විමලනාත් වීරරත්න

කැරලිකාරීත්වයත්, ලිංගිකත්වයත් එකිනෙක සමාන්තර කර බැලිය හැකිය. කැරලිකාරිත්වයට උත්තේජනය ඇති සමයේ ගහන කැරලිවල අඩුපාඩු තිබේ. දේශපාලනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා පරිණත වූ සමයක කැරලි ගැසිය නොහැකිය. එවිට මනස ඒ මගෙහි නොදිවෙන අතර කැරලිකාරීත්වයේ සක‍්‍රීය භාවයට අවශ්‍ය ශාරීරික පරිපූර්ණත්වයද හීනය. ලිංගිකත්වයේ අත්දැකීමද බොහෝ දුරට ඒ හා සමානය.

71 කැරැල්ලට අපේ‍්‍රල් 05 වැනිදාට වසර පනහක් සපිරෙයි. එවකදී කැරැුල්ලට එල්ල වුණු එක් විවේචනයක් වූයේ එය ළදරු වලිප්පුවක් යන්නය. එම මැදිහත්වීම අපරිණතය යන්න ඉන් විශද වෙයි. කොමියුනිස්ට් පක්ෂයෙන් ඒ ගැන C.I.A. කෙමනක් වැනි හැඳින්වීම් කැරුණේ හුදු අවලාද නැගීම් වශයෙනි. 71 කැරැල්ල යනු රටේ පීඩිත තරුණ පිරිසක් ගත් අවංක වෑයමකි. ඊට පරිණත නැතැයි යන විවේචනය ද සාධාරණය. ඊළඟ ප‍්‍රශ්නය වන්නේ පරිණත වී කැරලි ගැසිය හැකිද යන්නය. එම කැරැුල්ලට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණට දැන් වයස අවුරුදු 56කි. දේශපාලනිකව පරිණත වී කැරලි ගසනවා නම් ඔවුන් කැරැල්ල ගැසිය යුතුව තිබුණේ 2010දී විතරය. 1917 වන විට වී.අයි. ලෙනින්ට වයස අවුරුදු 47කි. ඒ අනුව ඔහු දැනුමෙන්, දරා ගැනීමේ ශක්තිය අතින් හා ජීවිත අත්දැකීම්වලින් ඉහළ මට්ටමකට පත්ව සිට ඇතැයි කිව හැකිය. කියුබානු විප්ලවය සිදුකරන විට කැස්ත්‍රෝගේ වයස අවුරුදු 28කි. කැරැුල්ලක පිළිගැනීම ඇත්තේ පක්ෂයේ හෝ නායකයාගේ වයස, පරිණත බව මත නොව ජය හෝ පරාජය අනුවය. පිදෙල් එදා පැරදුණා නම් ඔහු වැඬේ දෙල් කරගත් කොලූ ගැටයකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත. නිල පිළිගැනීම ලැබෙන්නේ ජයග‍්‍රහණයෙන් පසුවය. විජේවීර වුවත් දිනුවා නම් එම පිළිගැනීම ලබන නායකයකු වනු ඇත. දැන් ඔහු ඉතිහාසයට එක්වූ කැරලිකාරයෙක් පමණි. නරෝද්නික්වාදියකු ලෙස හැඳින්වෙන ලෙනින්ගේ අයියා කෙනකු වේලාසන කැරලිකාරී ක‍්‍රියාවකට අවතීර්ණව මැරුම් කෑවේය. රාවුල් අයියා අනුයමින් ගොස් ජනාධිපති වූයේය. සියල්ල තීරණය වී තිබෙන්නේ ජයග‍්‍රහණය මතය.

විජේවීරට 71 කැරැල්ල ජයගැනීමට හැකිවූවා නම් කුමක් සිදුවනු ඇත්ද? ඔවුන් අදහස් කළ ලෝකය එනම් සාධාරණ සමාජය 2015දී සෝභිත හාමුදුරුවෝ සේ අනාගතයේදී කරු ජයසූරියලාත් හදන තුරු බලා සිටීමට අපට සිදු නොවනු ඇත්ද? විජේවීරටත් හොඳ කණ්ඩායමක් සිටියේය. අති දක්ෂ වැඩි දෙනෙක් 71දී මරු වැලඳ ගත්හ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ කැරලිකරුවන් අතරින් මතුවුණු ඉහළම බුද්ධිමතා ලෙස අදත් සැලකෙයි. ඔහු පසුව දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වුවත්, පරිණත අවධියේ කැරලි නොගැසුවේය. විරාජ් ප‍්‍රනාන්දු සහ ලයනල් බෝපගේ කැරලිකරී මග ඉක්මනින් වෙනස් කළ ඊළඟට සිටි දීප්තිමත් පුද්ගලයෝ වෙති. වික්ටර් අයිවන් සහ සුනන්ද දේශප‍්‍රිය කැරලිකරුවන් අතරින් බිහිවුණු කැපී පෙනෙන ජනමාධ්‍යවේදීහු වෙති. පසුකලෙක තමන් දායකත්වය දුන් කැරැුල්ල දැඩිව විවේචනය කිරීමටත්, ඇතැම් සිදුවීම් සදය උපහාසයට ලක් කිරීමත් ඔවුහු කළහ. එසේ වන්නට ඇත්තේ කැරලිකාර සමයේ තමන් කළ වැඩ අපරිණත බව වියපත් වූ කාලයේ දැනුණු නිසා විය හැකිය. අගමැතිනිය අත්අඩංගුවට ගැනීමට ගිය පිරිසට චිත‍්‍රපටයක් බලා අනතුරුව පසුබැස යාමට සිදුවීම හාස්‍යජනක සිදුවීමකට හොඳම උදාහරණයකි. කැරැුල්ලට අදාළව තවත් එවැනි සිදුවීම් අප ඕනෑතරම් අසා ඇත. ”ජේවීපී අප්පුහාමි මළා ආදාහනය අපේ‍්‍රල් පහ” යනුවෙන් ලැබුණු බව කියන පණිවුඩයේ පටන්ම මේ වගකීම් විරහිත ලක්ෂණය ඇත. ඊට අපට නිර්දය විවේචන එල්ල කිරීමද කළ නොහැකිය. එම අවස්ථාවේ හැටියට පහසුකම්වල හැටියට කටයුතු සිදු කැරුණු විදියය. කැරැුල්ල ජයගත්තා නම් තම ආණ්ඩුවක් යටතේ රට පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැලැස්මක් ජවිපෙ නායකයාට තිබුණා යැයි කිව නොහැකිය. එය එක්තරා හිතුමතේ පාලනයක් වීමට ඉඩ තිබුණි. මන්ද න්‍යායානුකූලවම දේවල් සිදු නොවන බැවිනි. එහෙත් 71 කැරලිකරුවන් අතර ඉතා වගකීමෙන් කටයුතු කළ පුද්ගලයන් සිටි බවට පසුකාලීනව දැනගැනීමට ලැබුණි. ප‍්‍රසිද්ධ ප‍්‍රාදේශීය කැරලි නායකයකු වූ තුල්හිරියේ ආරි එවැනි අයකු ලෙස කැරලිකරුවන් වැඩිහිටි වූ පසුත් ඔවුන්ගේ ගෞරවයට පාත‍්‍ර වූවෙකි. ලොකු අතුල සහ පොඩි අතුල යන දෙදෙනාම අරගල ක‍්‍රියාවලිය තුළ අති දක්ෂයෝ වූහ. පියසිරි කුලරත්න, ඌ මහත්තයා වැනි අය තම තමන් භාර ගත් කටයුතුවල සුවිශේෂී වූහ. නන්දන මාරසිංහ යනු විප්ලවීය ජීව ගුණය උතුරා ගිය කැරලිකරුවෙකි. මේ සියල්ලන් මුලදී සන්නද්ධ අරගලය පිළිබඳව පූර්ණ විශ්වාසය තබා ක‍්‍රියා කළ අතර පසුව ඔවුහු මුළුමනින්ම අරගල ක‍්‍රියාමාර්ග පිළිකෙව් කරන්නන් බවට පරිවර්තනය වූහ. එය ඔවුන් විනිශ්චය කිරීමට පාදක කරගත හැකි වැදගත් ලක්ෂණයක්ද වෙයි. ප‍්‍රශ්නය වන්නේ සන්නද්ධ අරගලය මගින් බලය ලැබුණා නම් ඔවුන් ආයුධ කෙරෙහිම විශ්වාසය තබා ක‍්‍රියා කිරීමට පටන් ගනීවිද යන සංශයය. පරාජය වූ නිසා අවිය දේශපාලනයේදී ජයග‍්‍රාහී උපකරණයක් නොවන බව ඔවුන් සිතන්නට ඇත. මෙම සටහන ලියමින් සිටින අතරතුරදී මහැදුරු ජයදේව උයන්ගොඩට දුරකතන ඇමතුමක් ලබාදී මම ඒ ප‍්‍රශ්නය විමසුවෙමි. ඔහු පළමුව සිනාසුණේය. දෙවනුව කීවේ එය වැදගත් ප‍්‍රශ්නයක් බවය. අනතුරුව කීවේ දිනුවත් එම ආයුධ අභ්‍යාසය දිගටම කළ නොහැකි බව සහ එහි අසාර්ථක බව තමන්ට තේරුම් යා හැකිව තිබුණු බවය. ප‍්‍රංශ විප්ලවයේ සිට රුසියානු විප්ලවය දක්වාම සහභාගි වූ පිරිස් එම අත්දැකීමට මුහුණ දුන් බව කී හෙතෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩා ශ්‍රේෂ්ඨ ක‍්‍රමය බවද කීවේය. පාලන විධික‍්‍රමය නරක නම් අඩුම තරමින් වසර පහකින්වත් නරක පාලකයා ජනතාවට ඉවත් කළ හැකි ක‍්‍රමය ඉතා වැදගත් බව තමා ඇතුළු කැරැල්ලේ බොහෝ දෙනෙක් තේරුම් ගත් බවද උයන්ගොඩ මහතා වැඩිදුරටත් කීවේය. එහෙත් බරපතළම ප‍්‍රශ්නය වන්නේ 71 කැරැුල්ල ජයග‍්‍රහණය කර යම් කලකින් උයන්ගොඩ මහතා එම සන්නද්ධ ක‍්‍රියාවලිය පිළිකෙව් කර ඉන් විතැන්වීමට පියවර ගත්තා නම් කැරැල්ලට අඩසියවසක් පිරීම නිමිත්තෙන් ලියවෙන මෙම සටහන වෙනුවෙන් මට ඉහත අදහස දැනගැනීමට උයන්ගොඩ කෙනකු විජේවීර විසින් ඉතුරු නොකිරීමය. එසේ වූවා නම් බුකාරින්, කමනෙව්, සිනොවියෙව් ගිය පාරේ ඉහත කී අපේ හිතවතුන්ටද යාමට සිදුවනු ඇත.

කැරලි දෙකකට නායකත්වය දුන් විජේවීර මහතා සන්නද්ධ ක‍්‍රියාවලියක නිරර්ථක හා විනාශකාරී බව දෙවැනි අවස්ථාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු තේරුම් ගත් බව පෙනුණේ සන්නද්ධ අරගලය දෙවරක්ම පරාජය වූ නිසාද යන ප‍්‍රශ්නයත් මෙහිදී පැන නැගේ. විජේවීර පළමුවර දිනුවා නම් ස්ටාලින් මාවතේත් දෙවැනි වාරයේ දිනුවා නම් පොල්පොට් මාවතේත් බොහෝ දුරට යාමට ඉඩ තිබුණි. කැරලි දෙකෙහි අනන්‍ය ලක්ෂණ ඒ අනුසාරී වේ යැයි උපකල්පනය කළ හැකිය. ප‍්‍රතිවිප්ලවය නියතයක් නිසා ආයුධ කෙරෙහි වැඩි වැඩියෙන් විශ්වාසය තැබීමටද සිදුවෙයි. පරාජය වූ නිසා විජේවීර තම සගයන්ට සන්නද්ධ ක‍්‍රියාවලියෙන් විතැන් වන ලෙස ආයාචනා කළා විය හැකිය. මෙම කාරණය 71 කැරැල්ලට සූදානම් වන සමයේම තේරුම් ගත් කෙනෙක් ජවිපෙට සිටියේය. හේ නන්දන මාරසිංහය. සන්නද්ධ අරගලය තුළම සංස්කෘතික විප්ලවයත් දියත් කිරීමට හෙතෙම වෙහෙස දැරුවේය. එහෙත් පක්ෂය තුළ අතිධාවනකාරීහු එය වැරදි ලෙස තේරුම් ගත්හ. නන්දන අදහස් කළ පරිදි කැරැල්ල සංස්කෘතික මානයකින් සමබර කර ගැනීමට හැකි වූවා නම් ඇතැම් විටෙක අවස්ථා දෙකකදී සිදුවූ විනාශය අවම කරගැනීමට හෝ තිබුණි. පළමු පරාජයෙන් ම ඒ බව තේරුම් ගත් වික්ටර් අයිවන් මහතා ශූර ලේඛකයකු ලෙස ඉදිරියට ආවේය. ඔහුගේ වැදගත් කෘතියක් වන අඳ ගොවිතැනේ අභියෝගය ලියන්නේ සිරගතව සිටිනත’ර රටෙහි හතර දිග් භාගයේ ගොවීන්ට ලියුම් යවමින් ඔවුන්ගෙන් තොරතුරු රැස් කරමිනි. ඒවා මහත් ධෛර්යය සම්පන්න මැදිහත්වීම් ලෙස අනාගත සමාජයේ ගෞරවයට පාත‍්‍රවනු ඇත. එවැනි පුද්ගලික දක්ෂතා තිබුණු අයට කැරැල්ල ජීවිත කාලය පුරාවටම එකම මැජික් එක වූයේ නැත. ඇතැම්හු ඉහළටම ඉගෙන ගත්හ. තවත් සමහරු නිර්මාණ කටයුතුවලට යොමුවූහ. නයනානන්ද විජේකුලතිලක පරිසමාප්ත චිත‍්‍ර හා මූර්ති ශිල්පියකු වූයේය. ඒ කිසිවක් නොකළ සමහරු වයස හැත්තෑ ගණනක් වී මැරෙන තුරුම 71දී කළ දේවල් ගැන පම්පෝරි ගසමින් සිටියහ.

කැරැුල්ලෙන් වටිනා ජීවිත අහිමි විය. ඔවුන්ට ජීවිත බේරාගෙන ඵලදායක කාර්යයක නියැළීමට අවස්ථාව ලැබුණා නම් තව තවත් උයන්ගොඩලා බිහිවන්නට තිබුණි. සුජාතා හඳගම කැරලිකරුවන් පසුබසින අවස්ථාවක වෙඩි වැදී මියගිය වෛද්‍ය ශිෂ්‍යාවකි. පසුකලෙක කැරැල්ල ගැනම කියවමින් සිට දිවිය නිමා කළ විශ‍්‍රාමික කැරලිකරුවකුගෙන් ඔහු මියයාමට පෙර මම, සුජාතා ජීවතුන් අතර සිටියා නම් වඩා ඵලදායක නොවේදැයි විමසුවෙමි. ඔහු මට දුන්නේ ”මොනවද ඉතිං ඩොක්ටර් කෙනෙක් වෙලා ඉඳලා මැරිලා යයි” යන ගර්හිත පිළිතුරය. ඔහු වයස 70දීත් කැරලි මානසිකත්වයෙහි ඉඳගෙන දුන් එම පිළිතුර නාස්තිකවාදීය යන්න මගේ අදහසය. 89දී ජවිපෙ අතින් මැරුම් කෑ කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ අහිමිවීමත් සැලකිය යුතු අනාගත සමාජ ක‍්‍රියාධරයකුගේ වියෝවකි. එසේ කීමට සිදුවන්නේ ඒ වනවිටත් ඔහු අවුරුදු 23ක තරුණයකු ලෙසින් ප‍්‍රදර්ශනය කරමින් සිටි දේශපාලන පරිණතභාවය නිසාය. මෙවැනි අහිමිවීම් පිළිබඳ තක්සේරුවක් ජවිපෙට තිබෙනවාද? ජවිපෙට අපේ‍්‍රල් හෝ ඉල් විරුවන් වන්නේ තමන් සමග එක මතයේ සිට මියගිය පුද්ගලයන් පමණය. 71දී මියගොස් අද සමරණ කී දෙනෙක් පසුකාලීනව ජීවත් වූවා නම් ද්‍රෝහීන් ලෙස වර්ග කළ හැකිව තිබුණාද? විසංවාදී මිනිසා සැමරිය යුතු වීරයකු නොවන්නේ ඇයි? මිනිසුන්ගේ මත වෙනස්වීමට පුළුවන. එම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විජේවීර මහතා පක්ෂය තුළ ඉඩ තැබුවේ නැත. විජේවීර එම ඉඩ නොතැබුවේ හතරවැනි ජාත්‍යන්තරය සී සී කඩ ගිය නියාව අවබෝධ කරගෙන විය හැකිය. එහෙත් තුන්වැනි ජාත්‍යන්තරයේ මළගමට හේතුවූයේත් අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිකම බව වත්මන් ජවිපෙ හෝ අවබෝධ කරගැනීම වැදගත්ය.

සැබැවින්ම වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ගෙන තිබෙන මග නිවැරදිද? ඔව් සහ නැහැ යනුවෙන් ඊට පිළිතුරු දෙකක් ලබාදිය හැකිය. ඔව් යන්නෙන් හැඟවෙන්නේ සන්නද්ධ අරගලය නමැති යල්පිනූ අදහස පරාජය කර ඔවුන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට ගමන් අරඹා සිිටින නිසාය. නැහැ යනුවෙන් කීමට සිදුවන්නේ එසේ නැඹුරු වූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දියුණු අරුතක් නොදී එකතැන පල් කරමින් සිටින නිසාය. මෙහි කෙළවර තවත් කොමියුනිස්ට් හෝ සමසමාජ පක්ෂයක්ද? තරුණ ආකර්ෂණය අවම වී තිබීම ජවිපෙ පැත්තෙන් බරපතළ ප‍්‍රශ්නයකි. ජවිපෙට ආකර්ෂණය වූ අවසාන තරුණයාගේ වයස කීයද? ඔහුට අවුරුදු 50ක් නම් ජවිපෙ ශීඝ‍්‍රයෙන් මහල්ලන්ගේ පක්ෂයක් බවට පත්වනු ඇත. ඒ තත්ත්වයෙන් ඔවුන් මිදිය යුතුය.

ජවිපෙ 71දී ලංකාවේ සමාජය සම්බන්ධයෙන් නිර්භීත පියවරක් තැබූ පක්ෂයකි. කැරැල්ලට දායක තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ග‍්‍රාමීය දුප්පතුන් වූහ. විජේවීර පවා වරප‍්‍රසාද දිවියක් පෙනි පෙනී තිබියදී දුෂ්කර මාවතක් තෝරා ගත් අපූරු මිනිසෙකි. ඔහුගේ ළඟම අනුගාමිකයනුත් එවැනිය. ඔවුහු දැවෙන සමාජ අර්බුද උදෙසා ජීවිත කැප කළහ. ඒ තරුණ කැපවීමට අගෞරවයක් නොකළ යුතුය. ඊට විවේචනයක්ද අවශ්‍යය. අනාගතයට කවුළුවක් ඇරෙන්නේ ඒ ඔස්සේය. වර්තමානය යනු දැනුම් අවකාශයකි. අද රටට අවශ්‍ය දැනුම් විප්ලවයකි. සමාජ වෙනසකට අවශ්‍ය අවංකකම හා කැපවීම ජවිපෙ තුළ ඉහළින්ම තිබේ. එම සහතිකය වෙනත් පක්ෂවලට ලබාදිය නොහැකිය. අන් අයට නැති එම සුවිශේෂය ජවිපෙ ඉස්මත්තට ගත යුතුය.

ඡුන්දයක් දිනීමට ජවිපෙ තව පරිණත විය යුතු යැයි ඇතැම්හු කියති. ඔවුන්ගෙන් ඇසිය යුත්තේ ජනතාව ඡුන්ද දෙන්නේ පරිණත පක්ෂවලටද යන්නය. ලංකාවේ ඡුන්ද ගැනීමට වෙන වෙන සූත්තර තිබේ. දේශපාලන පක්ෂ විටින් විට ඒ වැඬේට ගැලපෙන සූත්තර පුංචලා යොදවනු පෙනේ. ජවිපෙ යත්න දැරිය යුත්තේ එම සූත්තර යාන්ත‍්‍රණය වෙනස් කරන පක්ෂයක් බවට පත්වීමටය. අවුරුදු 50ක අතීතයක් ස්මරණය කිරීමට ඔවුන් ඊට අනාගතවාදී සාධාරණ අර්ථයක් දිය යුතුව ඇත.

මෙම ලිපියේදී ඉහත නම් සඳහන් කළ උගතුන් හා ලේඛකයන් පසු අවදියකදී කැරැල්ලට ප‍්‍රතිපක්ෂ වේදිකාවක් මත කැරැුල්ල මගින් තෘප්ත කිරීමට සිටි වැදගත් මානයන් කිහිපයක්ම පෙන්වා දුන්නේය. ඒ ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශයක් තුළය. එය අනෙකා පරීක්ෂාවට ලක් කරන අතර තමන්ද පරීක්ෂාවට ලක්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයකට පාර කපා ගත හැකි අභ්‍යාසයකි. ප‍්‍රශ්නය වන්නේ ජවිපෙ සහ මෙම උගතුන්, ලේඛකයන් අතර ළං කළ නොහැකි මට්ටමේ විසංවාදයක් පනස් වසරක් තිස්සේම පැවතීමය. එය මතවාදී විසංවාදයක්ද? නැතහොත් එකිනෙකා දිරවන්නේ නැති මානසික ඌණිත විසංවාදයක්ද? පුද්ගලයන් සමීප විය යුතු නැතත්, එම උගතුන් ලේඛකයන් ඉදිරිපත් කළ ප‍්‍රජාතන්ත‍්‍රීය ලෝකයක් උදෙසා වන මතවාද මග සබුද්ධික ගනුදෙනුවකට යෑමේ ඉහළ වැදගත්කමක් තිබේ. නූතන ජවිපෙ වෙනදාට වඩා වගකීමෙන් යුතුව මේ ගැනත් කල්පනා කර බැලිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here