දිනී ජයසේකර


වෙහෙසකර ගමනාන්තයකින් පසු අප අම්පාර නගරයෙන් බැස ගත්තේ හිඟුරාණ බලා යෑමේ අරමුණෙනි. අලුයම නිසා අප අවට වූ පරිසරය පැහැදිලිව නොපෙනෙයි. එහෙත් කළුවර අතරින් උරහිස දක්වා පමණ උසැති උක් ගස් යායවල් පාර දෙපසින් දක්නට ලැබෙයි.


“ෂුගර් ෆැක්ටි්‍රය පාඩු නොවී පැවතෙන්න නම් අවුරුද්දට ඕනි උක් ටොන් හැටක විතර අස්වැන්නක්ලු. නමුත් ගොවිය පැවතෙන්න අවුරුද්දකට උක් ටොන් හැටක අස්වැන්නක් මදි.”


හිඟුරාණ සඳහා පිටත්ව යෑමට සම්බන්ධ කරගත් ත්‍රීවිලරයේ රියදුරා අප සමග පැවසීය.
උක් පැණිරස වූවද උක් ගොවියන්ගේ කදුළු රස නැති බව ඔහුගේ හඬින් පසක් කැරිණි. ඔවුහු සිය වගා බිම්වලින් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට බොහෝ සේ වෙහෙසෙති. එහෙත් ඔවුන්ගේ වෙහෙසට නිසි මිලක් නොමැතිවීම කනගාටුදායකය. මේ ඔවුන්ගේ කතාවයි.


ගල්ඔය සහ හිඟුරාණේ උක් ගොවියා


පාර පුරා උක්දඬු, උක්බීජ පටවා ගත් ට්‍රැක්ටර් පෝලිමට ගමන් ගත්තේ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම වෙතය. එය වර්ෂ 1960 දී ආරම්භ කරන ලද හිඟුරාණ සීනි සමාගමය. විටින් විට හිඟුරාණ සීනි සමාගම පාඩු ලැබීම නිසා එහි 49% කොටසක් 2009 වර්ෂය වන විට ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට හිමිවිය. එම නිසා වර්තමානය වන විට පූර්ණ ක්‍රියාවලිය ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම විසින් දරන්නේය.


හිඟුරාණ සීනි සමාගම 2000 වර්ෂයේදී ඈවර කරනවාත් සමගම එහි සේවය කළ සේවකයන්ට වන්දි ගෙවා වගා ඉඩම් ලබා දී ඇත. වර්තමානයේදී සේවකයන්ට ලබා දුන් එම ඉඩම් සියල්ලම ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමත් සමග බැඳී ඇත්තේය. එම ඉඩම්වල වගා කළ යුතුව ඇත්තේ උක් බීජ පමණි. එම සියලු උක් අස්වැන්න ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට ලබාදිය යුතුය. සාමාන්‍යයෙන් උක් වගා කළ හැක්කේ අවුරුද්දකට එක වතාවකි. එම නිසා උක් ගොවියෙක් තම අස්වැන්න සඳහා මහා පරිශ්‍රමයක් දැරිය යුතුය. එසේ වගාකර අවසානයේදී ඊට සුදුසු මිලක් නොමැතිවීමෙන් ගොවීහු අපහසුතාවට පත්වෙති.


“දැනට ආයතනය සමග ගොවියෝ හාරදාහකට (4,000) ආසන්න පිරිසක් ඉන්නවා. හෙක්ටයාර් හාරදාහක් (4,000). එක ගොවියෙක්ට හෙකටයාර් එක ගාණෙ තමයි දීලා තියෙන්නේ. ආයතනයෙන් එක හෙක්ටයාර් එකකින් උක් ටොන් හැටක් (60) පමණ තමයි බලාපොරොත්තු වෙන්නේ. ආයතනය කියන්නේ අපිට පැවැත්මට ටොන් හැටක් ඇති කියලා. නමුත් ගොවියෙක්ට ටොන් හැටක් (60) කියන්නෙ සුළු කොටසක්. හරියට බැලුවොත් ගොවියෙක්ට පැවතෙන්න ටොන් එකසිය විස්සක් (120) පමණ වුවමනා වෙනවා. ගොවියන්ගෙ ප්‍රශ්න කතා කරගන්න වෘත්තීය සමිතියක්වත් පිහිටවා ගන්න දුන්නෙ නැහැ කලින්. දැන් නම් අපි අමාරුවෙන් වෘත්තීය සමිතියක් පිහිටව ගත්තා. නමුත් මම ගොවි සංවිධානෙ ඉන්නවා කියලා දැනගත්තම කීවා ගොවි සංවිධානෙන් අයින් වෙන්න කියලා. මම කීවා බැහැ කියලා. නමුත් ඔවුන් දිගින් දිගටම මට අයින් වෙන්න කියලා ප්‍රශ්න දැම්මා.” එච්.ඩී.අරුණ අප සමග පැවසීය.


ඔහු පැවසූ හෙක්ටයාර් හාරදහස (4,000) කලාප පහකට වෙන්ව ඇත. නීත්‍ය, වරිපච්වේන, ගල්මඩුව, දීඝවාපිය සහ හිඟුරාණය. එම කලාප පහ පුරාවට ගොවීන් හාරදහස විසිරී ඇත. ආයතනය විසින් ගොවියන්ට දුන් පොරොන්දු එමටය. ඒවා දවසින් දවස බොල්වී යනවා හැර වෙන යම් දෙයක් සිදුවන්නේ නැති බව ඔවුන් හා කතාබහේදී අපිට පසක් විය. අරුණ කී කතාව ඊට කදිම නිදසුනකි.


“ආයතනය අපිට මුලින්ම කීවේ ඔයාල අපි වෙනුවෙන් ඉන්න අපි ඔයාලව ආරක්ෂා කරන්නම් කියලා. නමුත් දැන් ගොවියො තමන්ගෙ අස්වැන්නත් එක්ක ඉබාගාතෙ වැටිලා ඉන්නේ.”


පොහොර ප්‍රමාදය


උක් ගොවියෙකුගේ අවසාන අස්වැන්න ලබා ගැනීම සඳහා වගාවට අවස්ථා තුනකදී පොහොර යෙදීමට අවශ්‍ය වන්නේය. පළමුව බීජ පැළ කරනවිටත්, දෙවනුව මාස දෙකක කාලයක් ගිය පසුවත්, තෙවනුව නැවතත් මාස දෙකක කාලයක් ගිය පසුවත්ය. එහිදී ඔවුන් භාවිත කරන පොහොර වන්නේ යූරිය, ඔීඡ සහ ඵධඡ යන පොහොර ත්‍රිත්වයයි. ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම විසින් පොහොර ආනයනය කරන්නේ ගොවියාට අවශ්‍ය පරිදි නොවේ. ඒවා ගොවියෝ පිරිසකට ලබා දී අනෙක් පිරිස සඳහා පසුව පොහොර ලබා දෙනවායැයි පවසන බව උක් ගොවීහු පැවසූහ.
“බීජ පැළ කරන අවස්ථාවේ යෙදිය යුතු පොහොර සමහරක් වෙලාවට බීජ පැළ කරල මාස තුනක් විතර ගියාමයි අපිට ලැබෙන්නේ. එතකොට වෙන්නෙ අස්වැන්න නිසරු වෙනවා. ගොවියෙක් අවුරුද්දක් වෙහෙසිලා වැඩ කරන්නෙ නිසරු අස්වැන්නක් ලබාගන්න නෙවේනේ. සමහර වෙලාවට ගොවියො මුළු දවසම පෝලිමේ ඉන්නකොට ආයතනය අඳුනන අයට හොර පාරෙන් පොහොර ලබා දෙනවා. සාමාන්‍ය ගොවියට කුඩම්මගෙ සැලකිලි.” ජී.කේ. ජිනපාල අප සමග පැවසුවේය.


නිසරු බීජ සහ නිසරු බිම්


ගොවියන්ට හෙක්ටයාර් හාරදහසකට ආසන්න ඉඩ ප්‍රමාණයක් ලබා දුන්නද ඒ සෑම ඉඩමකම උක් වගා කළ නොහැකිය. ඒ පිළිබඳ උක් ගොවියෙකුගේ වචන මෙසේය.


“එක කන්නයක් වගා කරන්නම ඕනි ඒ බිම් සරු බිම්ද නිසරු බිම්ද කියලා බලන්න. නිසරු බිම් උනත් කරන්න දෙයක් නැහැ ඒවා එපා කියන්න බැහැ. කොහොම හරි ඒවයෙ වගා කරන්නම වෙනවා. අපි උක් වගාව වෙනුවෙන් අවුරුද්දක කාලයක් වෙන් කරන්න වෙනවා. උක් ඇරෙන්න වෙන මුකුත් අපිට වගා කරන්න බැහැ ආයතනය එක්ක බැඳිලා ඉන්න නිසා. බීජ ලබා දෙනකොටත් එහෙමයි. සමහරක් වෙලාවට නිසරු බීජත් හම්බෙනවා. ගොවියො විශාල අර්බුදයකට මුහුණ දෙන්නෙ නිසරු බිම්වලට නිසරු බීජ ලැබුණාමයි. එහෙම ලැබුණු කාලෙට ගොවියගෙ අවුරුද්දක මහන්සිය ගඟට ඉනි කැපුව වගේ තමයි.”


පැහැදිලිවම උක් ගොවියෝ හාරදහසක පිරිසක් මුහුණ දෙමින් සිටින්නේ අභියෝගාත්මක අවධියකටය. ඔවුන් වගා කළත් නොකළත් අලාභය. නමුත් ආයතනයට එය බරපතළ නොවීම ගැටලුවකි.


වැඩි නොවන මිල


“සීනි කිලෝ එකක මිල රුපියල් එකසිය පනහ කිට්ටු කරලා. නමුත් උක් ගොවියගෙන් උක් ගන්නෙ තවම පරණ මිලටමයි. පොහොරවල මිලත් එන්න එන්න ඉහළ යනවා. ජනාධිපති නම් කියනවා දේශිය ගොවියට නිසි මිලක් නියම කරනවා කියලා. නිසි මිල නෙවෙයි සාධාරණ මිලක්වත් ලබා දුන්න නම් හොඳයි. මොකද අපි සීනි නිෂ්පාදනයට උක් දුන්නට අපිට කවුරුත් නිකන් සීනි දෙන්නෙ නැහැ. අපි ඒව කඩෙන් ගන්න ඕනි. ඒ නිසා ජීවන මිල ඉහළ යනකොට අපේ අස්වැන්නටත් සාධාරණ මිලක් දුන්න නම් තමා හොඳ.” ජිනපාල පැවසුවේය.


ඔහු පවසන කරුණු තුළ සත්‍යතාවක් ඇති බව ගාමිණී ගුණසිංහ සනාථ කළේය.


“ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම ඔවුන්ගේ යහපත ඔවුන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ ලාභය ගැන විතරයි හිතන්නේ. ගොවිය ගැන හිතන්නෙම නැහැ. කොහොම හරි වගා කරල දෙනව නම් ඔවුන්ට ඕනේ එච්චරයි. ගොවියො විඳින දුක දන්නෙ ගොවියො විතරමයි. අපි ඉල්ලන්නෙ පොහොර ටික වෙලාවට දීලා සරු බීජ පැළ ලබා දීල සාධාරණ මිලක් දෙන්න කියලා විතරයි.


“ආයතනයේ ඉහළ පුටුවල ඉන්න අයට නම් හරියට වෙලාවට වැටුප් ලබා දෙනවා. නමුත් අපේ මුදල් වෙලාවට දෙන්නෙ නැහැ. ඒවා ඉල්ලන්න ගියාම එක එක ඒවා කියලා මග අරිනවා.” ගාමිණීගේ හඬ බාල වනවාත් සමග අසල සිටි අයෙක් එසේ පැවසීය.


කොරේ පිටට මරේ


ගොවියන්ට තම වගාවන් සඳහා ණය ලබාදෙන බව අප කවුරුත් දනිමු. නමුත් ගොවියන්ගේ නම් භාවිත කරමින් ආයතනය ණය ලබා ගැනීම සම්බන්ධව ගැටලුවක් පවතින බව කිව යුතුය. ගොවියන්ගේ නොදැනුවත්භාවය ප්‍රයෝජනයට ගනිමින් ආයතනය තමන්ගේ කටයුතු කර ගැනීම ඉතා පිළිකුල්සහගතය. ගොවියන් ලබාගෙන ඇති ඉඩම් ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම සමග බැඳී ඇති බව සත්‍යය. නමුත් ගොවියන් ආයතනය සමග බැඳී නොමැති බව කිව යුතුය. එසේනම් ගොවියන්ව දැනුවත් නොකර ගොවියන්ගේ නමට ණය ලබාගැනීම වරදක් නොවේද?


“ලක්ෂ දෙක හමාරක ණයක් දෙනවා කියල විතරයි අපිට කීවේ. නමුත් අපි ඒක ගන්නවා කියලා කීවේ නැහැ. අවුරුද්ද අවසාන වෙද්දි ණය ගෙවන්න කියල ලිවුම් එන්න ගත්තා ගෙවල්වලට. අපි ණය නොගෙන ගෙදරට ලිවුම් එන්නෙ ඇයි කියල හොයල බලද්දි තමයි දන්නෙ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම විසින් අපේ නමට ණය අරන් කියලා. අපි ඒක ප්‍රශ්න කළ වෙලේ එයාල කීවා අපි ඔයාලගෙන් අත්සන් ගත්තා කියලා. එතකොට තමයි අපි දන්නෙ ගොවියන්ට ඉංග්‍රීසියෙන් ලිපියක් ලබා දීලා ඒක අත්සන් කරන්න කීවා කියලා. බහුතර ගොවියන්ට ඉංග්‍රීසි දැනුම අඩුයි. එවැනි දේ ප්‍රයෝජනයට ගනිමින් ආයතනයක් කළ යුත්තක්ද කළේ කියන ප්‍රශ්නය අපිට ආවා. අපි ඒවා ප්‍රශ්න කරන්න ගත්තාම ආයතනය අපෙන් පළිගන්න නොයෙක් නොයෙක් දේවල් කරනවා.


මුද්දර ගාස්තුවේ ඉඳල අනෙක් හැම වියදමක්ම ගොවියගෙ සාක්කුවෙන් තමයි වැයවෙලා තියෙන්නේ. උක් ඵලදායිතාව වෙනුවෙන් කිසි වැඩපිළිවෙළක් නැහැ. නමුත් ගොවියන්ව දැනුවත් නොකර හොර රහසෙ කරන වැඩ වලට නම් ක්‍රමවේදයක් ඔවුන් සකස් කරන් ඉන්නේ.” ලසන්ත ඉන්ද්‍ර කුමාරගේ අදහසයි.


හිඟුරාණේ බහුතරය ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම හඳුන්වන්නේ “හිඟුරාණේ හදවත” යනුවෙනි. හිඟුරාණෙන් එළියේ සිට බලන අයෙකුටද හිඟුරාණ ප්‍රසිද්ධ උක් වෙනුවෙන් බව කිව හැකිය. නමුත් කලාපය ඇතුලේ උක් ගොවියාට සිදුව ඇති සහ වර්තමානයේ සිදුවෙන නොසැලකිල්ල උපරිමය. දේශීය ගොවියා ආරක්ෂා කර ඔවුන්ට නිසි මිලක් ලබා දෙනවා යැයි කියූ ජනාධිපතිතුමාගේ අවධානය මීට යොමු විය යුතුය.

වැඩිම මිලක් ගෙවන්නෙ අපි
හිඟුරාණ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමේ
මානව සම්පත් කළමනාකරු වරුණ මධුෂාන්


උක්වලට වැඩිම මිලක් ගෙවන්නෙ හිඟුරාණ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමයි. ටොන් එකට රුපියල් හයදාහක් ගෙවනවා. ඉදිරියට එය රුපියල් හයදාස් දෙසිය පනහ කරන්න ඉන්නේ උක්වල තත්ත්වය බලලා. ආයතනයක් විදියට අපි ගොවියව රවට්ටන්නෙ නැහැ. ණය ගනිද්දි ගොවියව දැනුවත් කරලයි අපි ණය ලබා ගත්තේ. ඉංග්‍රීසියෙන් ලිපි කිහිපයක් තිබුණා. ඒවා ගොවියන්ට පැහැදිලි කෙරෙව්වා. අනික් සියලු ලිපි සිංහලෙන් තමයි තිබුණේ.