නාලක ගුණවර්ධන
ඡායාරූප මනෝජ් රත්නායක

සිබිල් වෙත්තසිංහ මහත්මිය (1928 – 2020) ගැන මේ වන විට අපේ රටේ පමණක් නොව විදෙස් මාධ්‍යවල පවා ගුණානුස්මරණ පළ වී තිබෙනවා. බහුවිධ පැතිකඩ තිබූ ඇගේ දීර්ඝ වෘත්තීය ජීවිතයෙන් බොහෝ ප්‍රණාමය අවධානය යොමු කර තිබුණේ ළමා පොත් ලේඛිකාවක් ලෙස කළ මෙහෙවර ගැනයි. ඒ ලේඛිකාව සහ චිත්‍ර ශිල්පිණිය සහජයෙන් ලද කුසලතා වඩාත් ඔපමට්ටම් කර ගත්තේ මෙරට පුවත්පත් සමාගම් දෙකක (ටයිම්ස්, ලේක්හවුස්) දිගු කලක් සේවය කරමින් බව ඇති තරම් අවධානයට ලක්නොවූ බවක් පෙනෙනවා. එසේම දෙමව්පියන් සහ සෙසු වැඩිහිටියන් ළමා මනස මනාව තේරුම් ගැනීමේ වැදගත්කම ඇය ජීවිත කාලය පුරාම අවධාරණය කළා. ඇගේ නිර්මාණ සමුදායේ ප්‍රමුඛතම පණිවුඩය වූයේ ළමයින්ට ළමා කාලය නිදහසේ අත්විඳින්නට ඉඩ දිය යුතු බවයි.


2019 අගදී සිබිල් නැන්දා සමඟ මා කළ මාධ්‍ය ආවර්ජනා වීඩියෝ සාකච්ඡාව YouTube හරහා මේ වන විට දහස් ගණනක් දෙනා නරඹා තිබෙනවා. එහෙත් තවමත් වෙබ් භාවිත කරන්නේ ලක් සමාජයේ 40% පමණ නිසා, එම සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මුද්‍රිත ආකාරයෙනුත් බෙදා ගැනීම වැදගත් යයි මා සිතනවා.


2019 දෙසැම්බර් 28 වන දා ඇගේ නුගේගොඩ නිවසේ රූපගත කරන ලද මේ සාකච්ඡාව, 2020 ජනවාරි මාසයේ වෙබ් හරහා පළ කරනු ලැබුවා. ඇතැම් විට මෙය ඇය කළ අවසාන දීර්ඝ සම්මුඛ සාකච්ඡාව විය හැකියි. සාකච්ඡාව පුරාම මා මවිතයට පත් කළේ ඇගේ විචිත්‍ර මතකය පමණක් නොවෙයි, ජීවිතයේ මුහුණ දුන් බාධක හිරිහැර ගැන උපේක්ෂා සහගතව හැරී බැලීමට ඇයට තිබුණු හැකියාවයි.


1947 ඔක්තෝබරයේ පටන්ගත් (පැරණි) ලංකාදීප පත්‍රයේ සේවයට ඔබ ගියේ 1948 අප්‍රේල් මාසයේ. ඒ සඳහා මග හෙළි කර දුන්නේ එච්. ඩී. සුගතපාල මහත්තයා. වැඩ පටන් ගත්තෙ කොහොමද?


අම්මා මට සාරියක් අන්දවලා, හැඩ වැඩ කරලා ටයිම්ස් ඔෆ් සිලෝන් කන්තෝරුවට කැඳවාගෙන ගියා. (ලංකාදීප ප්‍රධාන කර්තෘ) ඩී. බී. ධනපාල මහත්තයා එනකං අපි වාඩිවෙලා හිටියා. අපි ධනපාල මහත්තයව මීට පෙර දැක තිබුණේ නෑ. නැෂනල් සූට් (ජාතික ඇඳුම) ඇඳ ගත්ත මනුස්සයෙක් නම් ආවා. ඒත් මගේ අම්මා හිතුවේ මෙතන ලොක්කා කලිසම් කෝට් අඳින කෙනෙක් කියලා. පස්සෙ බලන කොට ඒ තමයි ධනපාල මහත්තයා! බොහොම චාම් සරල පුද්ගලයෙක්. එයා මා එක්ක ටිකක් කතා කරලා, පහුවදා ඉඳන් ලංකාදීපයේ වැඩට එන්න යයි මට කිව්වා.


සිංහල ජාතික පත්තරයක පූර්ණකාලීන සේවයට බැඳුණු මුල්ම කාන්තාව ඔබයි?


ඔව්. කාන්තාවන් ටික දෙනෙක් පිටත සිට පත්තරවලට ලිපි ලිවීම සිදු වුණත්, සිංහල පත්තර කන්තෝරුවක කාන්තාවන් කර්තෘ මණ්ඩලයට බැඳීම ඇරඹුනේ මා සමගයි. මුල් වසර කීපයේ මම කළේ පත්තරේ ලිපිවලට සහ කවිවලට ගැන ගැලපෙන චිත්‍ර ඇඳීම.


1950 දශකයේ මුල කාලයේ ලංකාදීප පත්තර කන්තෝරුව මොන වගේද?


ඒ කාලේ නොයෙක් ආකාරයේ කලාකාරයෝ, ලේඛකයෝ, උගත්තු නිතර යනවා එනවා. මට මතකයි ධනපාල මහත්තයා හම්බ වෙන්න සුනිල් සාන්ත ආපු හැටි. ඒ එයා ඉන්දියාවේ ඉඳන් ආපහු ආ අලුත.


මම ඉන්නව දැකල මගේ විස්තර ඇහුවා. ඊට පස්සේ මට කවියක් ලියල දීල කිව්වා ඒක චිත්‍රයට නගන්න කියලා. “වත්තල කලුවාගෙ අඹුව, තිත්ත කතාවෙන් බැන බැන” ආදී වශයෙන් තිබුණු ඒ කවිය තාමත් මට යන්තම් මතකයි. ඔය විදිහට එහි යන එන ප්‍රසිද්ධ උදවිය තමන්ගේ ලිපි හා කවිවලට මගෙන් චිත්‍ර අන්දවා ගන්නට කැමැත්තක් තිබුණා.


ලංකාදීපයේ මට පැවරුණු එක වගකීමක් තමයි ළමයින් සඳහා පිටුවක් කිරීම. ළමා පෙළ නමින් හැඳින්වුණු ඒ පිටුව හුඟක් ජනප්‍රිය වුණා. අලුත් දේවල් කරන්න ධනපාල මහත්තයා අපි සැවොම දිරිමත් කළා.

ගමේ ඉඳන් ආපු මම, කොළඹ නෝනලා අඳින පළඳින හැටි දකින චිත්‍ර මාලාවක් වරක් මම ඇන්දා. කිරි මැණිකාට පේන හැටි කියලා ඒක නම් කළා. ධනපාල මහත්තයා ඒව දැකල කිව්වේ ළමයෝ, මේ කාටුන් ටික නම් හරි අගෙයි. ඒ උනාට නම දාන්න එපා – මොකද ඔයාට මේ නෝනලාගෙන් ගල් පාරවල් වදින්න පුළුවනි!.


හැබැයි ටයිම්ස් ඔෆ් සිලෝන් පත්තරේ වැඩ කළ එක කොළඹ නෝනා කෙනෙක් ඔබත් එක්ක මිතුරු වුණා නේද?


ලංකාදීප කන්තෝරුව තිබුණේ ටයිම්ස් ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ. ඉංග්‍රීසි පත්තරය Times of Ceylon 4 වැනි තට්ටුවේ. එතන වැඩ කරපු නෝනා කෙනෙක් හිටියා – තොල් රතු කර ගත්ත, කොණ්ඩෙ කඩා දාපු, අඩි උස සපත්තු අඳින.
මම විපරම් කරලා බලපුහාම එයාගේ නම සීතා ජයවර්ධන. ඒ කාලේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ලේඛිකාවක්. දවසක් මම දවල් කෑම විවේකයේදී එයා පසුපසින් ලිෆ්ට් එකේ 4 වෙනි තට්ටුවට ගිහිල්ල, කතා කරලා එයාව හඳුනා ගත්තා.


මම කිව්වා ඉංග්‍රීසි පත්තරේටත් වැඩ කරන්න කැමතියි කියලා. එතකොට ටයිම්ස් පත්තරේ කර්තෘ වික්ටර් ලුවිස් කියලා සුද්දෙක්. එයා ලඟට මාව එක්කගෙන ගියා. ඒ දෙන්නාම කැමති උනාට පස්සේ ලුවිස් මහත්තයා ධනපාල මහත්තයට කතා කරලා ඒකට අවසර ඉල්ලුවා. එතකොට ධනපාල මහත්තයා කියා තියෙන්නේ එයා කැමති නම් ඕන තරම් වැඩ දෙන්න. හැබැයි අපේ ලංකාදීප වැඩත් කරන අතරම.


ලුවිස් මහත්තයා මට වෙනම මේසයක්, ෆෑන් එකක් සහ නිදහසේ චිත්‍ර අඳින්න අවශ්‍ය සියලුම ආම්පන්න එක දවසෙන් සූදානම් කළා. එදා ඉඳන් මම ලංකාදීපයටත් ටයිම්ස් පත්තරයටත් දෙකටම වැඩ කළා.


1953 වර්ෂයේ ඔබ ලේක්හවුස් ආයතනයට බැඳුනා. ඒ ඔවුන් අලුතෙන් ආරම්භ කළ සවස පුවත්පත වූ ජනතා කර්තෘ මණ්ඩලයට. ඉතින් ඊට පස්සේ?


ජනතා පත්තරයේ ළමා පිටුව කුමාර මණ්ඩපය හැටියට සම්පාදනය කරන ගමන් සමස්ත පත්තරේම වැඩ කරන්න මා සම්බන්ධ වුණා. මිනිස්සු තාම කතා කරනවා ඒ දවස්වල අපි ජනතා පත්තරෙන් කරපු දේවල් ගැන! කර්තෘ හැටියට හිටියෙ ඩෙන්සිල් පීරිස් මහත්තයා.


ඩෙන්සිල් පීරිස් වඩා ප්‍රකට දක්ෂ ඉංග්‍රීසි මාධ්‍යවේදියෙක් සහ කතුවරයෙක් හැටියට. ඔහු කොහොමද සිංහල පත්තරයක් කළේ?
ඒක ඇත්ත. ලේක්හවුස් පරිපාලනය අලුත් පිරිසක් සමග මේ අලුත් පත්තරේ අලුත් විදිහකට කිරීමේ වගකීම දුන්නෙ පීරිස් මහත්තයට. මට හරි හොඳ තැනක් ඒ කාලේ ඒ කණ්ඩායමේ තිබුණේ.


1950 සහ 1960 දශකවල ලේක්හවුස් ආයතනයේ විශේෂ මතකයන් එහෙම තියෙනවද?


දිනමිණ, ජනතා, සිළුමිණ කර්තෘ මණ්ඩල තුනම එක සමීපව, සුහදව තමයි වැඩ කළේ. ලේක්හවුස් සිංහල හා ඉංග්‍රීසි පත්තර හැම එකක්ම පාහේ මගේ චිත්‍ර ඉල්ලනවා. ඒ කාලේ මීමන ප්‍රේමතිලක සිළුමිණ පත්තරේ පටන් ගත්තා ලොව වටා පෙම් කවි කියලා විශේෂාංගයක්. ඛලීල් ජිබ්රාන් වැනි ලෝක ප්‍රකට කවීන්ගේ නිර්මාණ එයා සිංහලට පෙරලනවා. හැම ඉරිදාම මම ඒකට චිත්‍රයක් අඳිනවා. ඒ කාලේ ඒක හරි ජනප්‍රියයි.


ඉතින් දවසක් මම බස් එකේ යනකොට කොල්ලෝ දෙන්නෙක් මං දිහා බල බල මොනවද කියනවා. එක කොල්ලෙක් අහනවා කවුද ඒ කියලා. අනිත් කොල්ල කියනව ඒ අර මීමනගෙ කැච් එකනෙ. මං දන්නෙ නෑ කැච් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් මං ඇවිල්ලා වෙත්තසිංහ මහත්තයාගෙන් (ඒ දවස්වල අපි එකට වැඩ කරපු මිත්‍රයෝ) ඒ ගැන ඇහුවා. එයා හිනා වෙලා කිව්වා, “ඕක තමයි හැමෝම කියන්නේ. ඔයා මීමනගේ පෙම් කවිවලට චිත්‍ර අඳින හින්දා!”. ඔය සිද්ධියෙන් පස්සේ මට ඒ චිත්‍ර අඳින්න බැහැයි කියලා මුලින් හිතුනත්, දිගටම ඇන්දා.


1955 ඔබ ධර්මපාල වෙත්තසිංහ සහෝදර මාධ්‍යවේදියා සමග විවාහ වුණා. සිබිල් වෙත්තසිංහ ලෙස නම වෙනස් වූයේ එතැන් පටන්. සැමියා සහ බිරිඳ එකම පත්තර කන්තෝරුවේ වැඩ කරන විට ප්‍රශ්න මතු උනාද?


ලේක්හවුස් පරිපාලකයන්ට නම් ප්‍රශ්නයක් තිබුනෙ නෑ. (එවකට කළමනාකාර අධ්‍යක්ෂ) එස්මන්ඞ් වික්‍රමසිංහ මහත්තයා අපි දෙන්නට ආශිර්වාද කළා. ඒත් කීප දෙනෙක් ඉරිසියා කලා. නොයෙක් දේවල් කඩාකප්පල් කරන්නත් හැදුවා. ඒත් ඉතිං ඒවා හරි ගියේ නෑ.

ජනතා පත්තරේදී තමයි ඔබ අන් අයගෙ නිර්මාණවලට චිත්‍ර අඳිනවාට අමතරව ඔබේම ළමා කතා ලියන්නත් ඒවට චිත්‍ර අඳින්නත් පටන් ගත්තෙ. මොකක්ද ඒකෙ පසුබිම් කතාව?


දවසක් ඩෙන්සිල් පීරිස් මහත්තයා මට කියනවා මං හිතන්නේ ඔය ළමයට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් වගේම කතා ලියන්නත් පුළුවන් වෙයි. තමන්ගෙම කතාවක් ලියන්නකෝ. ඒ වෙනකන් මගේ කතා ගොඩක් හිතේ තිබුණත් එකක්වත් ලියලා තිබුණෙ නැහැ.


මේ ඉල්ලීමත් එක්ක තමයි කුඩ හොරා ලිව්වෙ. මං පුංචි කාලේ අපේ ගමේ කුඩ තිබුණේ නෑ. ඉස්සෙල්ලාම අපේ ගමට කුඩයක් සහ බයිසිකලයක් ගෙන ගෙනිච්චෙ අපේ තාත්තා. ඒවා බලන්න ගමේ මිනිස්සු ඇවිත් තියෙනවා. වැස්සට ගස්වල ලොකු කොළ ඉහළ ගෙන යන එක තමයි එතෙක් කල් කලේ. එතකොට වඳුරොත් හරි හීලෑයි. සමහර උන් ගෙවල් ඇතුළටත් එනවා. ළමා කාලයේ මේ මතකයන් ඔක්කොම එකතු කරලා මම කුඩ හොරා කතාව ලියලා, ඒකට චිත්‍ර ඇන්දා.


ඩෙන්සිල් පීරිස් මගේ කතාව කියවලා හරිම පැහැදුනා. “මේක නම් අපූරු කතාවක් – හැමදාම මේ වගේ කතා අපට ලියන්න!” එයා මට ආරාධනා කළා. ඊට පස්සේ මම කල්පනා කර කර එක් එක් ආකාරයේ කතා ලිව්වා. ඒවට චිත්‍ර ඇන්දා.


1956 ඔබ ලියා, චිත්‍ර ඇඳ ජනතා පත්තරයේ පළ කළ කුඩ හොරා කතාව පසු කලෙක ඉතා ජනප්‍රිය ළමා කතා පොතක් බවට පත්වනවා. ඒ වගේම කුඩ හොරා ලෝක වටේ ගියා නේද?


ඔව්, ඒ පොත්වල විදෙස් භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබෙනවා. විශේෂයෙන්ම ජපානයේ ළමයි ඒ කතාවට හරිම කැමැති වුණා. 1980 ගණන්වල ජපානයේ Noma Concours Picture Book Illustrations නමැති ජාත්‍යන්තර ළමා පොත් තරගයට මා කුඩ හොරා කතා පත ඉදිරිපත් කළා. ඒ සඳහා වර්ණයෙන් අලුත් චිත්‍ර පෙළක් ද නිර්මාණය කළා. මගේ පොත තරගයෙන් තුන්වන ස්ථානය දිනා ගත්තා.


ඊට පස්සේ ජපන් ප්‍රකාශකයෙක් කිව්වා මේක හරි අමුතු ආකාරයේ කතාවක්, අපි කැමතියි එය ජපන් බසින් පල කරන්න කියලා. මං ඒකට අවසර දුන්නා. ඒ අවුරුද්දේ ජපානයේ පළ කළ හොඳම ළමා පොත හැටියට කුඩ හොරාට සම්මානයකුත් ලැබුණා.


වතාවක් නෝර්වේ රටේ ළමා පොත් පිළිබඳ සම්මන්ත්‍රණයකට ආරාධනයක් ලැබිලා මම එහි ගියා. ඒ රටේත් ළමයින් අතර කුඩ හොරා ජනප්‍රියයි. මම ඒකට හේතුව ඇහුවා. මගේ ගයිඞ් කාන්තාව කිව්වේ වැස්සට කොළ අතු ඉහළ ගෙන යන සංකල්පය ඒ ළමයින්ට හරි අමුතු අපූරු දෙයක් කියලා. ඒ වගේම කුඩ හොරා රහස් පරීක්ෂක කතාවකුත් වෙනවා.


ඊට පස්සේ ඔබ ළමා කතා රාශියක් නිර්මාණය කළා. දුවන රැවුල, උඩ ගිය බබා, වෙසක් පහන, කිරි හාමි, කැවුම් යෝධයා ඇතුළු පොත් සිය ගණනක් ඒ අතර තිබෙනවා. ඒවගේම ඔබ ලේක්හවුස් පත්තරවලට නිතිපතා ලියද්දි ආදරණීය චරිත ගණනාවක් නිර්මාණය කළා. සූත්තර පුංචා සහ පවුලේ උදවිය සංකල්පය ආවේ කොහොමද?


මම හිතන්නේ හුඟක් වැඩිහිටියෝ අසාධාරණ විදිහට තමයි ළමයින්ගේ ප්‍රශ්න විසදන්නේ. ළමයින්ට ළමා කාලය කියලා එකක් තියෙනවා. ළමා කාලයේ වැඩෙන්න ළමයට නිදහසක් තියෙන්න ඕන. දඟකාරකම ළමයින්ට අයිතියක්! ඒ දඟකාරකම නවත්තන්න කිසි කෙනකුට බෑ. ඉතින් ඒකට උපරිම විදිහට රස විඳින්න ළමයට ඉඩ දුන්නොත් තමයි නිරෝගී මනසක් ඇති ළමයෙක් බිහි වෙන්නේ.


ඔන්න ඔය අදහසින් තමයි මම ළමයකුට තැන දීලා සූත්තර පුංචා ලියන්න ගත්තෙ. ඒ කතා හරිම ජනප්‍රිය වුණා. මොකද හැමෝටම කාලයක් තිබිලා තියෙනවා. වැඩිහිටියෝ ඕක කියවන කොට තමන්ගෙ ළමා කාලය ගැන හිතනවා.


ඒ කියන්නේ ඔබ ලියන්නෙ වැඩිහිටියන්ටයි ළමයින්ටයි දෙපිරිසටමද?


ඔව්. වැඩිහිටියන්ට අවවාදයක්. ළමයින්ට රස විඳින්න දෙයක්. 1960 ගණන්වල සූත්තර පුංචා සිළුමිණ පත්තරේ සතිපතා පල වෙන කාලේ දවසක් උදේ කන්තෝරුවේදී වෙත්තසිංහ මහත්තයා මට කතා කළා. එතකොට එයා ප්‍රධාන කර්තෘ. යුනිවර්සිටි ප්‍රොෆෙසර්ලා කීප දෙනෙක් ඇවිත් ඉන්නවා කියලා මාව හම්බ වෙන්න.


හතර දෙනෙක් හිටියා. මේ ගොල්ලෝ මට මෙහෙම කියනවා: “මේ ළමයා නොදැනුවත්කමට ලියන දේවල් ගැන සාකච්ඡා කරන්න අපි ආවේ. පොඩි ළමයි හරි දඟකාරයි. ඔයා ලියන කතාවලින් ඒ දඟකාරකම් තවත් වැඩි වෙනවා…”
මට කියන්න වචන නැහැ. මේ හතර දෙනා ඉන්නවා මගෙන් පිළිතුරක් එනකං. මං මෙහෙම කිව්වා: “අනේ මහත්තයෝ, මම අහන්න කැමතියි: ඔය මහත්තුරුන්ටත් ළමා කාලයක් තිබුණද?”. කිසි කෙනෙක් වචනයක් කතා කළේ නෑ. මං නැගිටලා ගියා!
හැම මනුස්සයට ළමා කාලයක් තිබෙනවා. ළමා කාලය කඩාකප්පල් කරන්න හොඳ නැහැ. එතකොට මනස දුර්වල වෙනවා. ළමයා හැදෙන්නෙ නෑ. හිටි ගමන්ම පුංචි කාලේ ඉඳලා ලොකු වෙන්නෙත් නැහැනේ. ටික ටිකනේ ළමයාගේ මනස වැඩෙන්නේ.


සූත්තර පුංචා කතාවලත් ඔබේ වෙනත් කතාවලත් හාස්‍ය රසය මැනවින් ගැබ්වෙලා තිබෙනවා. ඔබ සියුම් විදිහට හාස්‍ය රසය මතු කරනවා. මේ ඇයි?


හාස්‍ය රසය තමයි ළමා පොත්වල තියෙන ප්‍රධානම අංගය. හාස්‍ය රසයයි නිර්මාණශීලීත්වයයි හුඟක් වැදගත්. ඒ දෙකයි සංචාරය ගැනයි තමයි ළමා පොත්වල තියෙන්න ඕනේ. අමුතු දේවල් සොයා ගන්න ළමයි හුඟක් ආසයි. හාස්‍ය රසය මට හරි වටිනවා. මං පොඩි කාලේ හිනා වෙන්නමයි කැමති. හිනා රසය ළමයින්ගේ උපරිම දෙයක්. ළමයින් වැඩිපුර හිනා උනාම නිරෝගී විදිහට මනස හැදෙනවා.


1973දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත්තා. ඒ සමග එහි ලොකු පෙරළි සිදුවුණා. මේ සිදුවීම් ඔබට බලපෑවේ කොහොමද?


බලපෑමක් වුණා කියන්නේ ඉතිං ගෙදර යන්න උනානේ. මගේ මහත්තයාවත් අස් කළා. ඉතිං ඊට පස්සේ මම (පූර්ණ කාලීනව) පත්තරයක වැඩ කළේ නැහැ. එතැන ඉඳලා මම ලිව්වෙ පොත් විතරයි. හැබැයි රංජිත් විජේවර්ධන මහත්තයා (1981) විජය ළමා පත්තරය පටන් ගත්තට පස්සේ, ඒ පත්තරයට ලියන්න ආරාධනා කළා. මම පිටත ඉඳන් අවුරුදු දෙකක් විතර විජය පත්තරේට ලිව්වා. එහෙම ඉන්නකොට උපාලි පුවත්පත් සමාගම මට ආරාධනා කළා ඒගොල්ලො අලුතෙන් පටන් ගන්න ළමා පත්තරය බාර ගෙන කරන්න කියලා. බිංදු පත්තරේ පටන් ගත්තෙ එහෙමයි.


බිංදු පත්තරේ අත්දැකීම මොන වගේද?


බිංදු පත්තරය මුල් කලාපය පිටපත් එක් ලක්ෂ විසිපන්දාහක් විකුණුනා. ළමයින් අතර එය ඉතාම ඉක්මනින් ජනප්‍රිය වුණා. මම මුල් අවුරුද්දේ තනියමයි පත්තරය කළේ. කතන්දර ලිව්වා, චිත්‍ර ඇන්දා, පිටු සූදානම් කළා. අවුරුද්දකට පස්සෙ මට සහායට තව කෙනෙක් ලැබුණා. මම අවුරුදු තුනක් ඉතා ආසාවෙන් බිංදු පත්තරය කළා. ඊට පස්සේ මට ලෙඩ වුණ නිසා අයින් වුණා. ආයෙත් පත්තරේක වැඩ කරන්න ගියේ නැහැ.


ඔබ විටින් විට අන් අයගේ පොත් සඳහාත් චිත්‍ර ඇඳ තිබෙනවා. එයින් සුවිශේෂ අවස්ථාවක් වූයේ සිංහල ළමා බයිබලයට චිත්‍ර නිර්මාණය. එහි පසුබිම මොකක්ද?


1980 ගණන්වල මැද ලංකා බයිබල් සංගමය මට කිව්වා ඇමරිකන් කණ්ඩායමකට අවශ්‍ය වෙලා තියෙනවා සිංහල ළමා බයිබලයක් පල කරන්න දේශීය චිත්‍ර ශිල්පියෙකුගේ රූප සමග කියලා. ඒ ගැන සාකච්ඡාවේදී මම කිව්වා: “මං කැමතියි මේක කරන්න. මාත් ගියේ කතෝලික පාසැලකට නිසා ක්‍රිස්තු චරිත කතාව මම හොඳින් දන්නවා. හැබැයි මම කතෝලික නෙමෙයි බෞද්ධ.”


ඒ අයට ඒක ප්‍රශ්නයක් උනේ නෑ. මට වැඬේ බාර දුන්නම මම මෙහෙම කිව්වා. “මගේ කොන්දේසි කීපයක් තියෙනවා. ලංකාවේ සංස්කෘතිය හැටියට තමයි මම චිත්‍ර අඳින්නේ. ඒ කියන්නේ ජේසුතුමාට කළුපාට කොණ්ඩෙ තියෙන්න ඕන. මරිය තුමිය සාරියක් අඳින්න ඕන. දේව දූතයන්ට පිහාටු දාන්න බෑ – ඒගොල්ලො අපේ සංස්කෘතියේ හැටියට ඉගිලෙනවා විතරයි අහසට.”


ඒ පිරිස කොන්දේසි සියල්ලටම එකඟ වුණා. ලංකාවේ සංස්කෘතියට ගැළපෙන හැටියට තමයි අපිට මේ ළමා බයිබලය කරන්න ඕනෙකම තියෙන්නෙ කියලා කිව්වා. ඉතින් මං චිත්‍ර ඇඳලා දීප්ත ළමා මග නමින් ඒක ප්‍රකාශයට පත් වුණා. කතෝලික නොවන සමහර අයත් ළමා බයිබලයේ පිටපත් අරගෙන ළමයින්ට තෑගි කළ බව මම දන්නවා මා එයට ඇඳ තිබෙන රූප නිසා! පස්සේ ඒ සඳහා මට ජාත්‍යන්තර සම්මානයකුත් ලැබුණා චෙකොස්ලොවාකියාවේ.


ළමා මනස හොඳින් තේරුම්ගත් අයකු හැටියට ඔබ මේ රටේ දෙමව්පියන්ට දෙන අවවාදය කුමක්ද?


ළමයින්ට ඉඩ දෙන්න ඒගොල්ලන්ගෙ ළමා කාලය උපරිම විදිහට ගෙවන්න. වැඩිපුර උපදෙස් දෙන්න හොඳ නෑ. දැන් එක අම්මා කෙනෙක් ඇවිත් මට කියනවා එයාගේ දරුවා අඳින චිත්‍රවල මූණු හරි නැති නිසා එයා ඒවා හැදුවලු. මම කිව්වා ඒක කරන්න එපා. ළමයි අඳින්නෙ තමන්ගෙ වයසෙ හැටියට. ඒ ගොල්ල ලෝකය දකින්නේ වෙනස් විදියට. අපි හැමෝටම ළමා කාලයක් තිබුණ බව කිසි විටෙක අමතක කරන්න එපා!


සාකච්ඡාව කොටස් දෙකකින් මෙතැනින් නරඹන්න: