රසික ගුණවර්ධන


තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ එහි ක්‍රියාකාරීත්වයේ ඇති දූෂිත බව පිළිබඳව අප මීට පෙරද කරුණු හෙළි කළෙමු. එහෙත් බරපතළම කරුණ තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මේ වංචාවන් සිදු කර ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන් අහක බලා සිටීමේ ආශිර්වාදයෙන්ද යන්නය.


ව්‍යාජ සහතික


නවතම හෙළිදරව්ව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සේවය කළ ඩබ්ලිව්. පී. එම්. පී. ප්‍රේමචන්ද්‍ර පිළිබඳවය. ඔහු කොමිෂන් සභාවේ සේවය කළේ අධ්‍යක්ෂක (පාලන) ලෙසය. මේ කතාවේ වස්තු බීජය මෙසේය. 2017 වසරේ මහනුවර වංචා විමර්ශන අංශය නිරෝෂිණී රූපසිංහ නැමැති කාන්තාවක් අත්අඩංගුවට ගන්නා අතර ඇය සතුව තිබී තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කරන සහතික වලට සමාන ව්‍යාජ සහතික සොයා ගෙන තිබුණි. එම අත්අඩංගුවට ගැනීමෙන් පසුව හෙළිවනු ලබන්නේ එම ව්‍යාජ සහතිකපත් මුද්‍රණයට එවකට අධ්‍යක්ෂ (පාලන) ඩබ්ලිව්.පී.එම්.පී. ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවය.


මෙම සිදුවීම 2017 වසරේ මැයි මාසයේ සිදු වුවද එයින් පසු මේ පිළිබඳව නැවත බොහෝ කාලයක් යන තෙක් කිසිදු හාවක් හූවක් නැත. 2018 වසරේ අප්‍රේල් මස 02 දින එවකට කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි මල්කාන්ති ජයවර්ධන අභ්‍යන්තර විගණකට ලිපියක් යොමුකරනු ලබන්නේ ඒ වන විට වසරක කාලයක් ගතව ඇති වුවත් විගණක විසින් ලබා දිය යුතු වාර්තාව ලබා දී නොමැති නිසා කඩිනමින් අදාළ වාර්තාව ලබා දෙන ලෙසය. එසේම මෙම ලිපියේ දැක්වෙන්නේ මෙම කරුණ (ව්‍යාජ සහතිකපත් මුද්‍රණය) සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම වාර්තාවන් අවශ්‍ය බවය.

එයින් පසු කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වෙත 2018 අප්‍රේල් මස 7 වන දින සේවකයන් විසින් ලිපියන් නිර්ණාමිකව යවනු ලබන්නේ කොමිෂන් සභාවේ පවතින වංචා දූෂණ පිළිබඳව සඳහන් කරමින්ය. මෙම ව්‍යාජ සහතිකපත් මුද්‍රණයේ සහ ඒවා මුදලට අලෙවි කිරීමේ වංචාවට චෝදනා එල්ල වන අධ්‍යක්ෂ (පරිපාලන) විසින් සිය සම්බන්ධතා උපයෝගී කරගෙන තමා සම්බන්ධ පරීක්ෂණ යටගසන බව එම ලිපියේ දක්වා ඇත. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අභ්‍යන්තර විගණන නිලධාරියාට අධ්‍යක්ෂ තනතුරක බලාපොරොත්තුව ඇති කරමින් මානසික අල්ලස් ලබා දී අදාළ පරීක්ෂණ යටපත් කර ඇති බවයි.


ඉල්ලා අස්වීම


මේ අනුව අධ්‍යක්ෂවරයාට (පරිපාලන) විරෝධයක් කොමිෂන් සභාව තුළින් මතුවන විට සහ තවදුරටත් තමන්ගේ වංචාවන් යටපත් කරගෙන සිටීමට නොහැකි බව ප්‍රත්‍යක්ෂ වන තැන ඩබ්ලිව්.පී.එම්.පී. ප්‍රේමචන්ද්‍ර සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඒ 2018 මැයි මස 01 වන දින ලබා දෙන 2018 අප්‍රේල් මස 01 වන දින යෙදූ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියෙන් පැහැදිලිය. එම ලිපියේ ඉල්ලා අස්වීමට ඔහු හේතු ලෙස සඳහන් කරන්නේ තවදුරටත් සිතට එකඟව සේවය කිරීමට නොහැකි වීමය. කෙසේ වෙතත් එම ලිපිය ලබා දුන් දිනම ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගන්නා බව සඳහන් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් ලිපියක් නිකුත් කර ඇත. අධ්‍යක්ෂ – පාලනට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල වී ඇති විට සහ එම චෝදනාව සඳහා ශක්තිමත් සාක්ෂි පවතින විට ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීම කූට උපක්‍රමයක් බවට ඕනෑම අයෙකුට සැකයක් සිතීම සාධාරණය. එසේ නොවී සිය ඉල්ලා අස්වීමේ ලිපියේ තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා වැනි වාක්‍යයක් යොදා ගත්තා නම් ප්‍රේමචන්ද්‍ර මහතාට අපූරුවට ජාමේ බේරා ගැනීමට හැකියාව තිබුණි. කෙසේ වෙතත් බරපතළ ගණයේ චෝදනාවක් එල්ල වී ඇති සේවකයෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපිය එසැණින්ම බාර ගැනීම සහ ඔහු ඉල්ලා අස්වන තෙක් ඔහුට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම හේතුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිබඳවද සැකයක් උපදී. එසේම ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිගන්නේ ඔහුගෙන් කොමිෂන් සභාවට අය විය යුතු මුදල්ද අයකරගෙන අවසන් නොමැති පසුබිමකය. සටහන් පත්‍රයේ අධ්‍යක්ෂ ජනරාල්ම 2018 ජූනි මස 01 වන දින යොදන සටහනකට අනුව ප්‍රේමචන්ද්‍ර මහතාගෙන් අය විය යුතු මුදල රුපියල් එක්ලක්ෂ හාරදහස් හතළිස් දෙකකි.


නැවත පැමිණීමට උත්සාහ කිරීම


කෙසේ වෙතත් ප්‍රේමචන්ද්‍ර මහතා සිය ඉල්ලා අස්වීමෙන් පසු නැවතත් ලිපියක් අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කරන්නේ 2018 මැයි මස 10 වැනි දිනය. එම ලිපියේ ඉය පුද්ගලික ලිපිගොනු සහ සිය නිල කාමරයේ තිබූ භාණ්ඩ පිළිබඳව සඳහන් කරන අතර එම ලිපියේ අවසාන වාක්‍යය තුළින් ඔහු ලිපිය ලියූ සමස්ත අදහසම පැහැදිලි වේ. ඔහු ලිපියේ අවසානයේ දක්වන්නේ තමා සේවයෙන් ඉල්ලා අස්වීමට ගත් තීන්දුව ආයතනික කටයුතු නිසා ඇතිවූ අධික මහන්සිය පීඩනය සහ සිත් තැවුල මත ගත් ක්ෂණික තීන්දුවක් බවය. ප්‍රේමචන්ද්‍ර මහතාගේ කතාවේ ඊළඟ කොටස ඇරැඹෙන්නේ මෙතැන් සිටය.


ඉන්පසු ඔහු 2018 මැයි මස 10 සහ 17 වන දිනයන්හි අධ්‍යක්ෂ ජනරාල් වෙත ටෙලිමේල් පණිවිඩක් එවන්නේ තමා අසනීපයෙන් පසුවන බවයි. ඒ ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී දින කිහිපයකට පසුය. කෙසේ වෙතත් ඊට අධ්‍යක්ෂ ජනරාල් විසින් පිළිතුරු යවන්නේ ඉල්ලා අස්වීමෙන් පසුව ඔහු විසින් සිදුකරන ඉල්ලීම් සලකා බැලිය නොහැකි බවය.


ශානිගේ පරීක්ෂණය සහ කමිටු විමර්ශනය

කෙසේ වෙතත් මෙම සහතිකපත් වංචාව පිළිබඳව විමර්ශන කමිටුවක් පත්කරනු ලබන්නේ 2018.05.22 වන දිනය. එම කටුවේ සභාපති ලෙස ජේ.ජේ.ඩී.ජේ. ජයලත් මහතා කටයුතු කර ඇති අතර වජිර පෙරේරා, ඩබ්ලිව්. ඩබ්ලිව්.සී. ප්‍රේමරත්න, මංජුල විදානපතිරණ සහ රවීන්ද්‍ර සමරවීර එහි සාමාජිකයන් ලෙස කටයුතු කර. මේ කමිටුව සහ එහි විෂයගත විමර්ශනය පිළිබඳව කරුණු දන්වමින් එවකට විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍ය සරත් අමුණුගම වෙත TVEC/4/5/1 දරන ලිපියද යවනු ලැබ ඇත.


සිය කොමිසමේ අධ්‍යක්ෂක (පාලන) ලෙස කටයුතු කළ ඩබ්ලිව්.පී.එම්.පී. ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ සහතිකපත් වංචාව පිළිබඳව පැහැදිලි සැකයක් සාක්ෂි මඟින් ඉදිරිපත් වී ඇති බැවින් මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකරට 2018.05.25 වන දින ඉල්ලීමක් සිදු කරනු ලබන්නේ එවකට අධ්‍යක්ෂ ජනරාල්ව සිටි මල්කාන්ති ජයවර්ධන විසිනි.


එම කමිටුවට පත් කළ තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ මංජුල විදානපතිරණ 2018 වසරේ මැයි මාසයේදී අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමුකරන අතර එම ලිපියේ දැක්වෙන්නේ අධ්‍යක්ෂක (පරිපාලන) විසින් කොමිෂන් සභාවේ පරිහානියට කටයුතු කරන බවය. ආයතනයට නිලධාරීන් බඳවා ගැනීමේ අක්‍රමිකතා (මෙය VTY/F/TVEC/2020/64/AQ/011 විගණන විමසුමේ ද සඳහන් කර තිබිණි.), නිලධාරීන්ට අපහාස කිරීම, තමන්ට සුදුසුකම් නොමැති තනතුරක ක්‍රියා කිරීම ඇතුළු චෝදනා අටක් එම ලිපියේ වැඩබලන අධ්‍යක්ෂවරයා විසින් සඳහන් කර තිබුණි.


මේ වංචාව හසුවී දැනට වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇත. එහෙත් වරදකරුවන්ට දඬුවම් දීම තබා සැකකරුවන්ට පිළිබඳව පරීක්ෂණයක් හෝ සිදුකර නොමැත. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයාටද මේ පිළිබඳව දැනුම් දී ඇතත් එය මඟහැරීම පුදුමසහගතය. රටේ වෘත්තීය අධ්‍යාපනය සහතික කරන ආයතනය මේ තරමේ වංචනිකයන්ගේ තිප්පොළක් වී නම් රටේ වෘත්තීය අධ්‍යාපනයේ තරම සිතාගත හැකිය.


අප මේ පිළිබඳව තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති උදේනි වික්‍රමසිංහ මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමා ඒ පිළිබඳව නොදන්නා බවත්, ඉක්මනින් සොයා බලා පියවරක් ගන්නා බවත්ය.

කෙසේ වෙතත්, අප කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජේ.ඒ.ඩී.ජේ. ජයලත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව කොමිසම මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත්, අභ්‍යන්තර විමර්ශනයක්ද සිදුකිරීමට සැලසුම් කළ බවත්, එහෙත් ඒ කිසිවක් සිදු නොවූ බවත්ය. ■