ රැකියාවලට බඳවා ගැනීම ආකාර දෙකකින් සිද්ධ වෙන්න පුළුවන්. ඒ පුරප්පාඩු මත බඳවා ගැනීම සහ ප්‍රතිපත්තිමය තීරණ මත බඳවා ගැනීම වශයෙන් මෙවර උපාධිධාරීන් 60,000කට රැකියා ලබාදීම යනු ප්‍රතිපත්තිමය තීරණයක් ක්‍රියාත්මක කිරීමක්.


රජය පුහුණුවක් කරනවා නම් වියදම් කිරීමක් අනිවාර්යයෙන්ම සිදුවනවා. ඒ පුහුණුව තුළින් ආදායමක් උපදවා ගැනීමට නෙමෙයි. රජයේ සේවකයින්ගෙන් මහජනතාවට ගුණාත්මක සේවයක් ලබාදීමේ අරමුණින්.


උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 91,000ක් රජයේ රැකියා සඳහා ඉල්ලුම් කර තිබුණා. ඒකෙන් පෙන්නුම් කළේ විශාල විරැකියාවක් පැවති බවයි. ඒ අතරින් උපාධිධාරීන් 60,000කට රැකියා ලබාදීමට කටයුතු කරනවා.


අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විද්‍යා හා වාණිජ උපාධිධාරීන් 15,000ක් ඉල්ලා සිටියත්, රැකියා සඳහා ඉල්ලුම් කර ඇති විද්‍යා හා වාණිජ උපාධිධාරීන් සංඛ්‍යාව 5000ක් පමණයි. ඒ අනුව ඉල්ලුමට සරිලන පරිදි ශ්‍රම බලකායක් නිර්මාණය වී නොමැති බව පැහැදිලියි.


කලා විෂය ධාරාව යටතේ රැකියා අපේක්ෂිත උපාධිධාරීන් සංඛ්‍යාව 31,000ක් පමණය. අභ්‍යාසලාභී උපාධිධාරීන් අතරින් 38,000ක්ම නියෝජනය කරන්නේ ස්ත්‍රී පාර්ශ්වයයි.


විශ්වවිද්‍යාල පද්ධතිය අපේ රටේ ශ්‍රම බලකායේ අවශ්‍යතාව හඳුනා නොගෙන, අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කර නොතිබීම නිසා මෙවන් තත්ත්වයක් මතුව ඇත. නිවැරදිව පුහුණු කළ ශ්‍රම බලකායක් රටට අත්‍යවශ්‍යව තිබේ.


ජනාධිපතිවරයාද උපදෙස් දී ඇත්තේ රටේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වහාම වෙනසක් සිදුකරන ලෙසයි. ඒ අනුව මේ වන විට නව ප්‍රතිසංස්කරණයන්ද සකස් කරමින් ඇත.

කෙටිකාලීන සහනයක්
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ආචාර්ය ප්‍රියංග දුනුසිංහ


විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පැහැදිලි අවශ්‍යතාවක් නැහැ. රජය ලබාදෙන උපාධිධාරි පත්වීම් පුරප්පාඩු ගැසට් වීමකින් තොරව ලබාදෙන පත්වීම්.


මේ අනුව උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීමේ ඇත්ත අරමුණ විය හැක්කේ කාලයක් පැවති විරැකියාවට විසඳුම් ලබාදීමයි. අඩු ආදායම්ලාභී පවුල්වලට සහනයක් උදාකරදීමයි. ඒ අනුව කෙටිකාලීනව යම් සමාජ තත්ත්වයක් වටිනාකමක් ආරෝපණය කරදී එම පවුල් ඉහළට ඔසවා තැබීම මෙහි අරමුණක්.


එසේම මෙම රැකියා ලබාදීම ඉල්ලුම තුළින් නිර්මාණය වන්නක් නොව සැපයුම තුළින් නිර්මාණය කරන්නක්. නමුත් කාලයත් සමග රාජ්‍ය අංශයේ ඇතිවන පුරප්පාඩුවලට සමාන්තරව ඒ ඒ අංශ විසින් අන්තර්ග්‍රහණය කරගැනීමට හැකියාවක් ඇතිවේවි.


රජය විසින් උපාධිධාරීන්ට වැටුප් ලෙස හෝ දීමනා ලෙස ගෙවීම් සඳහා වෙන් කරන්නේ රජයේ ආයෝජන සඳහා වෙන් කළ මුදල් නම් එය කෙටිකාලීනව ආර්ථිකයට සහනයක් වුවත්, දිගුකාලීන අවාසිසහගත තත්ත්වයක් ඇතිවිය හැකියි. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here