විමලනාත් වීරරත්න

රටේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියේත්, රටේ විපක්ෂ නායකයා කුඹුරකට බැස්සේත් එක ළඟ දවස් කිහිපයක් ඇතුළතය. ජනාධිපති ජාතික ප‍්‍රශ්නය විසඳන බවත් එම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වගවීමෙන් කටයුතු කරන බවත් ලෝක නායකයන් හමුවේ කීවේය. එසේ කළත් නොකළත් ගෝඨාභය එය කිව යුතුමය. නැතහොත් තමා රාජ්‍යතාන්ත‍්‍රික හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයකු නොවන බව ලෝක නායකයන් හමුවේ ඔප්පු වෙයි. කියූ පරිදි අනාගතයේදී කටයුතු කළ යුතුය යනුවෙන් නියමයක්ද නැත. මෙරට රාජ්‍ය නායකයන්ට ඇත්තේ ගමේ සිමියොන් කෙනෙකුගේ භූමිකාවමය. කොහේ ගිහින් මොනවා කිව්වත් ගමට ඇවිත් කා බී නටා ගයා වයා ඔහේ සිටිය හැකිය. වැදගත් දේ ප‍්‍රශ්නය තිබෙන තැනින් ජාම බේරාගෙන ඒමය. ලංකාවේ සෑම නායකයෙක්ම ක‍්‍රියා කළේ ඒ ආකාරයෙන් නිසා එය ගෝඨාභය මහතාට අදාළව පමණක් වෙනස් විය නොහැකිය. එම සෙක්කු ගමනේ ගිය අතීතයට තිත තැබීම ඔහුගේ වැඩකි. එහෙත් රට කරගෙන යන අදූරදර්ශී ස්වරූපය අනුව ඔහු ගැන එවැනි බලාපොරොත්තුවක් තැබිය නොහැකිය.

සජිත් පේ‍්‍රමදාස කුඹුරට බැසීම ගැන ඇමැත්තෙකු පාර්ලිමේන්තුවේදී කීවේ සජිත්ගේ නියපොත්ත අස්සට මඩ ගොස් ඇති නිසා දවසක් ගතවන තුරු පාර්ලිමේන්තු එන එකක් නැත කියාය. ඒ කතාව කී තැනැත්තා අමුම අමු වාචාලයකු වුවත් එහි එක්තරා ඇත්තක් තිබේ. සජිත්ගේ වෙලේ බැසීමත්, ගෝඨාභය එක්සත් ජාතීන් ඇමතීමත් මගින් දෙදෙනාම පැවැත්ම තහවුරු කර ගැනීම හැර අන් වැදගත් යමක් කරන්නේ නැත. නිදහස්, නිවහල් රටක් යන දේශපාලන තේමාවෙන් ගොඩ ගිය ජනපතිවරයා කරන්නේ ආයෝජන නමින් රටෙහි සම්පත් විදේශික සමාගම් වලට බදුදීමය. විකිණීමය. විපක්ෂ නායකයා බලයට පත් වුවහොත් මේවා නොකරයිද? නැත. ඔහුටත් ඒ වනවිට ඉතිරි වී තිබෙන දේවල් බදුදීමට හා විකිණීමට සිදුවෙයි. ගෝඨාභය බලයට පත්වීමට පෙර ඔහුගේ වියත් මගෙහි උගත්හු රටෙහි සංවර්ධනය ගැන ඉහළම බලාපොරොත්තු තබාගෙන සිටියහ. එම වියතුන්ට තම විෂය පථය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබුණත්, දේශපාලනය ගැන සරල අවබෝධයක්වත් නොතිබුණු නිසා විය හැකිය. කොටින්ම රටේ ස්ථාපිත දේශපාලන ක‍්‍රමයේ කොල්ලකාරී ස්වරූපය ගැන අබෝධයක් නොතිබුණු නිසාය. එය පවුල් පාලනයකින් තවදුරටත් උත්සන්න වන බව ඔවුනට වැටහීමක් නොවුණි. මේ මොහොතේ ඊට විකල්පව වෙලට බසින සජිත් ගැන අහස උසට බලාපොරොත්තු තබාගෙන සිටින අයද සජිත් බලයට පත්වුවහොත් අනාගතයේදී මුහුණපානු ඇත්තේ එම අර්බුදයටමය. මෙම නායකයන් දෙදෙනා ගැන තවදුරටත් මෙසේ පැහැදිලි කරගත හැකිය. ඒ දෙදෙනා ගැන අධික බලාපොරොත්තු තැබූ කොටස් දෙකක් සිටියි. එක් කොටසක් වන්නේ පුද්ගලික ලාභ ප‍්‍රයෝජන පතා තමන් කැමති නායකයා වෙනුවෙන් වෙහෙසීමය. දෙවැනි කොටස දේශපාලන නොදැනුවත්කම නිසා අවංකවම ඔවුන් රටට වැඩක් කරනු ඇති බවට බලාපොරොත්තු තබා ගත් පිරිසය. ජනාධිපති විෂයෙහි මෙම දෙවැනි පිරිස මේ වනවිට සම්පූර්ණයෙන් බලාපොරොත්තු කඩ කරගෙන සිටිති. පළමු පිරිස කවුද? ඒ පොල්තෙල් හා සීනි ආනයනකරුවන් විය හැකිය. ජනාධිපති සමාව ලැබ හිරෙන් නිදහස් වූවන්, පවුලේ හිතවතුන් මිලිටරියට ප‍්‍රමුඛතාව දීම නිසා තනතුරු ලද විශ‍්‍රාමික හමුදා නිලධාරීන් යනාදීහු තවදුරටත් ජනපති ගැන සතුටු වන්නාහ. ගෝඨාභයට සාපේක්ෂව සජිත් සම්බන්ධයෙන් ඇති සැබෑව නම් ඔහු ගැන අවංකව බලාපොරොත්තු තැබූ පිරිසට පාඩමක් ඉගෙන ගනු පිණිස දිට්ඨධම්මවේදනීය කර්ම අත්විඳීමට මෙතෙක් අවස්ථාවක් නොලැබීමය. අපට අත්දැකීම්වලින් ඔවුන්ට ලබාදිය හැකි උපදෙස නම් එවැනි මුග්ධ අත්හදා බැලීම් නොකරනු යන්නය.

භයානක තත්ත්වය

විපක්ෂය පාර්ශ්වයෙහි මහජන පරමාර්ථ කාර්යසාධනයෙහිලා පිරිපුන් දේශපාලන ව්‍යාපාරයක් නැත. සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය යන පක්ෂ දෙකම අර්ධ ව්‍යාපාර ලෙස දිස්වෙයි. ඒ දෙකම කොරා සහ අන්ධයා වැනිය. හොරා මංකොල්ල කන විට කොරාට සහ අන්ධයාට කළ හැකි කෙංගෙඩියක් නැත. ඔවුන් දෙදෙනාටම කළහැක්කේ පැත්ත වැටී අසරණ ලීලාවකින් මැසිවිල නැගීම පමණි. දැන් ඇසෙන්නේ විරෝධයක් නොව මැසිවිල්ලකි.
ජාජබයට ජනතාව සැලකිය යුතු බලයක් ලබාදීම ගැන තවම කල්පනා කර නැති නමුත් ඕනෑම තක්කඩියෙකුට නිසි කරුණු නොවිමසා බලය ලබාදීමට ජනතාව පෙළඹී සිටියි. ඒ අනුව ගෝඨාභය තුවාල සිදුකර ගන්නා ආකාරයට සජබයටත් ජනතාව බලය ලබාදීමට ඉඩ ඇත. ඉන්පසු ඔවුන් ගෝඨාභයට නොදෙවෙනි ලෙස ක‍්‍රියා කරනු ඇත. ලංකාවට දිගටම අත්විඳීමට සිදුවූයේ මෙම ඛේදයම නොවේද? ජනතාව දැනුවත් යැයි කියන්නේ දේශපාලකයන්ම පමණි. එසේ ඇසුණත් ඇත්තටම තම දේශපාලන සාක්ෂරතාව ඇත්තේ පහළ මට්ටමක බව ජනතාව තේරුම් ගත යුතුව ඇත. දැනුම වීසිකර රැුල්ලට ඡුන්දය දෙන ජනතාවක් ලංකාවේ සිටිති. මෛත‍්‍රීගේ හැට දෙලක්ෂය සේ ම ගෝඨාභයගේ හැට නව ලක්ෂය මරිමෝඩ ජනතා රැලි මිස කරුණු සලකා බලා ගත් දේශපාලන තීරණ නොවේ. මේ තත්ත්වය වෙනස් කරන්නේ කෙසේද?

උගතුන් සංවිධානය කිරීම

1960දී ප‍්‍රංශයෙන් නිදහස ලද සෙනගාලයේ කෙටි දේශපාලන ධුරාවලිය ගැන ළඟදී මම ලිව්වෙමි. 1960 සිට මේ දක්වා ගෙවුණු වසර 61ක් තිස්සේ එරට පාලනයට සම්බන්ධව ඇත්තේ උගතුන් පිරිසකි. 1947 මැතිවරණයේදී ලංකාවට වාම දේශපාලන ප‍්‍රවණතාවක් අත්පත් කරගත හැකිව තිබුණු අවස්ථාවක් මග හැරුණි. එසේ වූ පමණින් අප ඞී.එස්.ගේ සිට ගෝඨාභය දක්වා එකම පන්තියේ හා එකම අච්චුවේ පාලකයන් පිරිසකට ඔවුන්ගේම ලෝකයක් නිර්මාණය කර දුන්නේ ඇයි? ලංකාවට විකල්ප ලෝකයක් දිනා ගැනීමට මේ විඳින දුක හෝ පිහිට කරගත නොහැකිද? ඒ සඳහා විකල්ප දේශපාලනයක් ඇරඹිය යුතුය. එය කරන්නේ කෙසේද යන්න වැදගත්ම ප‍්‍රශ්නයකි. එහෙත් කොතැනින් හෝ ඒ සඳහා ආරම්භයක් ගත යුතුය. මගේ කල්පනාවේ හැටියට යම් කැපවීමක් කළ හැකි රට පිළිගත් උගත් පිරිසක් මෙම ක‍්‍රියාවලිය ඇරඹිය යුතුය. දැනට ලංකාවේ ඇතැම් උගතුන් කරමින් සිටින්නේ දේශපාලන පක්ෂ සමග සහයෝගීතාවෙන් ක‍්‍රියාකිරීමය. එම අත්දැකීම ආරම්භයක් හැටියට නරක නැත. එම අත්දැකීම් උපයෝගී කරගෙන ප‍්‍රධාන පක්ෂවල සිිටින අවංක ක‍්‍රියාධරයින්ගේත් සහයෝගය ඇතිව ලංකාවට නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹිය නොහැකිද? ඒ සඳහා දැනට විවිධ පක්ෂවලට සම්බන්ධ වී ඒ ඒ නායකයන් හා වැඩපිළිවෙලවල් ගැන විශ්වාසය තබාගෙන ක‍්‍රියා කරන උගතුන්ට මැදිහත්වීමක් කළ හැකිය. සාපේක්ෂව දේශපාලන අත්දැකීම් ඇති උගතුන්ගේ භූමිකාව මේ මොහොතේ තිබෙන්නේ ඔවුන්ට නිසා මෙම ක‍්‍රියාවට එම අත්දැකීම් උත්පේ‍්‍රරකයක් කරගත හැකිය. ඊට සක‍්‍රීයව මැදිහත් විය හැකි විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද රටෙහි සිටිති. මෙතෙක් අප තොරොම්බල් කරන ලද්දේ පුද්ගල චරිතය. පුද්ගලයා වෙනුවට ප‍්‍රශස්ත දේශපාලන වැඩසටහනක් රටට හඳුන්වා දෙන ක‍්‍රමයකින් පවතින තුට්ටු දෙකේ දේශපාලන සංස්කෘතියද පරාජය කිරීමට රටට හැකිවනු ඇත. විශේෂයෙන්ම දැනුවත් තරුණ කොටස්වල ආකර්ෂණය ඊට හිමිවනු ඇත. ගෝඨාභයට ඡුන්දය දුන් වයි පරම්පරාව නියෝජනය කරන ලක්ෂ 09කට ආසන්න තරුණ පිරිස ඔහුගෙන් බලාපොරොත්තු වූයේ එවැනි වැඩසටහනක් පෙරදැරි දේශපාලනයකි. නූතන පරපුරේ අපේක්ෂා මෙන්ම රටේ නව සමාජීය අපේක්ෂා කෙබඳු විය යුතුද යන්න ගැන උගතුන්ගේ දේශපාලනයකට වඩාත් සංවේදී විය හැකිය.

පුපුරන තැන වෙනස් කරමු

රටෙහි ගුරු විදුහල්පති වැටුප් විසමතා අරගලයක් පවතී. ගොවි ජනයාට පොහොර ප‍්‍රශ්නයක් ඇත. සහල් ව්‍යාපාරය තනිකරම පුද්ගලික ව්‍යාපාරික මාෆියාවකට නතුවී ඇත. විදුලිය, වරාය හා තෙල් යන විෂයයන්හි පිරිපුන් ලාංකීය පංගුකාරිත්වය ක‍්‍රමයෙන් අහිමිවෙමින් පවතියි. රටෙහි නිෂ්පාදන ක‍්‍රියාවලියක් නැති නිසා දළ දේශීය නිෂ්පාදනය හීන වී ජනයාගේ ආර්ථික පංගුව ඉතා සිහින් වී තනි ඉරක් බවට පත්ව ඇත. මේ සියල්ල ගෝඨාභයගේ පිටින් යවා ප‍්‍රශ්න පැස තවත් එවැනිම නායකයකුගේ කරෙහි එල්ලීමට ඉහත ප‍්‍රශ්නවලින් පීඩාවට ලක්වූවන් කටයුතු කරනවා නම් එය දුක නැති කිරීමේ මාර්ගය නොවන බව වටහාගත යුතුව ඇත. සමාජ ප‍්‍රශ්න පුපුරා යන තැන පඹයකු සේ සිටගෙන සිටින නායකයකු මම කරන්නම් කියා බලයේ අඩයාලම කර ගසා ගත් ආකාරය මෙතෙක් දක්නට ලැබුණු දසුන විය. අරූට බැරිවුණු වැඬේ උඹ කරන්නේ කොහොමද? උඹේ වැඩපිළිවෙල මොකක්ද යනුවෙන් කිසිවෙක් මෙතෙක් ආදේශකයාගෙන් නොවිමසූහ. මේ දිනවල පේ‍්‍රමදාස කියන දේවල් කරන්නේ කෙසේද යන්න කිසිවෙක් කුඹුරේදී නොවිමසති. ගෝඨාභයගෙන් පළිගැනීමට විපක්ෂයෙන් එන පාල කෙනෙකුට හෝ දාස කෙනෙකුට ඡුන්දය දීමෙන් වැඩක් නැත. ඔවුහු වැඩ බැරි පාලලා හා දාසලා වෙති. අප ඡුන්දය පාවිච්චි කළයුත්තේ වෛරයට ලක්වුණු නායකයකුට පාඩමක් ඉගැන්වීමට නොවේ. ජනතාවගේ යහපත සලකාය. මේ මොහොතේ ලංකාවේ සමාජය උගතුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඒ සඳහා වන මගපෙන්වීමකි. මේ අත් විඳින වේදනාව අයාලේ පුපුරා යාමට ඉඩ නොදීමට නම් රටෙහි වගකිවයුතු පුරවැසියන් සංවිධානාත්මක ක‍්‍රියාවලියකට අවතීර්ණ විය යුතුය.

ආරම්භයක් ගත හැකි ක‍්‍රමයක්

මේ පිළිබඳව උනන්දුවක් දක්වන උගතුන් පිරිසක් එකතු වී රටේ විවිධ ක්ෂේත‍්‍ර අරභයා ප‍්‍රතිපත්ති වැඩසටහනක් සම්පාදනය කළ නොහැකිද? එය හුදු ලියවිල්ලක් නොව ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් වීම අත්‍යවශ්‍යය. එවැනි දෙයක් මේ රටේ දැනුවත් පිරිසකට ඉතා පහසුවෙන් කළ හැකි අතර ඔවුන්ට ආරාධනයක් හෙවත් බුලත් දීමක් අවශ්‍ය නම් රාවය පුවත්පතට එය කළ හැකිය. ඒ සඳහා වන රාවයේ සුදුසුකම වන්නේ වසර 35ක් පුරාවට රාවය සමාජ ප‍්‍රතිසංස්කරණ ගැන යෝජනා ඉදිරිපත් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතීන් අතර සහයෝගිතාව, ආගමික සංහිඳියාව, ආර්ථික නිදහස, අධිකරණ ස්වාධීනත්වය, අධ්‍යාපන හා සංස්කෘතික නිදහස ඈ බහුවිධ විෂය ප‍්‍රදේශයන්හි සුපුෂ්පිතභාවය උදෙසා පෙනී සිටීම හා එම පෙනී සිටීම අතිබහුතරයකගේ පිළිගැනීමට ලක්ව තිබෙන පසුබිමය. එබැවින් ලංකාවේ උගතුන්ට අනාගත ලංකාව ගමන් ගත යුතු මග පිළිබඳව ජාතික වැඩසටහනක් සම්පාදනය කිරීමට රාවය මේ මොහොතේ ආරාධනා කරන්නෙමු. එමෙන්ම එම වැඩසටහන මහජනයා අතරට ගෙනයාමට හා ඒ ගැන පළල් සංවාදයක් ඇරඹීමටද අපි කැප වන්නෙමු.

පෝල්කාගමේ රුවන්ඩාව වසර විස්සකින් සපුරා වෙනස් කළ ආකාරයට අපටත් ලංකාව දියුණු රටක් බවට පත් කළ හැකිය. එම සිහිනය සිතෙහි තබාගෙන වැඩ කළ හැකි නම් එය සිහිනයක් නොව කඩිනම් සැබෑවක් බවට පරිවර්තනය කරගත හැකිය.