කුසල්

රජ්ගම බූස්සේ උපන් විජෙමුනි විජිත රෝහණ ද සිල්වාගේ වීර කතාව ආරම්භ වූයේ 1987 ජූලි මස 29 වන දින ය. ඔහු එදින සිට ටික කලක් යන තෙක් සිංහල බෞද්ධ සමාජයේ අති ජනප්‍රිය වීරයකු විය. කොළඹ ජනාධිපති මන්දිර භූමියේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සඳහා පැවති නාවික හමුදා ගෞරවාචාරයේදී රාජ්‍ය අමුත්තා වශයෙන් අගමැති රජිව් ගාන්ධි මුදල් ඇමති රොනී ද මැල් සමග ගෞරවාචාරය පිළිගනිමින් ගමන් කරද්දී, විජිත රෝහණ ඔහු අත තිබූ ලී-එන්ෆීල්ඞ් රයිෆලයෙන් රාජිව් ගාන්ධිගේ බෙල්ල පිටුපස එල්ල කර දුන් පහර ගාන්ධි වළක්වා ගත්තෙන් එය මාරාන්තික පහරක් නොවුණි.

වහා අත්අඩංගුවට ගනු ලැබූ විජිත රෝහණට විරුද්ධව නඩු පවරනු ලැබූයේ හමුදා අධිකරණයක් හමුවේය. ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජේසිංහ සමග සුසිල් ප්‍රේම්ජයන්ත හා ඩොනල්ඞ් හේවාගමය. මිනීමැරීමට තැත් කිරීම හා රාජ්‍ය අමුත්තෙකුවූ ඉන්දීය අගමැතිට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරුවකු ලෙස සය වසරක සිරදඬුවමකට යටත් කෙරිණ. ඔහුගේ සිරදඬුවමෙන් වසර දෙකහමාරක් ගෙවා සිටි විජිත රෝහණට ඒ වනවිට ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස විසින් විශේෂ ජනාධිපති සමාවක් දෙනු ලැබිණ.

රජිව් ගාන්ධිට එදින පහරදීම සම්බන්ධ වන්නේ “ඉන්දු-ලංකා ගිවිසුම” සමගින්ය. එය ජනාධිපති ජයවර්ධන ආණ්ඩුවෙහි බරපතළ මත භේදයන්ට හේතු වූවකි. ගිවිසුමෙහි අවසාන කෙටුම්පත සකස් කිරීම තෙක් ඉන්දියානු මහ කොමසාරිස් ජේ.එන් දික්සිත් සමග සෘජු සාකච්ඡා පැවැත් වූ ජයවර්ධන ජනාධිපතිට හවුල් වූයේ ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ ඒ.සී.එස් හමීඞ් යන ඇමතිවරුන් ය. ඉන්දු-ලංකා ගිවිසුමෙහි අවසාන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූයේ ජූලි 15 වන දිනය. එහිදී ලලිත් ඇතුලත්මුදලි, ගාමණි ජයසූරිය, ආනන්ද තිස්සද අල්විස්, රංජිත් අතපත්තු, එම්.එච් මොහොමඞ් සහ එම්.එස් අමරසිරි ඊට දැඩිව විරුද්ධ වූහ. අගමැති ප්‍රේමදාස ලංකාවේ නොවීය.

ඉන්පසු දින කිහිපයේත් දික්සිත් හරහා ඉන්දියාව සමග කඹ ඇදිලි තිබිණ. ජයවර්ධන ජනාධිපති ඔහුට අවශ්‍ය පරිදි කෙටුම්පත සංශෝධනය කර ගැනීමට විවිධ පුද්ගලයින් යොදා ගත්තේය. ශ්‍රී ලංකා හමුදා සහ විශේෂ කාර්ය බලකාය ආරක්ෂක කටයුතු වලින් ඉවත්කර තැබීමට හමුදාපති ජෙනරල් සිරිල් රණතුංග සහ තම පුත් රවි ජයවර්ධන දැඩිව විරුද්ධ බවත් එබැවින් ඔවුන් සමග කතා කරන ලෙසත් ජනාධිපති ජයවර්ධන දික්සිත්ට දැන්වීය. තවත් වරෙක වෝඞ් පෙදෙසේ ඔහුගේ පෞද්ගලික නිවසට දික්සිත්ව කැඳවූ ජයවර්ධන ජනාධිපති ඔහුගේ බිරිඳ එලීනාට ප්‍රශ්න දෙකක් ඇතැයිද ඒවාට උත්තර දුන් පසු ඉතිරි කාරණා සාකච්ඡා කළ හැකි යැයිද දික්සිත්ට පවසා තිබිණ. ජයවර්ධන ආර්යාවගේ ප්‍රශ්න වූයේ (1) ජනාධිපති කෙටුම්පතට එකඟ වුවහොත් එය අත්සන් කිරීමට අගමැති රාජිව් ගාන්ධි කොළඹට පැමිණීමට එකඟද? සහ (2) ජනාධිපතිට බරපතළ විරෝධතාවන්ට මුහුණ දෙන්නට සිදු වුවහොත් සහ ඒ හේතුවෙන් ඔහුගේ ආණ්ඩුව පෙරළීමේ අවදානමක් ඇති වුවහොත් අගමැති රජිව් ගාන්ධි ඔහුගේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් සහ ජනාධිපති වෙනුවෙන් ආරක්ෂාව ලබා දෙන්නේද? යන ප්‍රශ්න දෙකය. ඉතා දක්ෂ සහ අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ දික්සිත් ඒ සඳහා ලබා දුන් පිළිතුරු සමග එතැන් සිට ජනාධිපති ජයවර්ධන සමග නිල සාකච්ඡාව ආරම්භ විය.

මේ සියලු කඹ ඇදිලි, නුරුස්නාවන්, සියලු විරෝධතාවන් සහ නූල් සූත්තර වලට හේතු වූ ඉතා සංකීර්ණ දේශපාලන පසුබිමක් තිබිණ. එකක් හා ප්‍රධාන සාධකයක් වූයේ නිදහසින් පසු ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක්, කිසිදු සිංහල දේශපාලන නායකත්වයක් දෙමළ ජනතාවගේ සමාජීය, දේශපාලන හා සංස්කෘතික අවශ්‍යතා සහ ඉල්ලීම් වෙනුවෙන් විසඳුම් දීමට අවංකව ඉදිරිපත් නොවීමය. උඩරට දෙමළ ජනතාවගේ පුරවැසි භාවය හා ඡන්ද අයිතිය 1948 දී අහෝසි කළ, සිංහල භාෂාව පමණක් 1956 දී රාජ්‍ය භාෂාව කළ, බණ්ඩාරනායක-චෙල්වනායකම් එකඟතා ගිවිසුම 1957 දී ඒක පාර්ශවීයව අහෝසි කළ, 1958 දෙමළ කෝලාහලයට මග පෑදූ, උතුරේ විශේෂ හමුදා ඒකක 1962 සිට පිහිට වූ, නැවත ඩඞ්ලි-චෙල්වනායකම් ගිවිසුම 1968 දී ඒක පාර්ශවීයව අවසන් කළ, දෙමළ පාර්ලිම්න්තු නියෝජනයකින් තොරව 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කළ, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා භූගෝලීය පදනම යොදා ගැනීමෙන් 1974 සිට දෙමළ සිසුනට සිදු කළ අසාධාරණය, ජයවර්ධන ආණ්ඩුව බලයට පැමිණි පසු 1979 නැවත දෙමළ කෝලාහලයකට ඉඩ තැබීම, දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වීමේදී ආණ්ඩුවේ මැදිහත්වීමෙන් 1982 දී යාපනයේ සංවිධානාත්මක විනාශයක් සමග යාපනය පුස්තකාලය ගිනි තැබීම, ආණ්ඩුවේ දැනුවත් මැදිහත්වීමක් ඇතිව 1983 ජූලි මාසයේ දෙමළ ජනතාවට එරෙහිව දියත් කළ ජන සංහාරය ඒ අශීලාචාර මෘග ඉතිහාසයෙහි සිංහල දේශපාලන නායකයින්ගේ මැදිහත්වීම් විය.

එවැනි ඉතිහාසයක ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ දේශපාලන නායකයින් අසාර්ථක යැයිද, කොළඹ සිංහල නායකයින් සමග සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳාගත නොහැකි යැයිද දෙමළ තරුණ කණ්ඩායම් අතර දේශපාලන සංවාද ඇති විය. ඒවා නිතැතින්ම ඇදී ගියේ ආයුධ සන්නද්ධ අරගලයක් වෙතය. ඒ සඳහා අත්දැකීමක් වූයේ 1971 ජ.වි.පෙ කැරැල්ලය. ‘83 ජූලියෙන් පසු දකුණු ඉන්දියාවට පලා ගිය පවුල් අතරින් සන්නද්ධ දෙමළ කණ්ඩායම් සඳහා දිනා ගත හැකි වූ සැලකිය යුතු තරුණ පිරිස් සිටියහ. ඒ අතර, දකුණු ඉන්දියාවේ දෙමළ දේශපාලනයේ අනුකම්පාව හා පුණ්‍යාධාර ඔවුන්ගේ දේශපාලනයේ අලුත් සාධකයක් බවට පත්විය. තමිල් නාඩු මහ ඇමති සහ දෙමළ සිනමාවේ මහා නළු ලංකාවේ මහනුවර උපන් එම්.ජී රාමචන්ද්‍රන් (එම්.ජී.ආර්) සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රධාන ආධාරකරුවකු විය. දකුණු ආසියානු භූ-දේශපාලනයේ ජයවර්ධන ජනාධිපතිගේ ඇමෙරිකානු ලැදියාව ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධිට ප්‍රශ්නයක් වූයෙන් ඇය මේ තරුණ දෙමළ සන්නද්ධ කණ්ඩායම් සඳහා ආධාර හා පුහුණුවීම් ලබා දීමට 1984 වන විට තීන්දු කෙරුවේ ජයවර්ධන ජනාධිපතිට පාඩම් ඉගැන්වීමට ය.

වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම නීති විරෝධි කරමින් ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රතිඥාදීම 1983 දී ජයවර්ධන ආණ්ඩුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙනු ලැබූ සයවන සංශෝධනයත් වෙනම දෙමළ රාජ්‍යයක් උතුරු-නැගෙනහිර පිහිටුවීම වෙනුවෙන් තරුණ සන්නද්ධ කැරැල්ල ශක්තිමත්වීමත් දිග ඇදුණු යුද්ධයට හේතු වූ කාරණා විය. ඒ වගේම ඉන්දියානු ආණ්ඩුව ලාංකීය ජනවාර්ගික අර්බුදයෙහි ප්‍රධාන සාධකයක් බවටද පත් විය. දෙමළ සන්නද්ධ කණ්ඩායම් හා ලංකාණ්ඩුව අතර විසඳුම් සඳහා සාකච්ඡා වලදී වෙනම රාජ්‍යයකට විකල්ප ලෙස බලය බෙදීම ඉන්දියානු යෝජනාවක් විය. එකඟතාවකට නොපැමිණි රෝමේෂ් බන්දාරිගේ මැදිහත්වීමෙන් 1984 දී තිම්පු නුවර පැවති සාකච්ඡාවේදී දෙමළ නිජ භූමිය පිළිබඳ සංකල්පය සියලු දෙමළ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඒකමතිකව අනුමත කළහ.

ඒ අතර ජයවර්ධන ජනාධිපතිගේ සහ ඇමති මණ්ඩලයේ කිහිප දෙනෙකුගේද එකඟතාව ඇතිව රාජ්‍ය ආරක්ෂක ඇමති ලෙස ලලිත් ඇතුලත්මුදලි 1987 මැයි මාසයේ වඩමාරච්චි මෙහෙයුම දියත් කළේය. එල්ටීටීඊය ඉන් බරපතළ ලෙස අසරණ විය, සාමාන්‍ය දෙමළ ජනයා යාපනය අතහැර අනාථයින් ලෙස වන්නියට පලා ගියහ. එල්ටීටීඊයට තවදුරටත් දෙමළ ජනතාවට ආරක්ෂාව දිය නොහැකි යැයි මතයක් ඇති විය. තම ආරක්ෂාව සඳහා යාපනයේ දෙමළ ජනතාව ඉන්දියානු සහාය පැතූහ. ඒ වනවිට උතුරට යවන භාණ්ඩ බොහෝමයකට සම්බාධක පනවා බරපතළ භාණ්ඩ හිඟයක් නිර්මාණය වී තිබිණ. ඉන්දීය රතු කුරුස සංවිධානය මගින් යාපනය ජනතාවට සහනාධාර එවන්නට ඉන්දියාව තීන්දු කරන්නේ වඩමාරච්චි මෙහෙයුම විසින් ඒ තත්ත්වය වඩාත් බරපතළ වූ පසුබිමකය. සහනාධාර සමග ඉන්දීය ධීවර යාත්‍රා උතුරට එවන බැව් ඩික්සිත් විදේශ ඇමති හමීඞ්ට දැන්වීය. ශ්‍රී ලංකාණ්ඩුව ඊට දැඩිව විරුද්ධ විය. එහෙත් උතුරේ ජනතාව බරපතළ ආහාර හිඟයකින් පෙළෙන්නේ යැයි සහනාධාර සමග ධීවර යාත්‍රා එවීමට ඉන්දීය ආණ්ඩුව පියවර ගත්තේය. ශ්‍රී ලංකා නාවික හමුදාව එම ධීවර යාත්‍රා වලට ශ්‍රී ලාංකීය මුහුදට ඇතුළු වන්නට අවසර නොදුන්නේය. එහි ප්‍රතිඵලය වූයේ ජුනි 04 වන දින සවස එම සහනාධාර ඉන්දීය ගුවන් හමුදා විසින් යාපනයට අත හැරීමය.

ඉන්දු-ලංකා ගිවිසුම 1987 ජූලි මස 29 වන දින අත්සන් කිරීමේ පසුබිම එවැනි අතිශය සංකීර්ණ දේශපාලන අවුල් මැද සිදුවුණකි.

අපේ කාලයේ රාවයට හවුල් වන්නට….


‘80 ජූලි වර්ජනය හෝ ‘83 කළු ජූලිය හෝ ‘87 ඉන්දු-ලංකා ගිවිසුම සම්බන්ධව හෝ ඔබේ කියවීමට අනුව ඔබ ගොතන ගී පද වැල හෝ වචන 750 ට නොවැඩි විවරණය, අප්‍රේල් 30 වන දිනට පෙර, FM අභය අකුරින්
“රාවය”, ‘83, පිළියන්දල පාර, මහරගම යන ලිපිනයට, ලියුම් කවරයේ වම්පස උඩ කෙළවරේ “ගීත රචනා/රචනා” ලෙස සඳහන් කර යොමු කරන්න.


නැතිනම්, විද්‍යුත් තැපෑලෙහි subject සඳහා වන අවකාශයේ “අපේ කාලයේ රාවය” සඳහා යැයි ලියා [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

කර්තෘ මණ්ඩලය