දිනී ජයසේකර

ළමුන්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ සහ සුළු වැරදි නොසලකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කවර හෝ ආකාරයේ ක්‍රියාවක්, ළමා අපයෝජනය ලෙස සරලව හැඳින්විය හැක.


ළමා අපයෝජන සම්බන්ධව මෑතකාලීන සිදුවීම් අතුරින් සුවිශේෂිත සිද්ධි කිහිපයක් නම්, වයස අවුරුදු පහළොවක දැරියක් අන්තර්ජාලය මගින් අලෙවි කර ඇති පුවතක් වාර්තා වීමය. ඊට සැක කටයුතු බොහොමයක් දෙනා සිරභාරයට ගත්තද තවමත් එහි පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ. අනෙක් සිද්ධිය , බදුර්දීන්ගේ නිවසේදී ඝාතනය වූ 15 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් වී ඇති බව වාර්තා වීමයි. ඊට මෙතෙක් සාධාරණයක් ඉටු නොවීමද ගැටලුවකි. මේ කරුණු සියල්ල පාදක කර ගනිමින් වර්තමානය වන විට ළමා අපයෝජන ඉහළ යෑමක් ඇති බවත් ඒවා ඉතා ජනප්‍රිය මාතෘකා බවට පත් වී ඇති බවත් පැහැදිලිය. එසේනම් අප 2020 වර්ෂයට අදාළව සිදුව ඇති ළමා අපයෝජනයන්හි ස්වභාවය කෙබඳුද යන්න විමසා බලමු.


2020


2020 වර්ෂය ආරම්භයත් සමග රට ගෝලීය වසංගත අර්බුදයකට මුහුණ පෑ බව නොරහසකි. 2020 මාර්තු 16 සිට අප්‍රේල් 7 දක්වා වූ සති තුනක කාලය තුළ, ළමා ආරක්ෂණ පැමිණිලි වාර්තා වී ඇති ළමා හිංසනය පිළිබඳ අනුපාතය 10% සිට 40% දක්වා ඉහළ ගොස් තිබුණි. පසුව සැප්තැම්බර් මාසයේදී ඉතා ඉහළ දත්ත ප්‍රමාණයක් වාර්තා වූ අතර 2020 වර්ෂය පුරාවට සිදුව ඇති ළමා අපයෝජන වාර්තාවීමේ මාසික දත්ත පහත ඇති 1.1 රූපසටහනේ දක්වා ඇත.

1.1 රූපසටහන

අපයෝජන වර්ග


උක්ත දත්ත අනුව අපයෝජන වර්ගකිරීමකට ලක් වන අතර ඉහත දත්ත සියල්ල ලිංගික අපයෝජන පමණක් නොවන වග පැවසිය යුතුය. කායික අපයෝජන, චිත්තවේගී අපයෝජන, ළමා මෙහෙකරුවන් ලෙස යෙදවීම, ලිංගික අපයෝජන ලෙස අපයෝජන වර්ගීකරණයකට ලක් කර හැකි අතර මේවා එකින් එක විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.


කායික අපයෝජන : ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන තත්ත්වයන් අතර මෙය ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන අතර ලෝකයේ සෑම රටකම පාහේ ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන කායික හිංසන ක්‍රියාවන් අපරාධ නීතිය හෝ වෙනත් නීති සංග්‍රහයන් මගින් වරදක් ලෙස සැලකීම තුළ මෙවැනි ක්‍රියා අපරාධ ගණයට වැටෙයි. ළමයකු ශාරීරිකව අපචාරයට ලක්කළ හැකි වන්නේ පහරදීම, නිරාහාරව තැබීම, දම්වැල් වැනි දෙයකින් බැඳීම ආදිය මගිනි. මෙවැනි අපචාරයන් පවුල් තුළ, පාසල, නිවසකදී, ළමා නිවාසයකදී සිදුවීමට ඉඩ ඇත. කායික අපයෝජනයට හෝ හිංසනයට ගොදුරු වන දරුවන් එමගින් විවිධ අහිතකර තත්ත්වයන්ට ලක්වෙති. මේ අතුරින් ප්‍රධාන වන්නේ හිංසනය හේතුවෙන් කෙටිකාලීනව හෝ ක්ෂණිකව ඇතිවන කායික බලපෑම් ය. ශාරීරික වශයෙන් තුවාල, තැලීම් ලක්ෂණ, පිළිස්සුම් ලකුණු, සීරීම් ලකුණු බොහෝ දුරට පෙන්නුම් කරයි. ශරීරයේ බාහිර හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානිකර ප්‍රතිඵල, අස්ථි බිඳීයාමේ තත්ත්වයන් හා ශරීරය තුළ අභ්‍යන්තරව සිදුවන ලේ ගැලීම්වලට භාජනයවීම් ආදිය තුළ දරුවන් ළමා සංවර්ධනය ආශ්‍රිත ගැටලුවලට, චර්යාත්මක ගැටලු හා අක්‍රමතාවන්ටද ලක්වේ. පෞරුෂමය දුර්වලතාවන්, ලැජ්ජාශීලී සමාජයට වෛර කරන පසුබෑමට ලක්වූ දරුවන් බිහිවීම කායික හිංසනයේ ප්‍රතිඵලයන්ය.


චිත්තවේගී අපයෝජන : ළමා අපයෝජන ක්‍රියා ශාරීරික අපයෝජනයට සීමා නොවන අතර ශාරීරික වශයෙන් කරන හිංසා වලින් තොරව චෛතසිකව ද අපචාරයට ලක්වේ. රළු වචන භාවිත කිරීම, බියගැන්වීම, තර්ජනය කිරීම, හුදකලා බවට පත්කිරීම වැනි ක්‍රියාවලින් මෙන්ම දරුවන්ට ලැබිය යුතු ආදරය නොලැබීම, නොසලකා හරිනු ලැබීමද මෙයට අයත් වේ. චිත්තවේගී අපචාරයන්, ශාරීරික අපයෝජනයන් මෙන් හඳුනා ගැනීම අපහසු නිසා මේ තත්ත්වයන් සනාථ කිරීම වඩා අපහසුය.


ළමා මෙහෙකරුවන් ලෙස යෙදවීම : කුඩා දරුවන් ඔවුන්ට ඔරොත්තු නොදෙන රැකියාවන්වල යොදවමින් ළමා ශ්‍රමය සූරාකෑම ලෙස දක්නට ලැබෙන අතර වයසින් අඩු දරුවන් කුඩා කාලයේ සිටම විවිධ සේවාවල යෙදවීම බොහෝ දුරට වර්තමානයේ දැකිය හැකිය. ළමයින්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වන අනිසි තත්ත්වයන් ලෙස මෙය සඳහන් කළ හැක. මේ අනුව ලෝකයේ බොහෝ රටවල දරුවන් ශ්‍රමිකයින් ලෙස යොදවා ගැනීම වරදක් ලෙස නීතියෙන් අර්ථදක්වා තිබේ. 1999 දී ජාත්‍යන්තර කම්කරු සංවිධාන විසින් වඩාත් අහිතකර ළමා ශ්‍රම භාවිතය පිළිබඳව 1982 දරන සම්මුතිය මගින්ද ලෝකයේ පවත්නා වඩාත් අහිතකර ළමා ශ්‍රම භාවිතාමය තත්ත්වයන් වැළැක්වීම සඳහා එකඟතාවක් ඇති කරගෙන ඇත.


ලිංගික අපයෝජන : ළමයින්ට එරෙහි අපයෝජන තත්ත්වයන් අතුරින් ලිංගික අපයෝජනය බරපතළ ගැටලුවක් ලෙස වර්තමානයේ පිළිගැනෙන්නකි. වර්තමානය වන විට ලෝකයේ සෑම රටකම පාහේ ළමයින්ට එරෙහි ලිංගික අපයෝජනය අපරාධ හෝ වරදක් ලෙස අර්ථ දක්වා තිබීමෙන් එහි ඇති බරපතළ බව තවදුරටත් පැහැදිලිය. සරල විග්‍රහයේදී ළමා ලිංගික අපයෝජනය ලෙස සැලකෙන්නේ යම්කිසි වැඩිහිටියකු විසින්, පුද්ගලයකු විසින් කිසියම් ලිංගික ක්‍රියාවක් සඳහා දරුවකු යොදවා ගැනීමයි. නමුත් වර්තමානය වනවිට ලිංගික අපයෝජනය වඩා සංකිර්ණ ස්වභාවයක් ගන්නා අතර ඊට හේතුවන්නේ නූතනයේ ළමා ලිංගික අපයෝජනය විවිධ ස්වරූපයෙන් යුතුව ක්‍රියාත්මකවීමයි.


ස්ත්‍රී පුරුෂභාවය අනුව සිදුවන අපයෝජන


අපයෝජනයක් සිදුව ඇතැයි කියූ පමණින් පොදු අදහස වන්නේ කාන්තා පාර්ශ්වයේ අයෙකුට අත්ව ඇති හිංසනයක් ලෙසය. මන්ද අතීතයේදී මේ පිළිබඳ මතය වූවේ අපයෝජන වන්නේ කාන්තාවට පමණක්ය යන්නය. එනිසා යම් ආකාරයේ අපයෝජනයක් සිදුවීමෙන් පසු එකල කාන්තාවන් වර්ග කර දැක්වූව ද වර්තමානය වන විට එය පිරිමි පාර්ශ්ව දක්වා විහිදෙමින් ඇත. අද කාන්තා පිරිමි භේදයකින් තොරව පුද්ගලයන් වශයෙන් අපයෝජනයට පත් වන්නේය. 2020 වාර්ෂික දත්ත ගත් විට කාන්තා පාර්ශ්වයට සිදුවන අපයෝජන මෙන්ම පිරිමි පාර්ශ්වයට සිදුවන අපයෝජනද කරට කර සිටින වග කිව යුතුය. පහත 1.2 සහ 1.3 රූපසටහන් දෙකේ සංඛ්‍යාත ලෙසත් ප්‍රතිශත ලෙසත් බෙදා වෙන් කර ඇත.

1.2 රූපසටහන
1.3 රූපසටහන

විශ්ලේෂණය


ළමා අපයෝජනයක් සිදුවීමේදී සමාජයේ බහුතරය පවසන්නේ ළමුන් තනිවීම, දෙමාපිය දෙපළ නොසිටීම, භාරකරුවන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන බවය. නමුත් 2020 වර්ෂයේ ලංකාවේ මව සහ පියා යන දෙපළම සිටින ළමුන්ට අපයෝජන සිදුවීමේ ප්‍රතිශතය ගත් විට 99% පමණ වේ. එම දත්ත පහත 1.4 රූපසටහනේ දක්වා ඇත.

1.4 රූපසටහන


දෙමාපියන් වෙතින් දරුවන් ගිලිහීම ඉතා බැරූරුම් මාතෘකාවකි. බොහෝ දුරට ඊට ළමුන්ගේ පාසල් අධ්‍යාපනයද බලපානු ඇතැයි අපට සිතේ. මන්ද පාසල් ළමුන්ගේ විෂය පථය බොහෝ සංකීර්ණය. අනෙක් කාරණය නම් පාසල් විෂය පථය සංකීර්ණ වීම නිසා ළමුන්ට සිදුවිය හැකි හිරිහැර සම්බන්ධව ඔවුන්ව දැනුවත් නොකිරීම පාසල් අධ්‍යාපනයේ වරදක් යන්න කිව යුතුය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 11-15 අතර දරුවන් අපයෝජනයට ලක්වීමේ ප්‍රවණතාව වැඩිය. 2020 වර්ෂය තුළ 11-15 අතර ළමුන් 4095 ප්‍රමාණයක් අපයෝජනයට ලක්වී ඇත. අනෙකුත් වයස් කාණ්ඩවලට සාපේක්ෂව 11-15 අතර ළමුන් අපයෝජනයට ලක්වීමේ ප්‍රවණතාව 50%කි. එසේ නම් පැහැදිලිවම 11-15 අතර ළමුන්ගේ පාසල් අධ්‍යාපනය පවා වෙනස්වීමකට ලක්විය යුතුය.


UNICEF උපදෙස්


ළමුන්ට සෞඛ්‍ය සම්පන්න රැකවරණයක් ලබා ගැනීම උදෙසා දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට සහාය වීම සහ වර්තමාන අභියෝගාත්මක තත්ත්වය මඟහරවා ගැනීම සඳහා යුනිසෙෆ් විසින් දෙමාපිය උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය වඩා හොඳ දෙමාපිය ප්‍රවේශයන් සඳහා උපකාරවීමේ හැකියාව ඇති බව අපට හැඟේ. ඒවා නම්,

1.වසංගතය නිසා පාසල් වසා දැමීම අපගේ දරුවන් සමඟ වඩා හොඳ සබඳතා ඇති කර ගැනීමට ඇති අවස්ථාවකි. එම නිසා හැකි සෑම විටම ඔවුන් සමඟ විනෝදජනකව සිටින්න. එමගින් දරුවන්ට ආදරය හා සුරක්ෂිතභාවය දැනෙන අතර ඔවුන් වැදගත් බව ප්‍රත්‍යක්ෂ කෙරෙයි.

2.කොවිඩ්-19 අපගේ දෛනික වැඩ, පාසල් හා නිවාස ක්‍රියාකාරකම් අඩාල කර ඇත. එනිසාම මෙය දරුවන්ට සහ ඔබට අපහසුය. එබැවින් නව චර්යාවන් කිරීමට පෙළඹවීම නිසා ඒවාට ඇලී සිටීමෙන් තම දරුවා තමා වෙත රඳවා ගැනීමට උපකාරී වේ.

3.මෙය සැබවින්ම ඉතා ආතතිසහගත කාලයක් විය හැකිය. එනිසා දරුවන් රැකබලා ගන්නන් තම දරුවන්ට උපකාර කළ හැකි පරිදි තමන් ගැනම සැලකිලිමත් විය යුතුය. පීඩාකාරී වේලාවන්හිදී 10-1 සහ 1-10 අතර ගණන් කරන්න.

4.නිශ්ශබ්දතාව සහ රහස් දරුවන් ආරක්ෂා නොකරයි. එනිසා නිතර කතාබහ කරන්න. එහිදී අවංකකම සහ විවෘතභාවය ඔවුන් කොතරම් තේරුම් ගනීදැයි සිතා බලන්න.

5.දෙමව්පියන් සහ දරුවන් රැකබලා ගන්නන්, බොහෝ විට අවසන් වන්නේ “එසේ කිරීම නවත්වන්න!” නමුත් ළමයින්ට ධනාත්මක උපදෙස් සහ ඔවුන් කරන දේ වෙනුවෙන් බොහෝ ප්‍රශංසා ලබා දෙන්නේ නම් ඉල්ලන දේ කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.


රටක ඉදිරිය රඳා පවතින්නේ අනාගත ළමා පරපුර සතුව බැවින් ඔවුන්ගේ මානසික මට්ටම සුබදායී එකක් බවට පත් කිරීම ඔවුන් වටාපිටාවේ සිටින වැඩිහිටි පුද්ගලයන් සතු වගකීමකි. එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකීමෙන් සිටිය යුතු වග අවධාරණය කළ යුතු වෙයි. ■