ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කිරීමට දෙමළ ජාතික සන්ධානයත් දායක වුණා. අද ඔබ දකින ආකරයට එහි ති්බෙන අඩුපාඩුකම් මොනවාද ?


19 වන සංශෝධනය ගෙන ආවේ රටේ පාර්ලිමේන්තුව විධායක ජනාධිපතිතුමා අධිකරණය එකතු වෙලා ආණ්ඩුව ගෙන යාමට ඒගොල්ලන්ගේ බලය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමටයි. එය පාර්ලිමේන්තුවට වැඩි බලයක් තිබුණු ක්‍රමයක්. ඒක හොඳ ක්‍රමයක්. ජනතාව පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් පත් කරන්නේ අවුරුදු පහකට. ඒ නිසා ඊට කලින් අවුරුදු දෙකෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. අවුරුදු දෙකෙන් බලයෙන් ඉවත් කළහොත් ජනාධිපතිතුමා බලය අතට ගැනීමත් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අල්ලස් හා වංචා දූෂණ කොමිසමේ ප්‍රධානියා, ස්වාධීන කොමිෂන් සභා, මානව හිමිකම් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව යනාදි ආයතන වලට පුද්ගලයන් පත් කිරීමේදි ව්‍යවස්ථාදායක සභාවේ උපදෙස් ඇතිව ඔවුන්ගේ එකඟතාවය ඇතිව කරන්නයි පුළුවන්වන්නේ. එම කමිටුව සිවිල් සමාජය නියෝජනය කරන පුද්ගලයන් තිදෙනෙක්ද සිටි නිසා එම පත් කිරීම් සිදු කිරීමේදි පුළුවන් තරම් හරියට කරන්න පුළුවන්. පොලිස්පති, විගණකාධිපති, පාර්ලිමේන්තු මහ ලේකම් යනාදි තනතුරු ඉතා වැදගත් ඒවා.

තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේදි ව්‍යවස්ථාදායක සභාව හරහා පත් කිරීම ඉතා හොඳයි.එහෙම බලනකොට එම සංශෝධනය තුළ අඩුපාඩුකම් තිබුණා කියන්න විදියක් නැහැ.


ඔබ එසේ කීවත් 19 වන සංශෝධනය තුළින් විධායක ජනාධිපති හා අගමැතිවරයා අතර ආණ්ඩුකරණ බලය බෙදා ගැනීමේ ගැටලුවක් තිබෙන නිසා එය සංශෝධනය කළ යුතු බවට ඔබ පක්ෂයේ එම්. සුමන්තිරන් මහතා පවසා තිබුණා. එසේ ප්‍රකාශ කිරීම ගැන ඔබේ අදහස කුමක්ද ?


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ජනපතිට සහ අගමැතිට ප්‍රශ්න තිබුණා නම් ඒගොල්ලෝ ඒ ව්‍යවස්ථාවට අනුව තීන්දු කර ගත යුතුයි. ඒවා ඒගොල්ලෝ හිතන ආකාරයට ව්‍යවස්ථාව මාරු කරන්න කාරණාවක් වෙන්න බැහැ.


19 ව්‍යවස්ථාව අහෝසි කිරීම සඳහා මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. එහි තිබෙන සාධනීය සහ නිශේධනිය ලක්ෂණ ඔබ දකින්නේ කෙසේද ?


එය ගැසට් පත්‍රයේ පළ කර තිබුණා. ඔවුන් කියා සිටිනවා එහි සංශෝධනයක් සිදු කරන බව. අපි තවම දන්නේ නැහැ මොකක්ද වෙන්නෙ කියලා. එම කෙටුම්පතේ වෙනස්කම් සිදුවේවි. ආණ්ඩුව පැත්තේ හුඟක් මන්ත්‍රීතුමන්ලාත් ඒ කෙටුම්පතට සම්පූර්ණයෙන් එකඟ වී නැහැ. ඒ සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට ඒමට තවම පුළුවන් කමක් නැහැ.ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් ඒ ගැන කතා කරන්න අපිට බැහැ.


13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට වත්මන් පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කර තිබෙනවා. එමගින් ආණ්ඩුවේ බලය බෙදා හැරීමක් වශයෙන් හඳුන්වා දෙන ලද පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට රජය දරන උත්සාහය පිළිබඳ ඔබේ අදහස කුමක්ද ? යම් හෙයකින් එය අහෝසි කිරීමට රජය කටයුතු කළහොත් ඔබ සන්ධානය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?


ඔවුන්ට 13 වන සංශෝධනය අහෝසි කළ නොහැකියි. ඒක කරන එක රටට හොඳ නැහැ. ඒක කළහොත් රටට හුඟක් බලපාන්න පුළුවන්. 13 වන සංශෝධනය ගෙන ආවේ රට බෙදන්නෙ නැතුව බලය බෙදා හැරීමටයි. නමුත් බලය හරියට බෙදලා නැහැ. රට බෙදන්න බැහැ. රටට කිසිම හානියක් නැතුව එක එක පළාත්වලට බලය බෙදලා දුන්නා. ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලො බලා ගැනීමට. ලෝකයේ හුඟක් රටවල් වල එම ක්‍රමය තියෙනවා. ඒකේ කිසිම වරදක් නැහැ. ඒක නැති කිරීමට හෝ මාරු කිරීමට කිසිම උවමනාවක් නැහැ. එහෙම කරන්න ගියහොත් ඒක ගැටලුවක් වේවි.


මෑතකදි කොළඹ ඇමරිකානු තානාපතිනිය සමගත් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුවා. එහිදි ඔබ සාකච්ඡා කළේ මොනවාද ? ඔබේ අදහස්වලට ඇය ලබා දුන් ප්‍රතිචාරය කුමක්ද ?


මම ඇමරිකානු තානාපතිනිය සමග පමණක් නොව බොහෝ පුද්ගලයන් සමග ඒ බව සාකච්ඡා කළා. ඒ තමයි 13 වන සංශෝධනය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මගේ සාමාන්‍ය දැක්ම. එම සංශෝධනය ගෙනාවේ බලය බෙදා මැරීමේ පළමු පියවරක් වශයෙන්. බලය බෙදුවේ නැතිනම් රට බෙදිලා ඇති. රට බෙදන එක නවත්වන්න තමයි එම සංශෝධනය ගෙන ආවේ.


එම සංශෝධනය අහෝසි හෝ වෙනස් කිරීමක් රජය සිදු කළහොත් ඒ අවස්ථාවේ කුමක් කළ යුතුද කියා අපි හිතා බලනවා. එහෙම කළහොත් නම් හුඟක් දේවල් කරන්න පුළුවන්කමක් තිබෙනවා.


ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු උතුරේ අතුරුදහන් වූ පුද්ගලයන් ලැයිස්තුවක් දෙමළ ජාතික සන්ධානය විසින් අගමැතිවරයාට බාර දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් රජය මේ වන විට ගෙන ඇති පියවර මොනවාද ?


ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව කියා සිටියා. ඒ ගැන මේ දක්වා කුමක් කළාද කියා කීමට දන්නේ නැහැ. අපි නැවතත් ඒ සම්බන්ධයෙන් අගමැතිතුමා මුණ ගැසි සාකච්ඡා කරනවා.


දෙමළ ජාතික සන්ධානයට මෙවර ලැබුණු ආසන සංඛ්‍යාව අඩුවීම සම්බන්ධයෙන් ඔබේ විග්‍රහය කුමක්ද ?


ඊට බලපාන මූලික හේතුව උතුරේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් හරිහැටි නොලැබීමයි. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ රෙජිමය තුළින් එවැනි විසඳුමක් ලැබේවි කියා අපේ ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් එය සිද්ධ වුණේ නැහැ. ඒක තමයි ආසන සංඛ්‍යාව අඩුවීමට බලපාන ලද හේතුව.


ගජේන්ද්‍ර පොන්නම්බලම් සහ සී. වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දෙමළ ජනතාව තෝරා පත්කර ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ පැමිණිම දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් විය හැකියි නේද ?


ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්ුවට ඒමේ හැකියාව තිබෙනවා.


දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්තිවලට අනුව වත්මන් ආණ්ඩුව සමග ඉදිරියේදි ගනුදෙනු කරන්නේ කෙසේද ?


රටත්, රටේ සියලුම ජනතාවගේත්, උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනතාවගේත් යහපත සඳහා අපි රජය සමග සහයෝගයෙන් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුහුණ පා තිබෙන රටේ සියලුම ගැටලුවලට විසදුම් ගෙනෙමින් තිරසාර සාමය උදාවන තෙක් සහයෝගයෙන් කටයුතු කරනවා. විශේෂයෙන් අපගේ ජනතාවගේ යහපත පදනම් කරගෙන ඔවුන්ට යුක්තිය ඉටු කරගැනීම සහ ඔවුන්ගේ අභිමතය රැක ගන්නා අයුරින් අපි කටයුතු කරනවා.