සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ පිළිබඳව විද්වතුන්ගෙන් විමසීමේදී ඔවුන් දැක්වූ අදහස් මෙසේය.

සංවරණය සහ තුලනය දුර්වෙල වෙලා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ
මහාචාර්ය දීපිකා උඩගම


20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික වශයෙන්ම අපට පෙනෙන්නේ ජනාධිපති ධුරයේ බලය ඒකරාශී කිරීමක්. ඒක පූර්ණ වශයෙන්ම ඒකරාශී කිරීමක් එතන දකින්නේ. ඒ නිසාම අපිට පෙනෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක තිබියයුතු සංවරණ සහ තුලන ක්‍රමයක් හුඟාක් දුර්වල වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අද කතා කරන කොට අපි කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ කටයුතු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනයි. එහෙම නැතිනම් වෙන දේශපාලන ක්‍රමයක් ගැන නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය දිහා බැලුවාම එහි මූලිකම ලක්ෂණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතා කේන්ද්‍රීයයි. ඒ කියන්නේ ජනතාවට තමන් වෙනුවෙන්ම තමන් තෝරා පත්කර ගන්න රජයක් විසින් තමන්ගේ අයිතිවාසිකම් සහ තමන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා රජයක් පිහිටුවා ගැනීම පෙන්නුම් කරනවා. එහිදී බලාපොරොත්තුවක් තිබෙනවා මුළු රාජ්‍යතන්ත්‍රයම පාලනය වන ක්‍රමය හැඩගැහෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම්, නිදහස ගැන ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා විය යුතුයි. මෙහිදී පෙන්නුම් කරන දෙයක් වන්නේ තුනෙන් දෙකක ප්‍රබල වරමක් ලබා දුන්නේ මේ විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඉතාමත් ප්‍රබල ජනාධිපති ධුරයක් නිර්මාණය කරලා එතැනින් ජනතාවට අවශ්‍ය සංවර්ධන කටයුතු ආදිය ඉටුකර ගැනීම කියන එකයි. ඒත් මෙහි තිබෙන ප්‍රශ්නය තුනෙන් දෙකක වරමක් දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තුරන් කරලා තමන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඉටුකර ගැනීමටද මේ වරම ලැබුණේ කියන එක.


ලැබුණු ප්‍රබල ජන වරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඒ විදියට සංශෝධනය වෙනවා නම් එතැනදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට හානියක් නොවන විදියටයි.


මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දිහා බලන කොට අපිට පෙනෙන්න තියෙන මූලිකම දේ ජනාධිපති ධුරයේ බලය ඒකරාශීවීම සහ සංවරණ හා තුලන ක්‍රමය බොහෝ දුරට දුර්වල වී තිබෙනවා. කෙනෙක් ඇසුවොත් මොකක්ද මේ සංවරණ හා තුළන ක්‍රමය කියන්නේ කියලා, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් තමයි, ආණ්ඩුවක තිබෙනවා ආයතන තුනක්. ඒ ආයතන තුනේ තුළනයක් තිබෙනවා. බල විභේදනයක් තියෙනවා. බල විභේදනය කියන්නේ බලය ඒකරාශීවීම වළක්වන්න. මොකද ආයතනයක බලය ඒකරාශී වුවහොත් එතැන ඉතාමත් දරදඬු ආකාරයට කටයුතු කිරීමේ හැකියාව තියෙන නිසා. එවිට ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන අතිවිශිෂ්ට ලක්ෂණයක් වන එක ආයතනයක් අනික් ආයතන අධීක්ෂණයක් කළ යුතුයි. ඒකට තමයි සංවරණ හා තුළන ක්‍රමය කියන්නේ.


බොහෝ අය කියනවා බලය ඒකරාශී වුණාට කමක් නැහැ. මොකද එවැනි බලයක් අවශ්‍යයි රටක් සංවර්ධනය කරන්න කියන එක. ඕකට මූලික හේතුවක් තමයි අපේ ජනතාව අතර දැන් පැළපැදියම් වෙලා තිබෙන අදහසක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හරි දුර්වලයි කියන එක. මොකද ඔවුන් උදාහරණයක් හැටියට පසුගිය යහපාලන ආණ්ඩුව දක්වලා කියනවා ඒ වගේ දුර්වල ආණ්ඩු අපට අවශ්‍ය නැහැ. හැම තිස්සේම අවිනිශ්චිතභාවයක් තිබුණේ. හැම තිස්සේම උද්ඝෝෂණ-පෙළපාළි, කිසිම දෙයක් කරගන්න බැහැ. රට අරාජික වෙනවා එවැනි අවස්ථාවක කියලා. ඒක නිසා බලය ඒකරාශී වුණාට කමක් නෑ විධායක ආයතන තුළ කියලා.


ශක්තිමත් රජයක් සහ ශක්තිමත් ඍජු තීරණ ගන්න පුළුවන් රජයක් අවශ්‍යයි, ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න. දැන් බලයේ සිටින රජයට ඒ වරම ලැබිලා තියෙනවා. තුනෙන් දෙකක බලයක්. ඒ ශක්තිමත් බව තවදුරටත් තහවුරු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ අපි අතහැරලා ගියහොත් නෙවෙයි. මගේ මතය නම් ඒක ලොකු දුර්වලතාවක්. ඇත්ත වශයෙන්ම එය අපටම කරගන්න ලොකු අවැඩක්. රජයට ලැබිලා තියෙන වරම ප්‍රජාතන්ත්‍රවාදීව භාවිත කරලා ජනතාව වෙනුවෙන් ඒ අවශ්‍ය සේවය ඉෂ්ට කරගන්න හැම අවකාශයක්ම තියෙනවා. නමුත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ නිකම් නීතියක් සංශෝධනය කිරීමක් නොව රටේ මූලික නීතිය සංශෝධනය කිරීමක්. එවැනි සංශෝධනයක් සිදුකරන විට බොහෝ මත විමසලා අදහස් විමසලා සාකච්ඡා මාර්ගයෙන් මේ පිළිබඳව එකඟතාවක් ඇතිව ඉදිරියට යන එක. නමුත් කිසිම දවසක බලය ඒකරාශීවීමක් ඒ වගේම සංවරණ හා තුළන ක්‍රමය දුර්වල කිරීමේ ජනතාවට තමුන්ගේ ඉලක්ක කරා යන්න පුළුවන් කියා මා විශ්වාස කරන්නේ නැහැ. අපි පුරවැසියෝ හැටියට අධිෂ්ඨාන කරගන්න ඕනේ ශක්තිමත් රජයක් ලබාගන්න ගමන් ඒ රජය කටයුතු කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ තියෙන එක සහතික කරගන්න. එය අතිශයින්ම වැදගත්.


ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය කරන විට සම්පාදනය කරන විට සංශෝධනය කරන විට තියෙන ලොකුම දුර්වලතාව වන්නේ ඒ සංශෝධන ඇති කර ගන්නේ එක් එක් රජයේ අවශ්‍යතාවට අනුව වීමයි. යමෙක් කියන්න පුළුවන් 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයත් එහෙමයි කියන එක. නමුත් එතන තිබූ සුවිශේෂත්වය තමයි හැම පක්ෂයකම මන්ත්‍රීවරු එක මන්ත්‍රීවරයෙක් හැරුණු කොට ඡන්දය දුන්නා 19 වන සංශෝධනයට. එම සංශෝධනයේ සාධනීය ලක්ෂණ හැටියට අපි දකින්නේ ජනාධිපති ධුරයේ බලය සීමා කළා. මං හිතන්නේ ඒක දුර්වල කළා. නමුත් සීමා කළා. මොකද බලය ඒකරාශීවීමෙන් ඇතිවන ඵලවිපාක හින්දා. දෙවන එක තමයි සංවරණ හා තුළන ක්‍රමය එහිදී හොඳින් තිබුණා. අධිකරණයට පත්වීම් කිරීම, ස්වාධීන කොමිෂන් සභාවලට පත් කිරීම, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා පත් කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය හෝ නිර්දේශ සහිතවයි. එවිට එතැන තියෙන්නේ එක පුද්ගලයකුගේ මතය නියෝජනය වීම පමණක් නොවේ. ඒ ගැන තියෙනවා සංවාදශීලී බවක් මෙන්ම අදහස් විමසීමක්. එතැනින් තමයි සංවරණ හා තුළන ක්‍රමය එන්නේ. ඒ වගේම 19 සංශෝධනයේ තිබුණා ජනාධිපතිවරයාට නීතියෙන් ලැබෙන මුක්තිය සීමා කරලා තිබුණා. එහිදී අයිතිවාසිකම් කඩවීම පිළිබඳව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාව තිබුණා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මා දකින්නේ මූලික වශයෙන්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය 19 සංශෝධනය එසේම පවත්වාගෙන යෑමට යෝජනා කර තිබෙනවා. ඒ වගේම ධුර වාර ගණනක් සීමා කරලා තිබෙනවා. ඒවා හොඳ ලක්ෂණ වෙනවා. තුන්වෙනුව තොරතුරු ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් හැටියට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ප්‍රතිපාදනය දිගටම පවත්වාගෙන යන බව දැනගන්න ලැබී තිබෙනවා. එයත් හොඳ දෙයක්. නමුත් ඒ ලක්ෂණ හැරෙන්න අනික් ප්‍රතිපාදන නම් තවදුරටත් කල්පනා කර බැලිය යුතුයි, සාකච්ඡාවට භාජනය කළ යුතුයි.■

අධ්‍යයනයට අවස්ථාවක්
ඇමතිවරුන්ටත් දීලා නැහැ
වෛද්‍ය වසන්ත බණ්ඩාර


ව්‍යවස්ථාවක් හෝ රටේ ජාතික ප්‍රතිපත්තියක් සම්මත කිරීමේදී ඉතා වැදගත් වෙනවා ඒකේ අන්තර්ගතය වගේම ඒක කරන ක්‍රමවේදය. මහජනයාගේ කැමැත්ත තහවුරු කරගත හැකි ආකාරයට ආණ්ඩුවේ ප්‍රතිරූපය රැකෙන ආකාරයට ඒක කරන්න ඕනේ. එහෙම නැති වුවහොත් වෙන්නේ කොතරම් වටිනා මෙන්ම හොඳ දේ අන්තර්ගතයේ තිබුණත් ඒක මහජනයාගේ අවිශ්වාසයට ලක්වෙනවා මෙන්ම ආණ්ඩුවේ ප්‍රතිරූපයට ඒක බලපානවා. ඒ අනුව 20 වන සංශෝධනය කිරීමේ ක්‍රමවේදය ඇතුළේ අවුල් ටිකක් තියෙනවා. ඒක මහජනයාට දැනෙනවා. පළමුවන දේ තමයි මහජනයාගෙන් ජනවරම ඉල්ලා සිටියේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. නමුත් අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙනවා වෙනුවට 19 වන ව්‍යවස්ථාව සංශෝධනය ගේනවා. ඒක සාධාරණීකරණය කරන්නේ 19 වන සංශෝධනය නිසා ආණ්ඩුවට විශාල ප්‍රමාණයක් අවුල් ඇතිවෙනවා රාජ්‍ය බලය දුර්වල වෙලා තිබෙනවා. ජනාධිපතිට ක්‍රියා කරන්න අපහසුතාවක් ඇතිවෙලා තියෙනවා කියලා. හැබැයි දැන් අගමැතිතුමත්, ජනාධිපතිතුමත් එකම පක්ෂයේ සිටින නිසා එවැනි විශාල ගැටුමක් ඇතිවෙන්නේ නැහැ. ඉවත් කරපු අමාත්‍ය මණ්ඩලයේ තියෙන සංශෝධිත කියලා දන්වලා තියෙන කරුණු හතරම හදිසි කරුණු නොවේ. එකක් තොරතුරු දැනගැනීමේ අයිතිය. ඒක ආපසු තියෙනවා. අනික් එක අයින් කරනවා. ඒ ජනාධිපතිවරයාගේ කාලය, පාර්ලිමේන්තුවේ කාලය, ජනාධිපතිවරායගේ ධුර කාලය යනාදිය තියාගෙන අනික් ඒවා අයින් කරනවා. එවිට මේවා හදිසි කාරණා නොවේ යැයි කියලා මහජනයාට දැනෙනවා. ජනාධිපතිතුමා ඇමති තනතුරක් ගත්තා ආරක්ෂක ඇමතිකම. ජනාධිපතිතුමා ඇමතිකම් දරන්න බැහැයි කියන තත්ත්වය තිබුණේ නැහැ.

ආණ්ඩුව විසුරුවා හැරීමේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා මේක කලබලයේ කරන්න හැදීම පිළිබඳව මහජනයාට එන්නේ වැරදි ආකල්පයක්. ඒක හොඳ නැහැ.


MCC ගිවිසුමට අදාළ වාර්තාව පවා අමාත්‍යවරුන්ට ඉඩ දුන්නා ලිඛිතව තමන්ගේ අදහස් පළකරන්න සතියක කාලයක්. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් පළමුවන රැස්වීමේදීම අමාත්‍යවරුන්ගේ එකඟතාව ලබා ගත්තා. ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන්නේ විධායකය හැටියට අමාත්‍ය මණ්ඩලයයි. අවම වශයෙන් සතියක කාලයක් මේක අධ්‍යයනය කරලා ඒ අමාත්‍යවරුන්ගේ දේශපාලන පක්ෂ වෙන්න පුළුවන් උපදේශකයෝ වෙන්න පුළුවන් ඒක සම්බන්ධයෙන් අදහස් දක්වන්න ලිඛිතව. ඒ අවස්ථාවන් ලබා නොදීම ක්‍රමවේදයේ යම්කිසි වැරැද්දක්. එහෙම හදිසි කරන්න හේතුවක් නැහැ. ඒ ආදී වශයෙන් ක්‍රමවේදයේ වැඩ ටික ප්‍රශ්නයක් ලෙස තියෙනවා. මේ ක්‍රියාවලියේ තියෙන සද්භාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙනවා. එතකොට අන්තර්ගතය පැත්තෙන් ගත්විට 19 වන සංශෝධනය ගොඩක් සිදුවුණේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ වගේ දෙයක් නොවේ එහෙම කියා සිටියාට. ඒකෙන් වුණේ බලය දුර්වල කිරීමක්. රාජ්‍යයේ අගමැතිට සමහර දේවල් කරන්න බැහැ. ඒ නිසාම අගමැතිට කරන්න බැරි නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාට පුළුවන් වුණේ ජනාධිපතිට අගමැතිවරයාව හිර කරන්න. ඔය කියන විදියට අගමැතිවරයාට නම් බලය දීලා තිබුණේ රනිල් වික්‍රමසිංහව හිරකරන්න ජනාධිපති මෛත්‍රීපාලට බලය ලැබෙන්නේ නැහැනේ. එහෙම වුණේ ජනාධිපතිගේ බලය අගමැතිට දීමට වඩා බලය දුර්වල කිරීමක්. බලය පැහැදිලි ලෙස නැතිකමක්ද තිබුණා. එතකොට තමයි ගැටලු මතුවෙන්නේ. ඒ නිසා 19 තිබුණු යම් හොඳ දේවල් තබා ගත යුතුව තිබුණා. උදාහරණයක් විදියට තබාගත යුතුව තිබූ දෙයක් තමයි ද්විත්ව පුරවැසිභාවය ගැන තිබුණු සඳහන. වෙන රටකට වගකීමක් තියෙන පුරවැසියෙකුට මේ රටේ නීති හැදීමට බලය දෙන එක වැරදියි. 19ගන්නා ලද ඒ තීන්දුව හොඳ දෙයක්. මම පුද්ගලිකව දකින 19 වන සංශෝධනයේ තිබුණු ප්‍රධාන ලක්ෂණ දෙකක් වන්නේ, එකක් තමයි ද්විත්ව පුරවැසිභාවයට බාධා පැමිණවීම, අපි විශ්වාස කරනවා මහජනයා තුළ ඒ සම්බන්ධයෙන් කතාබහක්ද තිබුණා. මෙම බාධකය මන්ත්‍රීවරුන්ට පමණක් නොව උසස් රාජ්‍ය නිලධාරීන්ටත් පැනවිය යුතුයි කියලා. සමහර වෙලාවට අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් ගන්නා තීන්දුව මන්ත්‍රීවරයෙක් ගන්නා තීන්දුවට වඩා බරපතළ වෙන්න පුළුවන්. ඒ නිසා 19න් නොකළ දේ තව ටිකක් සංවර්ධනය කරලා අමාත්‍ය ලේකම්වරුන්ට, තානාපතිවරුන්ට, පොලිස්පතිට, නීතිපතිට ඒ ආදී වශයෙන් ඒ එසේම මහ බැංකු අධිපතිටත් ඒ බාධාව පැනවිය යුතුව තිබෙනවා. මහ බැංකු අධිපති කළ දේ අපි දන්නවා. එහෙම තව ටිකක් පුළුල් කරනවා වෙනුවට ඒක නැති කරලා තියෙනවා. ඒක වරදක්. ඒකෙන් මහජනයාට ආණ්ඩුවේ සද්භාවය පිළිබඳව යම් ප්‍රශ්න කිරීමක් ඇතිවෙනවා. ජනාධිපතිවරයාගේ බලයට ඒක ප්‍රශ්නයක් නොවෙයිනේ අගමැතිවරයාගේ බලය පැහැදිලි නැතිකමක් ඒකෙන් වෙන්නේ නැහැනේ. ඒක වෙනම කාරණයක්. ඒ අය ඒක කිරීම වරදක්. දෙවැනි එක වන්නේ පනතක් ගැසට් කළාම දවස් 14ක් තියන්න ඕනේ න්‍යාය පත්‍රයට ඇතුළු කරන්න කලින්. ඒක දැන් දවස් හතට අඩු කරලා. ඒක හොඳ දෙයක් නොවෙයිනේ. මහජනයාට ඒ ගැන සංවාද කරන්න තියෙන්න ඕනේ. පනතක් සම්මත කරන්න කලින්. 20 වන සංශෝධනය මගින් මහජනයාට ඒ කලින් තිබූ අයිතිය ඒ කියන්නේ දවස් 14ක් තියන්න ඕනේ කියන දේ දවස් 7ට යටත් කරලා තිබෙනවා. ඒ තුළින් මහජන සංවාදයට යම් බාධාවක් පමුණනවා. ඒක හොඳ නැහැ.


ඊළඟ තව නරක දෙයක් වෙනවා අලුත් සංශෝධනය තුළ. ඒ තමයි 122 වගන්තිය ව්‍යවස්ථාවේ, ඒකෙන් තිබුණේ කලන් තිබුණා ජනාධිපතිවරයාට හදිසි පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයට එතුමා විසින් යොමු කරලා පාර්ලිමේන්තුවට යොමු කරලා සම්මත කරගන්න. පැය 24කින් පුළුවන් ඒක යවන්න. ඒක 19 වන ව්‍යවස්ථාවෙන් අහෝසි කරලා තිබුණා. ඒක හොඳ තීරණයක්. පනත් හදිසියේ සම්මත කරන්න ඕනේ නැහැ. ඒක හදිසියකදි යුද්ධයකදී හෝ ආපදාවකදී තීරණ ගැනීමේ හැකියාව තියෙනවානේ. ඒ අනුව පනතක් කියන එක දවසකින් සම්මත කරන්න යන එක හොඳ දෙයක් නොවේ. 19න් 11 වගන්තිය අයින් කොට ඒක කරන්න බැරි කරලා තිබුණා. 20 වන සංශෝධනය හරහා ඒක නැවත ජනාධිපතිතුමාට බලය දිලා තිබුණා එක දවසකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා පාර්ලිමේන්තුවට දාන්න. ඒක හොඳ නැහැ. ඒකෙන් මහජනයාගේ අයිතියත් හෑල්ලු කිරීම සිද්ධ වෙනවා. පනත සම්බන්ධයෙන් සංවාද කිරීමේ අවස්ථාවත් නැතිව යනවා. ඒ අනුව ජාතික වැදගත්කමක් තියෙන පනතක් පැය 24ක් ඇතුළත සම්මත කරන්න යනවා.

යම් හෙයකින් මහා බරපතළ ලෙස විරෝධයට ලක්ව තිබෙන පනතක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගත්විට විශේෂ විධිවිධාන පනත. ඒක භාවිත කරලා හදිසියි කියලා ඉඩම් ඔප්පු දෙන්න සම්මතත කළහොත් එවිට මජහනයාට කතා කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒක වරදක්. ■

බරපතළ සරදමක්
චමීර පෙරේරා


20 වන සංශෝධනය කියලා කියන්නේ ඉතිහාසයේ බරපතළ සරදමක්. විශේෂයෙන්ම හුදෙක් ජේ.ආර්. ජයවර්ධන නැවත ඉපදෙන්න සලස්වලා; මහින්ද රාජපක්ෂ පාපිෂ්ඨයෙක් බවට පත්වුණා වගේ වැඩක්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලු දෙනාටම සහ සියලු පාර්ශ්වයන්ට තිබුණා. 20 වන සංශෝධනයෙන් කරලා තියෙන්නේ නැවත වතාවක් 1977 තැනට ගිහිල්ලා තියෙන එක. මූලික ප්‍රජාතන්ත්‍රවාදය පවා අහිමි කරලා තියෙනවා. තවදුරටත් ජනාධිපතිවරයාගේ අභිමතය අනුව හැසිරෙන රූකඩයක් බවට පාර්ලිමේන්තුව පත් කරලා තියෙනවා. ජනතා පරමාධිපත්‍යය කියන එක සමතලා කරලා තියෙනවා.

තවදුරටත් ඇත්තටම කියනවා නම් දැන් පාර්ලිමේන්තුවක් ඕනෙ නැහැ. අපරාදේ සල්ලි වියදම් කරන්නේ පාර්ලිමේන්තුවකට. අගමැති කෙනෙක් ඕනේ නැහැ. අගමැති හුදෙක් මුද්‍රාවක් විතරයි. අගමැති හරියට පාපිස්සක් බවට පත් කරලා සියලු දේවල් ජනාධිපතිගේ ග්‍රහණයට හසුකරලා තියෙනවා. පාර්ලිමේන්තුව දැන් ජනාධිපතිවරයාගේ ග්‍රහණයේ තියෙන්නේ. බිත්තියකට හේත්තු කරලා තියෙන්නේ. අවුරුද්දක් ගියාට පසුව ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. ජනතා පරමාධිපත්‍යය සමතලා කරලා තියෙන්නේ. ජනාධිපතිවරයා තමයි සියලුම පත්කිරීම් කරන්නේ. අධිකරණයේ සිට රාජ්‍ය සේවයේ සියලු පත්කිරීම් කළාට පසුව තවදුරටත් නීති හදන්න පාර්ලිමේන්තුව කුමකටද? ඒක තමයි Despotism (අත්තනෝමතික පාලනය) කියන්නේ. නැවත වතාවක් රාජාණ්ඩු ස්වරූපයකට ගිහිල්ලාතියෙනවා. නීති හදන්නේ, නීති ක්‍රියාත්මක කරන්නේ සහ දඬුවම් දෙන්නේ යනාදී මේ සියල්ලක්ම කරන්නේ තනි පුද්ගලයෙක්. මේකට තමයි Despotism මේක තමයි කියන්නේ රාජාණ්ඩුක්‍රමය. රජෙක් තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. රාජාණ්ඩු ස්වරූපයකට පත්වෙලා තියෙන්නේ. තවදුරටත් ජනතාව ඉතුරු වෙන්නේ නැහැ. ජනතාවට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ. ජනතාවගේ නියෝජිතයන්ට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට වෙන්නේ මහ රජ්ජුරුවන්ගේ අතපල්ලෙන් වැටිලා බේරෙන දේවල් කාල බීලා ජීවත් වන සත්ත්වයෝ බවට පත්වෙන්න. මුළු රටම නැවත උඩු – යටිකුරු කරලා තියෙන්නේ. 1977 ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව හැදුවාම කිව්වා ගෑනියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑනියෙක් කරන්නත් විතරයි මට බැරි කියලා.

ඒක කරලා පෙන්නුවා. අපි දැක්කා කරපු දේවල්. ලක්ෂයකට විතර රැකියා අහිමි කළා. 1980 වැඩවර්ජනයෙන්. ඊට පස්සේ විපක්ෂයට මොකද කළේ? සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා විපක්ෂය සමතලා කරලා දැම්මා. අනතුරුව තිස් අවුරුදු යුද්ධයකට පාර කැපුවා. සත්‍යග්‍රහයක් අවිහිංසාවාදීව කරපු අරගලයත් සමතලා කරලා අන්තිමේදී වර්ගවාදී යුද්ධයකට පාර කැපුවා. රට ලේ ගංගාවක් බවට ඇදල දැම්මා. 1988-89 වන විට, ඊට පස්සේ 18 වන සංශෝධන ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා මේක පවුලේ දේශපාලනයක් බවට පත් කළා. රට පවුල බවට පත් කළා. ඒකේ නරකම තැනකට තමයි ආයිත් නැවත වතාවක් ගමන් කරමින් තිබෙන්නේ. ■

නීතියට උඩින් යන වෑයමක්
නීතිඥ සුරේන් ප්‍රනාන්දු


දීර්ඝ කාලයක් මුළුල්ලේ ජනාධිපතිවරයාට අතිවිශාල බලයක් තියෙන එකයි ඔහු අධිකරණයට වගවීමක් නොවන එකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වුවත් පාර්ලිමේන්තුව වගකියන්න ඕනේ කියන එක සහතික කරන්න ක්‍රමවේදයක් තිබුණේ නැති එක ජනතාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මොකද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාම තමයි අමාත්‍යවරුන් පත් කරන්නේ. එවිට ඔහුට පුළුවන් විශාල සංඛ්‍යාවක් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරලා ඒගොල්ලන්ගෙන් බහුතරයක් පාර්ලිමේන්තුවට එනකොට ඔහු පාර්ලිමේන්තුවට වගවීම සහතික කරන්නේ නැහැ. එවිට බලතුළනයක් ඇති කරන්න තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය එන්නේ.

එවිට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඔහු පත්කිරීම් කරන්න ඕනේ නම් අග්‍රාමාත්‍යවරයා දිනෙන් දින පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත් පුද්ගලයකු වෙන්න ඕනේ. ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩවන ආකාරයට කටයුතු කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩුවට විරුද්ධව අග්‍රාමාත්‍යවරයා ඇතුළු මුළු කැබිනට් එකම ගෙදර යන්න පුළුවන්. ඒක ජනාධිපතිවරයෙක් ධුරයෙන් පහකිරීමට වඩා බොහොම සරල ක්‍රමවේදයක්. ඒ තුළ පාර්ලිමේන්තුවට වගවීම සහතික කෙරෙනවා, බලතුළනයක් ඇති කෙරෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකළහොත් ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතිපතිතුමා මගින් දාන්න 19 වන සංශෝධනය තුළින් තිබීම තුළින් ජනාධිපති මුක්තිය සීමා කරනවා. උදාහරණයක් වශයෙන් ගත්විට නීති විරෝධී ලෙස 2018දී විසුරුවා හැරියාම ශ්‍රේෂ්ඨාධිකරණය ඊට මැදිහත් වුණා. ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිදුවෙච්ච හානිය ගැන පාර්ශ්වයන් කිහිපයක්ම ජනාධිපතිවරයා ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන නීතිපතිවරයාට විරුද්ධව. ඊට අමතරව ජනාධිපතිවරයා තනියෙන් ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කිරීම ස්වාධීන කොමිෂන්වල සාමාජිකයන් පත් කිරීම නිසා ජනාධිපතිවරයාට ඔහුට හෝ ඔහුගේ මතවාදවලට පක්ෂ පුද්ගලයන්ව පත් කිරීම අවකාශයක් හෝ අවදානමක් තිබිච්ච එකත් ප්‍රශ්නයක් වෙලා තිබුණා. එවැනි කාරණා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නිරාකරණය වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවත් සමග කටයුතු කරලා තමයි පත්කිරීම් කරන්න වුණේ. ඒ පත්කිරීම් කිසියම් ක්‍රියාවලියකින් සිදු කෙරෙන විට ස්වාධීනත්වය ආරක්ෂා වන ක්‍රමවේදයක්, ව්‍යුහය සැකසෙනවා. ඒත් 20 වන සංශෝධනයෙන් ඒ සම්බන්ධයෙන් කරන ලද කාරණා සියල්ලත් නැවත 18 වන ව්‍යවස්ථා සංශෝධනය දක්වා තිබිච්ච තත්ත්වයට ගෙනයාම තමයි උත්සාහ කරලා තියෙන්නේ. එවිට බලතුළනයක් නැතිවෙනවා. ජනාධිපතිවරණයකින් බොහෝ දෙනා කෑගසන ලද අසීමිත බලතල නැවත ජනාධිපතිවරයා වෙත පැවරෙනවා. ඔහුටත් අමාත්‍ය ධුර දරන්න පුළුවන්.

අමාත්‍ය ධුර පත් කරන්නේ සිය අභිමතය පරිදි. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ගැනීම අනිවාර්ය නැහැ. එවිට සමහර පත්කිරීම් පාර්ලිමේන්තු සභාවක් පත් කරලා තිබෙනවා. ඒක හුදෙක් ඒගොල්ලන්ගේ නිර්දේශ ලබා ගන්න සිය අභිමතය මත කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදුවෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් සිය අභිමතය පරිදි ඒ පත්කිරීම් කරන්න. ඒ වගේම අධිකරණයට 19න් ඔහුගේ මුක්තිය අඩු කරපු එක නැවත 19 ව්‍යවස්ථා සංශෝධනයට පෙර තිබුණු තත්ත්වයට 20 වන සංශෝධනය ගෙනිවිත් තියෙනවා. එකම රටක් – එකම නීතියක් කියලා කියා සිටියද ජනාධිපතිවරයා ඒ නීතියට වඩා ඉහළින්ම සිටින පුද්ගලයෙකු හැටියට තමයි 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකරලා තියෙන්නේ. ඔහුට ආපසු බලතල වැඩි කරනවා. ඔහු පාර්ලිමේන්තුවට වගවීම අඩු කරනවා. අධිකරණයට වගවීම සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ඒ වගේම 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් ස්ථාපිත කළා. ඒ වගේම විගණන කොමිෂන් සභාවක්ද පත් කළා. විශේෂයෙන් දූෂණයෙන් ඉහළයි කියලා චෝදනා එන වාතාවරණයක් තුළ එවැනි ආයතනයක් ස්වාධීනත්වය ආරක්ෂා විම හරිම වැදගත්. උදාහරණයක් වශයෙන් ගත්විට විගණන කොමිෂන් සභාවක් තිබියදී ස්වාධීන ජනාධිපතිවරයෙක් සිටිද්දී තමයි ඔහුට හැකියාවක් තිබුණේ ඔහුට ස්වාධීනත්වය තිබෙන නිසා මහ බැංකු වංචා සම්බන්ධයෙන් කෝප් කමිටුවට වගවීමේ හැකියාවක් තිබුණා. අප දන්නා පරිදි ඊට පෙර තිබිච්ච බැඳුම්කර වංචා නඩු ගැනත් ප්‍රශ්න නැගුණා. ඒවා ගැනත් අනාගතයේ විමර්ශන තියන්න අවකාශයක් තියෙනවා. එවන් ආයතන නැති කරලා එවන් පුද්ගලයන් ස්වාධීනත්වයට තර්ජනයක් වන විදියට මේවා සංශෝධනයන් ගෙන ආ විට දූෂණ කතා කිරීමට ප්‍රශ්නයක් වෙනවා.