ආරියවංශ අබේසේකර


ගැටවර වියේදී අපි හැම හිතුවක්කාරයෝ වෙමු. එය ජීව විද්‍යාත්මක අවශ්‍යතාවකි. එහෙත් ඇතැමෙක් ගැටවර විය කෙළවර සිය හිතුවක්කාරී හැඟීම් මැඬපවත්වා ගනිමින් සාම්ප්‍රදායික සමාජ, සංස්කෘතික සාරධර්මයන්ට හීලෑ වන්නට එකඟ වන අතර අනෙක් සුළුතරයක් තම හිතුවක්කාරකම් පරිණාමයට ලක් කර ගනිමින් අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කරති. පවත්නා සමාජ සංස්කෘතික සාරධර්මයන්ට එකඟ නොවුණ ද කවරදාත් ලෝකයට අලුත් දෙයක් සොයා දුන්නෝ අර හීලෑ නොවුණු හිතුවක්කාරයෝ ම වෙති.


තීරුකරු ද ගැටවර වියේ හිතුවක්කාරයෙකි. දිනක් උදේ පටන් කැපූ ගොයම් කමතට ඇද සන්ධ්‍යා භාගයේ ගොයම් කොළයක් පාගා (එකල ගොයම් පෑගුවේ ට්‍රැක්ටර් වලිනි) මැඬුවම් ඉවත් කොට බැත රාහිකර හමාර වන විට හොඳටම රෑ බෝවී තිබිණ. උපකාරයට ආ සෙස්සන් පිටත්ව ගිය පසු තීරුකරුගේ පියා ඇළට ගොස් ඉක්මනින් ඇඟපත සෝදා ගෙන පැමිණියේ දවස පුරා මහන්සි වූ කොලුවාට වහා කාටු සෝදා නාගෙන එන්නට කාලය ලබා දෙන අටියෙනි. එදින උදේ පටන් තාත්තාත් සමග මොකක්දෝ කාරණයකට රණ්ඩුවක් අල්ලා සිටි ඇට්ටර කොලුවා නෑ මට නාන්ඩ ඕන නැතැයි කියා පිදුරු කන්දේ වක ගසා ගත්තේය. බාලේ පටන් හරහට ම වැඩ කරන පොඩි එකා සමග රණ්ඩු අල්ලන්නට නොගිය වියපත් තාත්තා නිහඬව උකුණුදැති කිහිපයක් එකට බැඳ ඉග්ලුවක් වැනි තාවකාලික පැලක් ඇටෙව්වේය. ගෙදරින් රෑ බත ගෙන ආ පසු තරහෙන් පුපුරමින් බත්පත කෑ කොලුවා ගෝනි දෙකක් එලාගෙන බැත කන්ද අයිනේ එළිමහනේ නින්දට ගියේ පැල තුළට වරෙන්නැයි පියා කළ ඉල්ලීම සතේකට මායිම් නොකරමිනි. එහෙත් වටින් පිටින් පින්න වැටෙමින් කල් ගතවෙද්දී හිතුවක්කාරයාගේ ඇඟපත කසන්නට පටන් ගත්තේය. තාත්තාට නොදැනෙන්නට හෙමින් කසමින් අපහසුව මගහරවා ගන්නට තැත් කළද දවස පුරා ගැලූ දහඩිය මත ඇලී ඇඟ පුරා වෙලුණු කාට්ටෙන් කිසිදු අනුකම්පාවක් ලැබුණේ නැත. අවසානයේ කොලුවා දත් කාගෙන තාත්තාට නින්ද යන තුරු කල් මරා හොරෙන්ම නැගිට ගොස් ඇළෙන් නාගෙන පැමිණ නිදා ගත්තේය. අදත් හිතට දැනෙන ඒ කැසිල්ලේ ආනුභාවයෙන් හිතුවක්කාරකමේ ප්‍රභේද දෙකක් ඇතිවග එදා තීරුකරු හඳුනා ගත්තේය. ඒ හැබෑ හිතුවක්කාරකම සහ මෝඩ හිතුවක්කාරකම වශයෙනි. සැබෑ හිතුවක්කාරකම මිනිසා සතු විභව ශක්තීන් අවදි කොට අලුත් නිර්මාණයකට මඟපාදන අතර මෝඩ හිතුවක්කාරකම වූ කලී උඩ බලාගෙන කෙළ ගැසීමක් පමණය. තවත් විදියකින් කියන්නේ නම් මූණත් එක්ක තරහට නහය කපා ගැනීමකි. එදා පාන්දර නැගිට බැතකන්ද පාමුල වකුටුව නිදන කොලුවාගේ ස්වරූපයේ වෙනස හඳුනාගත් තාත්තා කට කොණින් සිනාසෙන්නට ඇත. මේ සිදුවීම සිහිපත් වන හැම විටම තීරුකරුගේ මුවට නඟින්නේ එදා පාන්දර තාත්තාගේ මුවට නඟින්නට ඇතැයි සිතෙන සිනාවමය.


තීරුකරුට සිය අතීත හිතුවක්කාරකම් අතරින් අමතක නොවන මෝඩම මෝඩ හිතුවක්කාරකම එසේ හදිසියේ සිහිපත් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හදිසි කෘෂිරසායන විරෝධය සහ ඒ පිළිබඳව පක්ෂව හා විපක්ෂව තැන තැන කෙරෙන කතාබහ සහ පළවන පුවත් ඇසූ දුටු කලය. ලංකාවේ මනෝරාජික කාබනික ප්‍රේමවන්තයින් අමන්දානන්දයට පත් කළ උක්ත පුවත මහ පොළොව මතදී ක්‍රියාකරනු ඇත්තේ කෙසේද පිළිබඳව අනාවැකි පළ කළ යුතු නොවන තරම්ය.


ලෝක ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවෙද්දී එතෙක් පැවති සාම්ප්‍රදායික කාෂිකර්මාන්තයෙන් නිපැයුණු ආහාර භෝගයන්හි අස්වනු ප්‍රමාණ වැඩි වන ජනගහනයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවීය. ඊට පිළියමක් වශයෙන් කෘෂි හා රසායන විද්‍යාඥයින්ගේ පර්යේෂණයන් ඔස්සේ ආහාර භෝග වගාවන්හි අස්වනු වැඩි කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් සොයා ගැනුණු අතර භෝගයන්හි ශීඝ්‍ර වර්ධනය සහ අස්වනු වැඩි කිරීම පිණිස කෘත්‍රිම පොහොර වර්ගයන් ද වගාවන්ට එරෙහිව පෙළගැසෙන පලිබෝධයන් ඉක්මනින් තුරන් කරගැනීම සඳහා කෘෂිරසායනයන් ද සොයා ගැනිණ. මේ හරහා ලෝක කෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි ක්ෂණික පිබිදීමක් ඇතිවූ අතර ඉතා ඉක්මනින් ලෝකය පුරා උක්ත කෘෂි රසායනයන් පැතිර ගියේය. මෙය හරිත විප්ලවය නම් විය. එහෙත් ඊට නොදෙවෙනි වේගයකින් හරිත විප්ලවයට එරෙහි මතවාදයන් ද ගොඩනැඟුණේය. ඒ මතවාදයන් විසින් කෘත්‍රිම කෘෂිරසායනයන්ගෙන් මනුෂ්‍ය වර්ගයාට මතු නොව ලෝකයේ ස්වභාවික පරිසරයට පවා මහත් විනාශයක් සිදුවන බවට තොරතුරු අනාවරණය කරගන්නා ලද අතර එම තොරතුරු සත්‍ය නොවෙතැයි කියන්නෙකුදු නොවීය. මේ මතවාදය කරළියට ගෙන ආ මාර්තා ප්‍රිකට්ගේ වසන්තය නිහඬ විය නමැති කෘතිය හරහා ගොඩනැඟණු කෘෂි රසායනයන් පිළිබඳ විරෝධය හරහා ලොව පුරා රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ඇරඹී ක්‍රියාත්මක වන්නට පටන් ගත් අතර ලංකාවේද එවැනි සංවිධාන ගණනාවක් ක්‍රියාත්මකව පවතී.

ඔවුන්ගේ සොයා ගැනීම් සහ තර්ක බොරු නොවේ. එහෙත් අද වන විට ලෝකයේ කිසිදු රටකට කෘෂි රසායනයන්ගෙන් තොර කෘෂිකර්මාන්තයක් පිළිබඳ සිහිනයක් හෝ දැකිය හැකිද යන්න ප්‍රශ්නයකි.


කිසිවෙකු රසායන පොහොර සහ පළිබෝධ නාශකයන් රට තුළ තහනම් කොට පැරණි සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමයකට හෝ නව්‍ය කාබනික ගොවිතැනකට යෑමට පිඹුරුපත් අඳින්නේ නම් එය මනාව සැලසුම් කළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ යමින් ක්‍රමානුකූලව කළයුත්තක් මිස හිටි අඩියේ ගන්නා ලද තීරණයක් ක්‍රියාවට නැංවීම සඳහා කරුණු සොයා බැලීමක් විය යුතු නොවේ. අනෙක් අතට මේ සියවසෙහි කිසිවෙකු කෘෂි රසායනයන්ගෙන් තොර ගොවිතැනක් ගැන සිතන්නේ නම් එය නිකම්ම නිකම් විහිළුවක් පමණය. කාට්ටෙන් නැහැවුණු එකා දෙවැනි වර නෑයුත්තේ වතුරෙනි. ■