ටිරන් කුමාර බංගගමආරච්චි


ජනපති ගෝඨාභය පත්වීමත් සමග බලාපොරොත්තු වූ ප්‍රධාන කරුණක් නම් පාස්කු ප්‍රහාරයට හේතුවූ අවංක කරුණු සහ පිරිස් සොයා ගනු ඇතැයි යන්නය. එහෙත් තවමත් එය පැරණි විමර්ශන කණ්ඩායමකට භාරදී කල් මැරීම හැර වෙන විකල්පයක් කරනු නොපෙනේ. මේ හිටපු ජනපති සිරිසේනගේ විමර්ශනයේම දිගුවකි. එයින් උපරිම සාධාරණයක් වනු ඇත්ද?


මෙම විමර්ශනයට තවමත් හිටපු ජනපති සහය දක්වා නැත. කොටින්ම ඔහුගෙන් ප්‍රශ්න කර නැත. මෙය බරපතළ කරුණකි. ඔහුට කටඋත්තර ලබා දෙන්නැයි කීවේ කලකට පෙර බැවිනි. එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ නොබෝදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සාක්ෂි ලබාදී තිබුණි. එහෙත් හිටපු ජනපති සිරිසේන මෙයට උපරිම සහය දෙනු නොපෙනේ.


එවකට ආණ්ඩුවේ ප්‍රබලම චරිත දෙක වූ මේ දෙපළ අන් සැමට වඩා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තෝය. එහෙත් මොවුන් දෙපළම අත් පිහදාගෙන ඊට වැරදිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරව බිල්ලට දී ඇත. මෙය හිටපු ජනපති සිරිසේන තමාගේ ගැලවුමට කළ උප්පරවැට්ටියකි. ජනතාවගෙන් සමාව ඉල්ලනු වෙනුවට ඔහු කළේ උපරිම තක්කඩිකම ප්‍රදර්ශනය කිරීමය. එනම් තමා කිසිත් නොදන්නා තොත්ත බබා වී මේ දෙපළ බන්ධනාගාර ගතකිරීමය. ඊට නීතිපතිගේ උපරිම සහය ගත්තේය. ඔහුද එවකට ජනපති සිරිසේනගේ ඕනෑඑපාකම්ම ඉටු කළා සැබවිය. අද ඔහුම කියනුයේ ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුව සිරිසේන සහ රනිල් වෙනුවෙන් පෙනී නොසිටින බවය. එය යහපත්ය. පෙනී නොසිටිනවා පමණක් නොව සිරිසේනගේ වෙස් මුහුණු ගලවන්නටද වග බලා ගත යුතුය.


මේ සටහන තැබීමේ හේතුව යහපාලන ආණ්ඩුව සිය දේශපාලන පැවැත්ම සඳහා කළ තක්කඩිකම් නව ජනපති ගෝඨා නොකළ යුතු බැවිනි. අදත් පාස්කු ප්‍රහාරය වෙනුවෙන් හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයේ ලගිති. ඔවුන් දෙදෙනා උසාවියට ගෙනවිත් ඇප නොලබා දිගින් දිගටම රිමාන්ඞ් භාරයේ රඳවති. පාස්කු ප්‍රහාරය මෙරටට අමතක කළ නොහැකි ඛේදවාචකයකි. එයට සැබැවින්ම මුලිකව වගකිවයුත්තේ එවකට ජනපතිය. සිරිසේන ජනපති පමණක් නොව ආරක්ෂක ඇමතිය. ඔහු මේ කිසිවක්ම නොදන්නවා යැයි කීම පිළිගත යුත්තේ කවුද? අගමැති නොදන්නවා යැයි කීම සාධාරණද? එවකට හමුදාපති, ආරක්ෂක රාජ්‍ය ඇමති, බුද්ධි අංශ ප්‍රධානියා මේ සැම මෙයට වගකිව යුතු නැද්ද? එහෙත් ඒ සියලු පව් පූජිත්ට සහ හේමසිරිට පැවරීම කොතරම් අසාධාරණද?


අප දිගින් දිගටම මේ දෙපළ වෙනුවෙන් පෙනී සිටිනුයේ පාස්කු ප්‍රහාරයේ ඛේදවාචකය සේ ම මේ දෙපළට කරන අසාධාරණයද අප හෙළා දකින බැවිනි. එවකට ආණ්ඩුවේ වගකිවයුත්තන් ලෙස මේ දෙපළම මෙම ප්‍රශ්නයේදී නිවැරදිම විය නොහැකි වුවත් සියල්ලටම මොවුන් දෙදෙනා පමණක් වගකිව යුතුයැයි කියන තැන අපි නොසිටිමු.
සැබැවින්ම මේ ප්‍රශ්නයට උපරිම සාධාරණය ඉටුකළ හැක්කේ ජනපති ගෝඨාභයටය. අඩුම තරමේ නැවත විමර්ශනයක් එනවිට මේ දෙපළට ඇප හෝ ලැබිය යුතු නැද්ද? මන්ද ඒ පිළිබඳ විමර්ශනයක් වන බැවිනි. විමර්ශනය අතරතුරත් ඔවුන් එකම වැරදිකරුවන් වී බන්ධනාගාර ගතවීම කොතරම් අකටයුතුද?


එක් ආණ්ඩුවකින් කළ වරද තවදුරටත් දිග් ගැස්සිය යුතුද? සිරිසේන කළ දේ ම ගෝඨාත් කළ යුතුද? සිරිසේන වැනි තක්කඩියකුට එසේ කළ හැකිය. මන්ද ඔහු ඕනෑම මොහොතක තවකෙක් බිල්ලට දෙන්න හපනෙක් වන බැවිනි. එහෙත් ඒ දේ නව ජනපති නොකරනු ඇතැයි අපි සිතමු.


ජනපති වී නින්දිතම ලෙස ක්‍රියා කළ සිරිසේන හෙටත් පාර්ලිමේන්තුවට එන්නට ලක ලෑස්ති වේ. ඔහුගේ පව් හේමසිරි සහ පූජිත් ගෙවති. මේ අසාධාරණයට ඉක්මන් විසඳුම් අවශ්‍යය. ඒ සඳහා පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කඩිනම් විය යුතුය. ජනපතිට එය කඩිනම් කළ හැකිය. එසේම මේ දෙපළට ඇප ලැබිය යුතුය. මන්ද ඕනෑම පොඩි ළමයකු වුව පාස්කු ප්‍රහාරයේ එකම වැරදිකරුවන් මොවුන් බවට නොඅදහන බැවිනි.