අරුණි සමරකෝන්

මේ ගෙවෙන මොහොතේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනය මා විසින් හඳුන්වා දෙනු ලබන්නේ සංකේතාත්මක සහ ව්‍යුහාත්මක ප‍්‍රචණ්ඩත්වයේ සංයෝගයක් ලෙසය. තිස් අවුරුදු යුද්ධයක් අවසන්ව 2009 දී හිටපු ජනාධිපති, වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ස්වාධිපත්‍ය ආයතනය වූ පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ත‍්‍රස්තවාදීන්ට එදිරි යුද්ධය අවසන් බවත්, එම මොහොතේ සිටම එක් පාර්ලිමේන්තුවක්, එක් ආණ්ඩු පරිපාලනයක් තුළ රටේ පාලනය පවතිනු ඇති බවය. (https://reliefweb.int/report/sri-lanka/sri-lankan-president-formally-announces-end-civil-war) එයට ඔල්වරසන් දෙමින් වීදි බට ජනයා, එම දේශපාලනික ආකෘතිය පිළිගනිමින් කිරිබත් උයා, රතිඤ්ඤා පත්තු කළ බව අත් දැක්කෙමු සහ එය ඉතිහාසයේ සඳහන් විණි. නමුත් ත‍්‍රස්තවාදී නොඑසේනම් ත‍්‍රාසය (terror) භාවිත කරමින් පාලනය ගෙන යාමේ යුගය අවසන් වීම 2009 දී නිශ්චිතව ම සිදුවූයේ ද යන්න නැවත සිතා බැලිය යුතුය. මන්දයත් එම සිතා බැලීම සමග මේ මොහොතේ ශ‍්‍රී ලංකා දේශපාලනයේ ස්වභාවය වටහා ගැනීමට හැකිවන බැවිනි.

2019 පාස්කු ඉරුදින සිදුවන ත‍්‍රාසය හරහා දේශපාලනය කිරීම හෙවත් අන්තවාදී ආගමික සාමුහිකය නියෝජනයක් විසින් කතෝලික දේවස්ථාන වෙත මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කරන ලදි. මෙම ප‍්‍රහාර වෙත ප‍්‍රතිචාර දක්වමින්, සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් විසින් පශ්චාත් පාස්කු ප‍්‍රහාර මාලාවක් ද සිදුකරන ලදි. මුස්ලිම් වීම හේතුවෙන් ම මෙම ප‍්‍රහාර මාලාවේ වින්දිතයන් බවට බොහෝ දෙනෙකු පත්විය. ඒ වන විට ද ත‍්‍රාසය සමග මුසු වූ මුස්ලිම් විරෝධී වාර්ගික දේශපාලන දෘෂ්ටිවාදය දෛනික ජීවිතය තුළ මුණ ගැසුණි. වඳ පෙති, වඳ ඇඳුම්, පිළිබඳ විද්‍යාත්මක ව සනාථ නොකරන ලද ප‍්‍රකාශන හරහා මෙරට දෛනික ජීවිතයේ සහජීවන පැවැත්ම තර්ජනයකට ලක්විය. එහිදී රාජ්‍ය හෝ අධ්‍යාපන, සෞඛ්‍ය හෝ මාධ්‍ය වැනි එහි අනුබද්ධ ආයතන ද නිහඬ භූමිකාවක් පවත්වා ගනිමින් මෙම ත‍්‍රාසය සමග වූ දේශපාලනය තවදුරටත් වර්ධනය වීමට අවකාශය සලසන ලදි. මෙහි දැඩිම අවස්ථාවක් නම් සිංහල -බෞද්ධ මවුවරුන් වන්ද්‍යකරණය කිරීම නැමති පදනම් විරහිත චෝදනාවක් එල්ල වන අවස්ථාවේදී ද සෞඛ්‍ය සේවා වෘත්තීයවේදීන් ඒකීය ස්ථාවර පැහැදිලි කිරීමක් සිදු නොකිරීමය.

මෙවැනි පසුබිමික දේශපාලනය වර්ධනය වීම මා විසින් හඳුන්වා දෙනු ලබන්නේ ත‍්‍රාසය මතුකර එයින් ස්ත‍්‍රී/පුරුෂ පුරවැසියා ආරක්ෂා කිරීමේ පරම හැකියාව සහිත වන ශක්තිමත්, බලය කේන්ද්‍රීය ආණ්ඩුවක් බිහිවීමත්, එම ආණ්ඩුව විසින් නම් කරන ඕනෑම අවස්ථාවක්, සිදුවීමක් ‘අනාරක්ෂණයෙන් ආරක්ෂාවීම’ යන ලේබලය තුළට ගෙන ඒමත් සමග පුරවැසියාගේ නිදහස සහ අයිතීන් රාජ්‍ය ආරක්ෂාව නමැති මකර කට තුල ගිලීයාමේ ගැටලූවයි. මේ අනුව මේ මොහොතේ ශ‍්‍රි ලංකාවේ දේශපාලනය රාජ්‍ය ආරක්ෂාව නමැති ‘වේලය’ (veil) තුළ සැඟවෙන අතර එම වේලය මගින් ව්‍යුහාත්මකව සහ සංකේතාත්මකව සිදුවන ප‍්‍රචණ්ඩත්වයන් වසා දමා තිබෙන බව මගේ යෝජනාව වේ. එදා ත‍්‍රාසයෙන් තොරව ජීවත්වීමක් අපේක්ෂා කරමින් වීදි බටව තම සතුට ප‍්‍රකාශ කළ පුරවැසියා ගේ (ස්ත‍්‍රී /පුරුෂ) සිට, මුස්ලිම් වර්ජනය සිදුකරමින් සිංහල -බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් සිහින මැවූ සියලූ පාර්ශ්ව රාජ්‍ය ආරක්ෂාව නමැති වේලය තුළ සිදුවන ප‍්‍රචණ්ඩකාරී මර්දනයට මුහුණදෙමින් සිටී.

එහි එක් ආඛ්‍යානයක් නම් හෙජාස් හිස්බුල්ලාය. හිස්බුල්ලා යන නාමය ශ‍්‍රවණය වූ විට ත‍්‍රාසයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් වේලයෙන් වසා මර්දනය පවත්වා ගනු ලබන ආණ්ඩුව වෙත සහයෝගය දීමට රුචි බවට වූ ජන විඥානයක් ගොඩනැගීමේ ඛේදවාචකය තවදුරටත් පැහැදිලි කිරීම වෙනුවෙන් මෙය ලියා තබමි.

”ශ‍්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ නිලවරණය වෙත සාලිය පීරිස් ඉදිරිපත් වන විට එල්ල වූ ප‍්‍රධාන චෝදනාව නම්, හෙජාස් හිස්බුල්ලා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමය. සාලිය කළේ ඔහුගේ වෘත්තිය. හැබැයි එම වෘත්තීය පෙනී සිටීම පවා වාර්ගික ප‍්‍රවේශයකින් පෙන්වා දෙමින් නීතිවේදීන්ගේ නිලවරණයේ දී සාලිය වෙත ද්‍රෝහිත්වයක් ආරෝපණය කර තිබුණා ” යැයි මාගේ මිතුරෙකු වූ දුලාන් දසනායක පැවසුවේ හෙජාස් පිළිබඳ කරන ලද කරුණු සොයා බැලීමකදීය. මෙම ආඛ්‍යානය හරහා පැහැදිලි වූ කරුණ නම්, හෙජාස් වෙනුවෙන් නීතිවේදී සහය ලබා දීමද රාජය ආරක්ෂාව තර්ජනයකට ලක් කිරීමක් ලෙස අර්ථකථනය කරමින් යම් සමූහයක් දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් ප‍්‍රයන්තන දැරීමම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ධාරා දේශපාලනයේ කෙන්ද්‍රියම සාධකයක් වීමය.

වාර්ගික අනෙකා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වීම යන දේශපාලන විඥානය තවදුරටත් තේරුම් ගත හැකිවන්නේ, හෙජාස්ව අත්අඩංගුවට ගැනීමේ දී අනුගමන කරන ලද අශිෂ්ටචාර ක‍්‍රියාපටිපාටිය විමර්ශනයන කිරීමෙනි. එය පුනර් ප‍්‍රකාශනයක් කළයුතුවන්නේ, එයින් නිරූපණය වන ව්‍යුහාත්මක ප‍්‍රචණ්ඩත්වය වටහා ගැනීම උදෙසාය.

”ගෝලීය covid 19 මාරාන්තික වසංගතය තුළ ද ඒ වන විට ශ‍්‍රී ලාංකික සිංහල සහ දෙමළ ප‍්‍රජාව අලූත් අවුරුදු සැමරුම් වෙනුවෙන් සූදානම් වෙමින් සිටියෝය. මෙම කාලයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු සහ සිවිල් අයිතිවාසිකම් ක‍්‍රියාධරයකු වූ හෙජාස් හිස්බුල්ලා වෙත අසාමාන්‍ය දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සඳහන් කරමිනි. එම ඇමතුමට අනුව හෙජාස් කොවිඞ් 19 ආසදිතයකුගේ ආශ‍්‍රිතයකු ලෙස ඇමතුම ලබා දුන් පුද්ගලයා හඳුන්වා දී ඇති අතර, ඒ හේතුවෙන් නිවසේ රැුඳී සිටින ලෙසට උපදෙස් ලබාදී තිබේ. මෙම ඇමතුම ලැබෙන අවස්ථාව වන විට ඔහුගේ ද දායකත්වයෙන්, covid 19 ආසාදිතව මියයන මුස්ලිම් ජනයා භූමදානය කරන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙතින් ඉල්ලා තිබුණි. එම ඉල්ලීම විස්තර වූයේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් මුස්ලිම් ප‍්‍රජාවගේ ආගමික අයිතිය සුරක්ෂණය කරන ලෙසය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද මාර්ගෝපදේශනය වුයේ covid 19 අසාදිතව සිදුවන මරණ භූමදානය හෝ ආදාහනය කිරීම ගැටලූවක් නොවන බවය” (Amnesty International, 2020).

”සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලද පණිවිඩයට අනුව හෙජාස් වෙත පැමිණිය යුතු අදාළ නිලධාරීන් වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩයමක් පැමිණ, හේතු දැක්වීමකින් තොරව හෙතෙම අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම පිළිබඳ විමසිලිමත් වූ ඔහුගේ ඥාතීන් වෙත අනතුරු හැඟීමක් ද සිදු කර තිබුණි. කිසිදු නීතිමය ලේඛනයක් නොමැතිව පැමිණි එම පුද්ගලයන් විසින් හෙජාස්ගේ කාර්යාලයේ තිබු පෞද්ගලික උපාංග වූ ලිපිගොනු, laptopච පරිගණක එකඟත්වයකින් තොරව අවුස්සා තිබු අතර ඔහුගේ දුරකථනයේ වූ අංක වෙත ඇමතුම් ලබා ගන්නා ලෙසට බල කර තිබුණි. දිස්ත‍්‍රික්ක අධිකරණයේ ඒ වන විට ද විභාගවෙමින් පැවති යුසෆ් මොහොමඞ් ඉබ්රහම්ගේ නෛතික ලිපිගොනු හෙජාස්ගේ කාර්යාලයෙන් ලබාගත් පසුව, හෙජාස් ද කැටුව මෙම නිලධාරීන් පිටව ගොස් තිබුණි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබා ගැනීමේ නියෝගය මත හෙජාස් මේ වන විට ද බන්ධනාගාරගත කර ඇත. (Amnesty International, 2020).

හෙජාස්ව අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රියාවලියම ව්‍යුහාත්මක සහ සංකේතාත්මක ප‍්‍රචණ්ඩත්වයේ රාජ්‍ය භාවිතාවකි. මේ ගෙවෙන මොහොතේ පාස්කු ප‍්‍රහාරය වෙනුවෙන් නඩු පැවරීමට කටයුතු කළද හෙජාස් එම නඩු ක‍්‍රියාවලිය තුළ චෝදනාකරුවකු කර නොතිබේ. ඒ වෙනුවෙන් වූ චෝදනා ඔහු වෙත ලබාදීමට කටයුතු කර නැත. එසේම මෙම අත්අඩංගුවට ගැනීමේදී කිසිදු නීතිමය ලියවිල්ලක් නොමැතිව අත්තනෝමතිකව රාජ්‍ය යාන්ත‍්‍රණය හැසිරී ඇත. තමාව අත්අඩංගුවට ගනු ලබන හේතු සාධකය හෝ පැහැදිලි කර නොමැති අතර හෙජාස් ව නොමඟ යවමින්, මාරාන්තික වසංගතයක ආශ‍්‍රිතයකු ලෙස හඟවමින් කටයුතු කිරීම සිහිකැඳවනුයේ, යුද්ධයේ දී මෙම රාජ්‍ය හැසිරුණු අශීලාචාරබවමය.

එහිදී, ප‍්‍රහාර නොදිය යුතු කලාප ලෙස මෙම රාජ්‍ය විසින්ම නම් කරමින් පසුව එම කලාප එල්ල කර ප‍්‍රහාර එල්ල කිරීම සිදුකළ රාජ්‍යයක් මෙසේ හැසිරීම පිළිබඳව පුදුම විය යුතුද නැත. එහෙත් එසේ හැසිරීමේ දේශපාලනික අයිතියක් රාජ්‍ය වෙත ලබා නොදිය යුතුය. හෙට දින පැමිණ, ඔබගේ නිවස, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින්, සෝදසි කර, මෙය කියවන ඔබව අත්අඩංගුවට නොගනී යනුවෙන් කිසිදු සහතිකයක් මෙම රාජ්‍ය විසින් සපයා දී නොමැත. නන්දිකඩාල් හිදී මෙන්ම දේවස්ථාන තුළදී ද ඔබගේ ජීවිතය අනාරක්ෂිත කිරීමේ හැකියාව, විශාල බලයක් ලබාගත් වාර්ගික ආණ්ඩුවවලට හැකිබව මතකයේ තබාගත යුතුය. එසේම එම ජිවිත විනාශ, ත‍්‍රස්තවාදය ට එරෙහි යුද්ධයක් ලෙස හෝ, රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වූ ක‍්‍රියාවලියක් ලෙසද යුක්ත යුක්ත කිරීමට මෙම රාජ්‍ය කටයුතු කරනු ඇත.

එසේම හෙජාස්ගේ ආඛ්‍යානය සමග එළිදරව් වන තවත් කරුණක් නම්, අත්අඩංගුවේ සිටින රැුඳවියන් වෙත රාජ්‍ය, මාරාන්තික වසංගතයක් අවස්ථාවකදී දක්වන ලද ප‍්‍රචණ්ඩත්වය වේ. එහිදී රැුඳවියන් සමඟ සම්බන්ධවීමට ඇති නිදහස අවම කරමින් ද , ඔවුන් වෙත අවශ්‍ය වන වෛද්‍ය උපදේශන ලබාදීම සීමා කරමින්ද ඉතාම අමානුෂික මර්දනයක් සිදුවීමට රාජ්‍ය විසින් ඉඩ ලබා දෙන ලදි. හෙජාස් ද එම මර්දනයේ එක් වින්දිතයෙක් විය.

මෙම ලිපිය අවසන් කරමින්, මා පවසා සිටින්නේ, මේ මොහොතේ පවතින වාර්ගික දේශපාලනය සමග බැඳෙන රාජ්‍ය ආරක්ෂාව ශ‍්‍රි ලාංකික සියලූ පුරවැසියන්ගේ ජිවිත අනාරක්ෂිත කර තිබෙන බවය. එසේම එම ආරක්ෂාව විසින් පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ඉතා දැඩිව උල්ලංඝනය කර තිබෙන අතර එම පුරවැසි කාණ්ඩයට අයත් රැුඳවියන්ගේ ඉරණම සහ අයිතීන් වර්ගවාදය සහ රාජ්‍ය ආරක්ෂාව විසින් තීරණය කිරීම බරපතළ ඛේදවාචකයකි. එසේම රාජ්‍ය ආරක්ෂාව යටතේ ව්‍යුහාත්මක සහ සංකේතාත්මක ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ඉඩ ලැබීම සහ එය රාජ්‍ය ආරක්ෂාව වේලයෙන් වසා තැබීම වෙත ද අප සැලකිලිමත් විය යුතුය. මෙම මර්දනයේදී හෙජාස් යනු හුදෙක්ම එක් පුද්ගලයකු නොව ශ‍්‍රී ලාංකිකයන් සැමගේම නියෝජනයක් වන බව ද තේරුම් ගැනීම වැදගත් වේ.