ජගත් පේ‍්‍රමචන්ද්‍ර

98 වැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේ වේගවත් ම ක‍්‍රීඩිකාව වූයේ අමාෂා ද සිල්වා ය. ඇය මීටර් 100 ඉසව්ව මෙවර තත්පර 11.55කින් අවසන් කරන්නේ 2006 වසරෙන් පසුව මෙරට ක‍්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලය ද වාර්තා කරමිනි. මේ ඇය සමග රාවය කළ සාකච්ඡාවකි.

මෙතෙක් මීටර් 100 කාන්තා ඉසව්වේ හොඳම කාලය වාර්තා කළ සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා සහ රුමේෂිකා රත්නායක යන ක‍්‍රීඩිකාවන් අතරට පිවිසෙන්නට ඔබ සමත් වුණා?

ඇත්තට ම ඒ අය අතරට මගේ නමත් එක්වීම ගැන ගොඩාක් සතුටු වෙනවා. මේ ජයග‍්‍රහණයත් සමග ලංකාවට එයාල ලබා දුන් ගෞරවය වගේ ම මටත් දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණා. ඉදිරියේ දී ඒ වෙනුවෙන් කැප වෙනවා.

මේ වෙනුවෙන් වන විශේෂිත වු ඉලක්ක තිබෙනවාද?

බොහෝ දේවල් සකස් කෙරෙන්නේ කාලයත් සමග. අනාගතයම ඉලක්කයක්. මොකද කොරෝනා තත්ත්වය නිසා බොහෝ දේවල් අඩාල වෙලා තියෙන්නේ. නමුත් එහෙම වුණා කියල අපිට නිකං ඉන්න බැහැ. ශරීර යෝග්‍යතාව රඳවා ගත යුතුයි. ඒ වෙනුවෙන් නිරන්තර පුහුණුවීම්වල යෙදෙන්න ඕන. ඒ නිසා ලැබෙන හැම අවස්ථාවක ම පුහුණුවීම් කටයුතු කරනවා. මම වගේ ම මගේ පුහුණුකරු සංජීව විරක්කොඩි සර් මේ වෙනුවෙන් විශාල ලෙස සහයෝගය දක්වනවා.

පුහුණුවීම් කටයුතු වෙනුවෙන් ලැබෙන පහසුකම් මොනවද?

වැඩි හරියක් පුහුණුවීම් කරන්නේ බෝගම්බර. හැමදාම එනවා යනවා. ගෙදර ඉඳල පැය එකහමාරක විතර ගමනක් යන්න තියෙනවා. ඊට පස්සේ තවත් පැය දෙකක විතර කාලයක් පුහුණු කාලයක්. නැවතත් පැය එකහමාරක විතර ගමනක්. ගොඩාක් වෙහෙසකර කාර්යයක්. ඒත් එහෙම වුණා කියල ඒව නොකර ඉන්න බැහැ. ක‍්‍රීඩාංගණයේ තියෙන්නෙත් අවම පහසුකම්. ආබාධවලට ලක්වෙන අවස්ථාවන් වැඩියි. ඒවත් මඟ හැරගෙන පුහුණුවීම් කරන්න ඕන. මොනව වුණත් ලැබෙන විදිහට පුහුණුවීම් කටයුතු කරනවා.

කොරෝනා තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පුහුණුවීම් සැකසෙන්නේ කෙසේද?

කොරෝනා ආවා කියල නිකං ඉන්න බැහැනේ. පුළුවන් සෑම අවස්ථාවක ම පුහුණුවීම් කළා. ගොඩාක් වෙලාවට පුහුණුවීම් කළේ පාරේ. ඒක මට විතරක් නෙමේ, හැම කෙනෙක් ම මුහුණ දුන් අපහසු කාලයක්. ඒත් ඒ අපහසුතා මැද වුණත් අපි පුහුණුවීම් කටයුතුවල යෙදුණා. වීරක්කොඩි සර් මේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. අඩු-පාඩු මොනදේ තිබුණත් නිතර ම අපිව පුහුණුවීම්වල යෙදෙව්වා. මේ ජයග‍්‍රහණය වුණත් ලබා ගන්න පුළුවන් වුණේ ඒ නිසයි.

ඔබගේ පාසල් කාලයේ මතකය?

මම පාසල් ගියේ මහනුවර ස්වරණමාලි බාලිකාවට. පුංචි දවස්වල මලල ක‍්‍රීඩාව ගැන එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ තරමට මගේ දක්ෂතාවක් තිබුණෙත් නැහැ. අනෙක් අය කරනවට මමත් පාසල් නිවාසාන්තර තරගවලදී දිව්වා. ඒත් මුල් කාලයේ දුවපු තරග එකකවත් ජයග‍්‍රහණයක් ලැබුවෙ නැහැ. ඔය අතර මට අම්මගෙ පරණ ෆොටෝ ඇල්බම් එකක් දකින්න ලැබුණා. ඒකෙ අම්ම ධාවන තරගවලට සහභාගි වුණ පින්තූර තිබුණා. ඒව දකිද්දි මටත් අම්ම වගේ තරගවලට සහභාගි වෙලා ජයග‍්‍රහණය කරන්න ඕන කියන හැඟීමක් ඇති වුණා. එතකොට මම 7 පන්තියේ විතර ඇති. ඊටත් පස්සේ අවුරුදු දෙක තුනකට පස්සේ තමයි මම ජයග‍්‍රහණයක් ලබන්නේ.

ඔබේ පළමු ජාතික පදක්කම?

මම මුලින් ම පුහුණු වුණේ සනත් සර් යටතේ. අවුරුද්දකට විතර පස්සේ සංජිව විරක්කොඩි සර් ළඟට ගියා. සර් ළඟ අවුරුදු 2ක් විතර ගත වුණත් කිසිම පදක්කමක් ලබා ගත්තෙ නැහැ. සහතික කිහිපයක් නම් හම්බ වුණා. ඒක මට මදි. මතක් වෙන්නේ අම්මගේ දක්ෂතා. ඔය අතර මීටර් 400 කඩුලූ පැනීමේ ඉසව්වත් කරනවා. ඒකෙන් තමයි මම මුල්ම ජාතික පදක්කම දිනා ගන්නේ. ඒ ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්. ඊට පස්සේ අවුරුද්දේ සමස්ත ලංකා පළමුවැනියා වෙමින් රන් පදක්කම දිනා ගත්තා.

කඩුලූ පැනීමෙන් ආරම්භ වූ ඔබේ මලල ක‍්‍රීඩා පදක්කම් දිවියේ ඔබ අද ශ‍්‍රී ලංකාවේ වේගවත් ම ක‍්‍රීඩිකාව බවට පත් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද?

මුලින් මගේ ප‍්‍රධාන ඉසව්ව මීටර් 400 සහ මීටර් 400 කඩුලූ පැනීම. ඉඳල හිටල මීටර් 100, 200 සහාය දිවීමේ ඉසව්වලටත් සහභාගි වුණා. ඔය අතර 2017 දි බියගම තිබුණ සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ දි මම මීටර් 400න් ඩිස්කොලිෆයිඞ් වුණා. පහුවදා මීටර් 100 මූලික තරග තිබුණා. මීටර් 400ත් දුවන්න බැරි වුණ එකේ වීරක්කොඩි සර් කිව්වා මීටර් 100 කරන්න කියලා. ප්ලේස් කළා. අවුරුදු 19 දී මීටර් 100 තත්පර 12.3කට විතර දිවුවා. එතැනින් පස්සෙ දිගට ම මීටර් 100 කළා.

ඔබේ ජාත්‍යන්තර තරග ඉසව් නිමා වෙන්නේ කෙසේද?

මම විදෙස් තරගයකට මුලින් ම සහභාගි වුණේ 2018 ජපානයේ දී පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියට. ඒකෙදි මීටර් 100 සහ 200 ඉසව්වල රිදී පදක්කම් දිනා ගන්නවා. ඒ වගේ ම මීටර් 400 ලෝකඩ පදක්කම දිනා ගන්නවා. ඊට පස්සේ මම ඒ අවුරුද්දේ ම ශ‍්‍රී ලංකාවේ දී පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 100, 200 තනි ඉසව්වේත් මීටර් 100 සහ 400 සහාය දිවීමේ ඉසව්වලත් රන් පදක්කම් හතරක් දිනා ගන්නවා. මම හිතන්නේ එතැනින් පස්සේ තමයි මම කා අතරත් ජනප‍්‍රිය වෙන්නේ.

ඔබේ අනාගත බලාපොරොත්තුව?

මම දැනට ලෝකයේ මේ ඉසව්වේ 24 වැනියට වගේ ඉන්නවා. කාලය ටිකෙන් ටික අඩු කර ගන්න උත්සාහ කරන්නේ. ආපු ගමන යන්න ඕන කියල තමයි සර් කියන්නේ. මටත් වඩා මගේ ඉසව්වේ ලොකු ටාගට් තියෙන්නේ සර්ට. සර් කියන්නේ ඒ ටාගට්වලට යන්න ඕන කියලා. මේ අවුරුද්දේ මැයි මාසේ චීනයේ දී ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලිය තියෙනවා. ඒක තමයි මගේ මුල්ම ටාගට් එක. පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සහ ලෝක මලල ක‍්‍රීඩා තරගාවලිය තියෙනවා. ඒවට හොඳින් මුහුණු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ 2022 ඔලිම්පික් උළෙල තරගාවලිය සඳහා වරම් ලබා ගැනීම තමයි අවසන් බලාපොරොත්තුව. සර්ගෙ උත්සාහයත් ඒක. අපි ඒ ගමන යනවා. කවද හරි දවසක ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේන්න තමයි අවසන් උත්සාහය.