සුනන්ද දේශප්‍රිය


මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනුණේ පසුගිය අලුත් අවුරුදු උත්සවය මැද අප්‍රේල් 14දාය. කොවිඞ් 19 සම්බන්ධ ප්‍රශ්නයක් උඩ ඔහු හමුවීමට අවශ්‍ය යැයි ඔහුට දුරකථන පණිවඩයක් දුන්නේ සෞඛ්‍ය බලධාරීන් යැයි පෙනී ගිය පිරිසකි. නමුත් ඔහු නිවසේ දොර හැරිය විට පැමිණ සිටියේ රහස් පොලිස් නිලධාරීන්ය.


එනයින් මුල් දුරකථන පණිවිඩයේ සිට අද දක්වාම ඔහුගේ මානව අයිතීන් පාගා දමමින් ආරක්ෂක හේතූන් මත යැයි රඳවා ගෙන සිටින, හිජාස් හිස්බුල්ලා, මෙරට ක්‍රියාත්මක අවනීතියේ ජීවමාන සංකේතයකි.


ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීහු, නීතියේ පාරිශුද්ධබව කෙළෙසමින් හිජාස් පෙනී සිටිමින් තිබූ නඩුවලට අදාළ ලිපිගොනු ද අත්අඩංගුවට ගත්හ. සිංහල බස නොදන්නා ඔහුගේ ඊජිප්තු ජාතික සහකාරියට සිංහලයෙන් ලියන ලද ප්‍රකාශයකට අත්සන් කරන්නට යැයි බල කෙරුණි.


දැන් මාස හතක් ගතවී තිබේ. එනම් දින දෙසියකට නොඅඩු කාලයකි. තවමත් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් ගොනුකර නැත. ඔහු තවමත් රඳවා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපති රාජපක්ෂ විසින් දින 180න් 180ට නිකුත් කරන රඳවා තැබීමේ නියෝග යටතේය.


ඔහුට නිසි නීතිඥ සහාය ලබාගැනීමට ඉඩක් නැත. ඔහු රඳවා සිටින්නේ හුදකලාවය. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට වරදකරුවකු ලෙස පින්තාරු කිරීමට පොලීසිය දරන ලද තැත දැන් දුර්වර්ණ වී ගොසිනි. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අධිකරණය හමුවෙහි ඉදිරිපත් කිරීම දිගින් දිගටම වළක්වා තිබේ. පොලීසිය කී පරිදි ඔහුට විරුද්ධව සාක්ෂි ඇත්නම් නඩු පවරන්නේ නැත්තේ මන්ද?


අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් නීතිය ඉදිරියෙහි වරදකරුවන් වීමට ප්‍රථම පොලීසිය සහ මාධ්‍ය විසින් වරදකරු කිරීමේ දුරාචාර සංස්කෘතියේ ගොදුරක් බවට හිජාස් පත්කර තිබේ. දරුණු මානව විරෝධී අපරාධයක් වූ පාස්කු ඉරිදා ඝාතනයන්ට සම්බන්ධ යැයි මතයක් ගොඩ නැගූවිට එවැනි අයකු වෙනුවෙන් ඉදිරිපත්වීමට බොහෝ දෙනෙක් බියවෙති. හිජාස්ට කර ඇත්තේ එයයි.


2017 වසරෙහි නොවැ 30 දා මඩකළපුවෙහි වව්නතිව් පොලිස් මුරපොළෙහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ආයුධ පැහැර ගන්නා ලදි. ඒ පිළිබඳ සැකපිට කදිරගාමර් තම්බි රාජකුමාරන් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මහත් මාධ්‍ය ප්‍රචාරයක් සමග අත්අඩංගුවට ගන්නා ලදි.


එම අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ තහවුරුවූ සාක්ෂි මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. එසේ නමුත් 2018 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම ඝාතන කරන ලද්දේ ද සහරාන් ප්‍රමුඛ අන්තවාදී කණ්ඩායම විසින් බව හෙළිදරව් විය. කදිරගාමර් තම්බි ඇප පිට නිදහස් කරන ලදි. එසේ නොවී නම් ඔහු තවමත් නඩු නැතිව දශක ගණනාවක් සිරගතව සිටින දෙමළ සිරකරුවන් ගොන්නට එක්වනු නොඅනුමානය.


මෙවැනි පොලිස් කතා මෙරට අපමණය. හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් පොලීසියේ කතාද දැනට පත්ව ඇත්තේ ඒ ගණයටය.


හිජාස් දිගින් දිගටම මානසික වධබන්ධනයන්ට පත්කරමින් සිරගත කර තිබීම පණිවුඩයකි. එනම් මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත්වන නීතිවේදීන් සහ නීතිවේදිනියන් ප්‍රවේසම් විය යුතු බවයි.


කනගාටුවකට මෙන් ඔහුට යුත්තිය ඉටු කළ යුතු බවට හඬ ප්‍රබලවම නැගෙන්නේ මෙරට ඔහුගේ වෘත්තීය ප්‍රජාව අතුරින් නොව අන්තර්ජාතික නීතිවේදී ප්‍රජාව වෙතිනි. පසුගියදා එංගලන්තයේ සහ වේල්සයේ මානව හිමිකම් නීතිඥ කමිටුව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නඩු නොපවරා දීර්ඝ කාලයක් හිජාස් හිස්බුල්ලා රැඳවුම් භාරයේ තබාගෙන සිටීම මහත් කණස්සල්ලට කරුණක් බවයි. මෙම කමිටුවට එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් සහ නීතිවේදිනියන්ද ඇතුළත් වෙති.


“නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබා ගැනීමෙන් නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකාවේ නීතිවේදීන්ට පළිගැනීම් සහ හිරිහැර පැමිණවීම් පිළිබඳව බියක් සැකක් නැතිව සිට රාජකාරිය කළ හැකි පරිසරයක්” ඇති කරන ලෙස ඔවුහු එමගින් ඉල්ලා සිටියහ.

අන්තර් ජාතික නීතිවේදී ප්‍රජාව නඩු නොපවරා හිජාස් දිගින් දිගටම රඳවා තබා ගැනීම හෙළා දකිමින් මෙවැනි ප්‍රකාශ ගණනාවක්ම මුදාහැර තිබේ.
එසේ නමුත් පිල්ලෙයාන්ට ඇපදී නිදහස් කිරීමට උපදෙස් දෙන නීතිපති දෙපාර්තමේන්තුව මාස හතක් ගතවීමෙන් පසුත් තවමත් මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා සිරගත කරගෙන සිටී.


මානව හිමිකම් විරෝධී දේශපාලන අධිකාරිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ජාතිවාදය යන භයානක දුශ් සංයෝගයේ ගොදුරක් බවට පත්ව ඇති ඔහු, වත්මන් ශ්‍රී ලංකාවේ අවනීතියේ සංකේතයකි.
ඔහුගේ නිදහස වෙනුවෙන් කටයුතු කිරීම අප සැමගේ ප්‍රජාතන්ත්‍රවාදී යුතුකමය.
(ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සම්බන්ධයෙන් ද දැක්වෙන ආණ්ඩුවේ පිළිවෙත එවැනිම එකක් බව සටහන් නොකළහොත් අඩුවක් විය හැකිය.)


ප්‍රහාරය ඇරඹේ.


අපේක්ෂිත පරිදි 20වන සංශෝධනයේ ගිනියමින් මෙරට මාධ්‍ය නිදහසට කණ කොකා හැඬවීම ආරම්භ වී තිබේ.
පසුගිය දිනවල වාර්තා වූ මේ ප්‍රවෘත්ති දෙස බලන්න.


රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන යන මාධ්‍යයන්ට නිල ජනමාධ්‍ය හැඳුනුම්පත නිකුත් නොකිරීමට ආණ්ඩුව තීරණය කරන ලදි.


පාර්ලිමේන්තුවෙහි අයවැය ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ජනමාධ්‍යයට ඉඩ නොදෙන ලදි. එනමුත් විදේශ තානාපතිවරුන්ට එම අවස්ථාවට සහභාගිවීමට ඉඩ සලසා තිබුණි. අගමැති රාජපක්ෂ අයවැය ඉදිරිපත් කළේ ඉඳගෙනය.


ඊට පෙර පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වාර්තා කිරීමට මාධ්‍යයට දී තිබූ අවසරය ඉවත් කර ගන්නා ලදි.
දානයකට ගිය රාජපක්ෂ පවුලේ උදවිය විහාරස්ථානයක මේසයක වාඩිවී දානය අනුභව කරන අන්දම පෙන්වන ඡායාරූපයක් ප්‍රසිද්ධ කළ විපක්ෂ ජනමාධ්‍යවේදියකු රහස් පොලීසියට කැඳවන ලදි. එම ඡායාරූපය විකෘති කර රාජපක්ෂ පවුල වෙනුවට භික්ෂූන් ආදේශ කරන ලද පුද්ගලයා ගැන පරීක්ෂණයක් නොපවත්වන ලදි.
මඩකළපුවෙහි ගව පට්ටියක් පවත්වාගෙන යන අයකුගේ ඉඩම යුද හමුදාව බලයෙන් අල්ලා ගන්නට යන්නේ යැයි වාර්තාවක් පළ කළ දෙමළ ජනමාධ්‍යවේදියකු එරාවුර් පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරන ලදි.


දෙසතියක් ඇතුළත මර්දනකාරී සිංගප්පූරු මාදිලියේ “ව්‍යාජ පුවත් පාලන” නියාමන පනතක් ගෙන එන බව ඇමැතිවරු දෙපළක් විසින් ප්‍රකාශ කරන ලදි.


වෙබ් අඩවි 30ක් තහනම් කිරීමට රජය සලකා බලමින් සිටින බවට තවත් පුවතක් පළ විය.
විදෙස්ගතව සිටිමින් “ව්‍යාජ” පුවත් සමාජජාල මගින් බෙදාහැරියේ යැයි කියන දෙදෙනෙකු මෙරට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු කියා තිබුණි.
එවැනි “ව්‍යාජ පුවත්” පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින පිරිස දුසිම් ගණනාවක් විය හැකි යැයි විපක්ෂ දේශපාලනඥයකු ප්‍රකාශ කළේය.


අත්අඩංගුවට ගත යුතු මාධ්‍යවේදීන් දෙසිය ගණනාවකගේ ලැයිස්තුවක් පොලීසියට දී ඇතැයි සජබ පා.ම. ඉමිටියාස් බාකීර් මාකර් පාර්ලිමේන්තුවට කියා සිටියේය. ආණ්ඩුව එම පුවත ප්‍රතික්ෂේප කළේ නැත.
පොහොට්ටු පක්ෂය විසින් දේශපාලනිකව පාලනය කරන රාජ්‍ය ජනමාධ්‍ය සඳහා රජයේ සියලු ආයතන පළ කරනු ලබන දැන්වීම්වලින් 25% ලබා දිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. එමගින් සමාන භූමියක තරගයට තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව රජයට අයත් නොවන මාධ්‍යයන්ට ඇහිරේ.

සියලුම රාජ්‍ය ආයතනයන්ට නියෝගයක් යවමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කියා සිටියේ සියලුම වෙළෙඳ දැන්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා වෙන් කර ඇති අරමුදල් පාවිච්චිය නතර කරන සේ ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇති බවය.


මේ තාක් මේ කිසිවක් ගැන ජනමාධ්‍ය සංවිධාන විරෝධය ප්‍රකාශ කර නැත!
සෙස්ස පස්සටය!


මැඬිල්ලේ හිමිගේ වචන


මැඬිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ගේ පන්සලට පොලීසිය පැන්නේ කිසිදු දැනුම්දීමකින් තොරවය. මැඬිල්ලේ එසේ මෙසේ භික්ෂුවක නොවේ. අන්ත ජාතිවාදය නමැති සිය වාහනයෙන් රාජපක්ෂවරුන් රාජාසනය වෙත වැඩම්වන ලද භික්ෂුවකි. පසුදාක එහිමියන්ගේ පන්සලට කඩා වැදුණු රහස් පොලිස් නිලධාරීහු එවෙලෙහිම තමන්ට ප්‍රකාශයක් දිය යුතුයැයි බලකර කියා සිටියේ ය. එයට පෙර දැන් අධිකරණ ඇමති වන අලි සබි්‍ර ගැන කතාකිරීම තහනම් කරමින් එහිමියන්ට එරෙහිව අධිකරණ නියෝගයක්ද ලැබී තිබුණේය. මෙවර මැඬිල්ලේ හිමි කියන්නේ තමන්ට එරෙහිව පොලීසිය උසිගන්වන ලද්දේ ඇමති ජොන්ස්ටන්ගේ අරක්කු ලැයිසමට විරුද්ධව තමා කතා කළ නිසා බවයි.
සිය පන්සලට පොලීසිය කඩා පැනීම ගැන මැඬිල්ලේ හිමි කියා තිබුණේ “ඔන්න සර්ගේ සෞභාග්‍යයේ තරම!” කියාය.
මේ සිදුවීම මතකයට නංවන්නේ ලොව පුරා යළි යළි පුනරුච්චාරණය කැරෙන මාර්ටින් නිමලොර්ගේ වචනය. “ඔවුහු අන්තිමේදී මා සොයා ආහ.”


රහස් පොලීසිය මෙලෙස නොදන්වා කඩා පැන බලහත්කාරයෙන් කටඋත්තර ගත් ප්‍රථම වතාව මැඬිල්ලේ හිමිගේ පන්සල නොවේ. මේ වනාහී විරුද්ධවාදීන් මැඬළීමේ දේශපාලන පොලීසියේ සුපුරුදු හැසිරීමය. එලෙස හැසිරීමට පොලීසියට බලය ලැබී ඇත්තේ දේශපාලන පිටුබලය නිසාය. පසුගිය කාලය පුරා මැඬිල්ලේ වැනි භික්ෂූන් කියමින් සිටියේත් තමන් විසින් විරුද්ධවාදීන් ලෙස සලකන විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් දේශපාලඥයින්ට මෙවැනි විරුද්ධව පියවර ගත යුතු බවය.


දැන් බූමරංගය ආපසු කැරකී ඇවිත් තිබේ. සමහරවිට තවම බූමරංග එන්නට පටන් ගත්තා විතරය. හොඳ හොඳ සෙල්ලම් කෙළින්නේ එළිවෙන ජාමෙටයැයි කියනු ලැබේ.
ඔහොම යං!