දිනී ජයසේකර


ලංකාවේ මෙතෙක් බිහිවී ඇති සියලු පාලකයන් රටේ මහජනතාවගේ අසරණභාවය පාවිච්චි කරමින් තම බලය පිහිටුවා ගත්තවුන්ය. කිසිවෙක් ජනතාවගේ සැබෑ ගැටළු හඳුනාගත්තේ නැත. හදුනාගත් සාමාන්‍ය පොදු කාරණා සදහාද පැලැස්තර අලවනවා හැර මෙතෙක් නිශ්චිත යැයි සැලකෙන පිළිතුරුද සපයා නැති බව අපට වගකීමෙන් කිව හැකිය.
2019 අප්‍රේල් 21 වනදා සිදුවීම අපට මතකය. එදා ජීවිත බිලි දුන් කිසිවෙකුටත් තවම යුක්තිය ඉටු වී නැත. ඒ වගේම 1988/89 සිදුවූ මරණ සහ අතුරුදන්වීම් වලටත් තවම යුක්තිය ඉටු වී නොමැත. ඔවුන්ගේ ප්‍රේමණීයන් තවමත් මහ පාරේ සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් අරගල කරති. නමුත් පාලකයන් සහ රටේ අනෙකුත් වගකිවයුතු මන්ත්‍රීන් පවා තවමත් හිතූ හිතූ ලෙස මනුෂ්‍යය ජීවිත ඝාතනය කරමින් සිටින්නේය.


චන්ද්‍රිකාගේ කොමිසම්


“මට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති අපේක්ෂක විදියට තරග කරද්දි කදුළු සලමින් සිටි අම්මා කෙනෙකුගේ ඡායා රූපයක් භාවිතා කරමින් “අම්මාවරුන්ට මෙවන් දුකක් අත් නොවීමට” යන තේමාව ඔස්සේ පෝස්ටරයක් නිර්මාණය කරල තමයි ඇය ඇගේ මැතිවරණ ප්‍රචාරණය කරගෙන ගියේ. දරුවො අහිමිවෙච්ච හැම අම්ම කෙනෙක්ම යුක්තිය ඉටු වෙයි කියන බලාපොරොත්තුවෙන් චන්ද්‍රිකා කුමාරතුංගව ජයග්‍රහණය කරන්න උදවු කළා. නමුත් අවසානෙදි ඒ කිසිම දෙයක් වුනේ නැහැ.” 1989 වර්ෂයේ තම සහෝදරයා අහිමි වු ඒ.එම්.රත්නායකගේ බිරිඳ අප සමග එසේ පැවසීය.


1989 දී භීෂණයට මූලිකවම වගකිව යුතු වූ ආණ්ඩුව 1994 දී පරාජය වීමත් සමග චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් බිහි විය. ඉන් පසු අතුරුදන් කරවීම සොයා බැලීම සදහා ජනාධිපති කොමිසම් සභා පත්කෙරුණු අතර විසිහත්දහසකට(27,000) ආසන්න පැමිණිලි විභාග කිරීමෙන් පසු සත්‍ය හෙළිදරුව් කිරීම , යුක්තිය ඉටු කිරීම, වන්දි ලබා දීම සහ නැවත සිදු නොවීම යන ප්‍රධාන කරුණු හතරක් (4) යටතේ නිර්දේශ විසි හයක් (26) ඉදිරිපත් වු නමුත් ඒවායින් ඉටු වූවේ මරණ සහතික නිකුත් කිරීමත්, වන්දි ලබා දීමත් පමණි. අවසානයේ යුක්තිය සහ සත්‍යය පිළිබද එකදු කතාබහක්වත් නොවීය.


“අප යුක්තිය ඉටු වෙයි කියලා හිතාන චන්ද්‍රිකා කුමාරතුංගව ජනාධිපති කළාට අවසානෙදි වුණේ මිනී මැරුම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ තියෙන රෑන්ක් එකට වඩා උසස් රෑන්ක් ලැබුණා. අපිට 1994 අතුරුදන් වුණ අය වෙනුවට ලැබුණේ “අවුරුද්දකට වැඩි කාලයක් දක්නට නොමැති නිසා මිය ගියා සේ සැලකීම” කියලා මරණ සහතිකේ විතරයි. ඊටපස්සෙ අතුරුදන් වීම් පිළිබද සොයා බැලීමට පිහිටවූ ජනාධිපති කොමිසමෙන් වන්දි ලැබුණා. ඒ වන්දි ලැබුනෙත් විවාහක අයට රුපියල් පනස්දහසකුත්(50,000) විවාහ නොවු අයට රුපියල් විසිපන්දහසකුත්(25,000) වයස අවුරුදු පහළොවට වඩා අඩු අය සදහා රුපියල් පහළොස්දහසකුත්(15,000) ලෙසයි. ඒක සමහරු ගත්තා සමහරු ගත්තෙ නැහැ. ඒ කාලෙ හැටියට ඒ මුදලින් හරකෙක්වත් ගන්න බැහැ. ඇත්තම කතාව ඔවුන්ට අපේ ළමයි අපේ සහෝදරයො හරකෙක් තරම්වත් වටින්නෙ නැහැ.” ඒ.එම්.රත්නායකගේ අදහසයි. (ඔහුගේ වැඩිමල් සොහොයුරා අතුරුදන්ව ඇත.)


ඔවුන් තම සහෝදරයන් වෙනුවෙන් පෙනි සිටින්නේ දෙමවුපියන් මරණයට පත්ව ඇති නිසාය. දෙමාපියන් අවසන් හුස්ම තෙක් සටන අත්නොහැරි බව රත්නායක අප සමග පැවසීය. තවද ඔවුන් මරණය වැළද ගන්න ඇත්තේත් ජීවත්ව සිටින අයට වඩා අහිමි වූ සහෝදරයා ගැන සිතමින් බව ඔහු අප සමග පැවසීය.


මිනිස් ජීවිතයකට මිලක් තීරණය කිරීම අපහසු කාරණයක් බව අප කවුරුත් දන්නේය. නමුත් පාලකයන් හරි අපූරුවට බොහෝ ප්‍රාණ සදහා වන්දි තීරණය කරන්නේය. එසේ තීරණය කරන වන්දිද අඩු තක්සේරුවක් සහිත වන්දි බව මහජනතාවට වැටෙහෙන බව පාලකයන් නොදන්නේද එසේත් නැතිනම් නොදන්නවා සේ රඟදක්වනවාද යන්න අපට හරිහැටි අවබෝධයක් නොවීය.


“සමහරුන්ව අපේ ඇස් ඉස්සරහ නිල ආයුධ වලින් නිල නොලත් විදියට මරා දැම්මා. කවදාවත් මිත්‍යාව පස්සෙ නොගිය අය පවා දරුවන්ගෙ ජීවිත වෙනුවෙන් නානාප්‍රකාර ඇදහීම් වලට යොමු වුණා. බැරිම තැන අදෘශ්‍යයමාන බලවේගවල පිහිට පවා පැතුවා.” අතුරුදන්වූවෙකුගේ මවක් එසේ පැවසුවාය.


යහපාලන පොරොන්දු සහ අයවැයේ මිලියන 500


2016 දි බලයේ සිටි යහපාලන ආණ්ඩුව සත්‍යය හෙළිකර, යුක්තිය ඉටුකර, වන්දි ලබාදීම සදහා එකඟතාවයක් පළකර අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලය ස්ථීර කාර්යාලයක් ලෙස විවෘත කර වන්දි ගෙවීම සලකා බැලීමට වන්දි කොමිසමක් පිහිටුවේය. මෙමගින් සිවිල් කලකෝලාහල සහ යුද්ධයේදී පීඩනයට පත් සියල්ලන් පිළිබද සලකා බැලීමට එකඟතාවයක්ද විය. අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවක සදහන් වූ වන්දියක් ලබා දෙන තෙක් වසර දෙකක කාලයක් රුපියල් හයදහස (6000) බැගින් මාසිකව ගෙවීමට කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් කරන ලද විවිධ මැදිහත්වීම් නිසා ඊට ආණ්ඩුවේ එකඟතාවය පළකරමින් 2019 අප්‍රේල් ඉදිරිපත් කළ අයවැයෙන් රුපියල් මිලියන පන්සියයක් වෙන් කළේ “දක්නට නොමැති බවට වූ” මරණ සහතිකය හිමි අයට පමණක් ගෙවීම සඳහාය. නමුත් අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව විසින් එය වෙනස් කරමින් මරණයට හේතුව ලෙස අතුරුදන්වීම යන අර්ථය සහිත මරණ සහතික වලටද මෙම ගෙවීම කරන ලෙස පැවසූහ. පසුව යහපාලන ආණ්ඩුව ඊට එකඟතාවයද පළ කළේය.


“මගේ පුතාට අවුරුදු දහඅටයි අරගෙන යනකොට. 1989 ඔක්තෝබර් 21 කටාන පල්ලියෙ මංගල්ලෙට සරසන්න ගිහින් ඉන්නකොට තමයි අරගෙන ගිහින් තිබුනේ. කිසිම දේශපාලන ක්‍රියාකාරකමකට සම්බන්ධ නොවුන කෙනෙක් එයා. නමුත් අදටත් නැහැ. 2019 අයවැයෙන් මාසිකව හයදාහක් දෙනවයි කීවට අපිටනම් මේ වෙනකන් කීයක්වත් ලැබිලා නැහැ. ” අතුරුදන් පුද්ගලයාගේ මව වූ 85ස් වියැති පැක්ටී්‍රසියා පැවසීය.


අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් යොමුකර ඇති ලිපියක සදහන්ව ඇත්තේ , 2019 දෙසැම්බර් 31 දක්වා මෙම ගෙවීම් පවුල් එකසිය පනස් තුනකට(153) දක්නට නොමැති බවට වූ සහතික හිමි අයට පමණක් රුපියල් මිලියන එකොළහක් ගෙවා ඇති අතර අනෙක් කිසිවෙකුටත් මෙම ගෙවීම ගෙවා නැති බවය. එසේනම් වෙන් කළ මිලියන පන්සියයෙන් ඉතිරි මිලියන හාරසිය අසූ නවයට සිදුවූවේ කුමක්ද යන්න ගැටළුවකි. ඊට වත්මන් රජයෙන්ද පිළිතුර නැත යන්නයි.


කැබිනට් මණ්ඩල තීරණ


සිවිල් නැගිටීම් සහ යුද්ධයේදී අතුරදන් වූ අය වෙනුවෙන් දක්නට නොමැති බවට වූ සහතික (ක්‍ැරඑසසෙජ්එැ දf ්ඉිැබජැ) හිමි පවුල් වලට රුපියල් හයදහස(6000) මාසිකව අතුරු දීමනාවක් ගෙවීමට යහපාලන රජයේ කැබිනට් පත්‍රිකා අංක 19/2401/131/022 දරණ යෝජනාව 2019.09.18 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. එසේම බලහත්කාරයෙන් අතුරුදන්කරවූවන් වෙනුවෙන් මරණ සහතික(ක්‍ැරඑසසෙජ්එැ දf ෘැ්එය) හිමි පවුල් වලටද එම දීමනාව ගෙවීමට ඉදිරිපත් වූ අංක 19/2083/131/122-1 දරණ කැබිනට් පත්‍රිකාව 2019.10.28 දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. නමුත් මරණ සහතික හිමි කිසිවෙකුටත් මේවන තෙක් එම දිමනාව ලැබී නොමැති බව කිව යුතුය. ඉහත දක්වා ඇති අයුරින් පවුල් 153කට පමණක් ගෙවීම් කර ඇති අතර අගතියට පත් අයවලුන් පවසන පරිදි අනෙක් කිසිවෙකුටවත් මෙම ගෙවීම් සිදු කර නොමැත.


අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් අධිකරණ අමාත්‍යංශය සමග ඵධන්‍/ඛ/316/2017 අංකය යටතේ උක්ත මුදල් ගෙවීම් සම්බන්ධව තොරතුරු විමසා සිටියද ඒ සදහා අදාළ ආයතනයෙන් කිසිදු තොරතුරක්ද මෙතෙක් ලැබී නොමැති බව ඔවුන් අප සමග පැවසුවේය.


6000 අයවැයෙන් ගිලිහීම සහ සිරිසේනගේ බිරිඳගේ කතාව


වැල්ලවත්තේ පදිංචි සිරිසේන කොළඹ වික්ටෝරියා බවුස්ටඞ් ආයතනයේ රැකියාවේ යෙදී සිටියදී 1980 වැඩවර්ජනයට සම්බන්ද වීම නිසා රැකියාව අහිමි වූවෙකි. පවුල් නඩත්තුවට ආදායමක් නොමැති නිසා සිරිසේනගේ බිරිඳ මැදපෙරදිග රැකියාවකට පිටත් වූ අතර පවුලේ පුතුන් දෙදෙනා නිවසේ රැදී බලාගැනීම සිරිසේනට පැවරිණි. 1989 දී පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටි වැඩිමහල් පුතා එවකට වයස අවුරුදු 19ක් වූ අතර වයස අවුරුදු 17ක් වූ බාලයා ලුම්බිණි මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියහ.


1989 සැප්තැම්බර් 12 වන දින හමුදා සහ සිවිල් ඇදුමින් සැරසුණු ආයුධ සන්නද්ධ පිරිසක් මධ්‍යම රාත්‍රියේ නිවසට කඩාවැදී ඇති අතර එවිට නිවසේ සිට ඇත්තේ සිරිසේන පමණි. රටේ පැවති කලබල තත්ත්වය නිසාම දරුවන් දෙදෙනා ඥාති නිවසක රඳවා ඇත. පැමිණි පිරිස පුතුන් දෙදෙනා පිළිබදව විමසමින් සිරිසේනට තදබල ලෙස පහර දී ඇති අතර නිවසේ බඩු බාහිරාදියට අලාභ හානිද සිදු කර ඇත. දරුවන් පිළිබඳ තොරතුරු ලබා නොදීම නිසා සිහිසුන් වන තෙක් ඇද පොල්ලකින් පහර කෑමට සිරිසේනට සිදුව ඇත. එදින එම බරපතළ පහර කෑම නිසා සිරිසේනට සියලු මතකයන් ගිලිහී ගියේය. කෙසේ වෙතත් එදින දරුවන් දෙදෙනා රැදී සිටි නිවසින් දරුවන් දෙදෙනාව පැහැරගෙන ගිය අතර ඉන්පසු ඔවුන් පිළිබද කිසිදු ආරංචියක් නොලැබුණි. එතැන් පටන් දරුවන් දෙදෙනා අතුරුදන්ය.


මෙම සිද්ධිය නිසා සිරිසේනගේ බිරිඳ මැදපෙරදිග රැකියාව අතහැර ලංකාවට පැමිණ ඇත. තම දරුවන් දෙදෙනා පිළිබදව සොයා බැලීමට පුද්ගලිකව කළ හැකි හැම දේම ඇය සිදු කළ අතර එවකට මහින්ද රාජපක්ෂ හා මංගල සමරවීර නායකත්වය දැරූ මව් පෙරමුණ සහ වාසුදේව නානායක්කාර ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, විජේදාස පතිරණ නායකත්වය දැරූ අතුරුදහන්වූවන්ගේ මාපිය දූදරු සංවිධානයේ සියලු ක්‍රියාකාරකම්වලට එම මව සහභාගී වූ අතර දින 19ක් කොළඹ සිට කතරගමට සංවිධානය වූ පා ගමනට ද ඇය සහභාගී විය.


දරුවන් දෙදෙනාවද අහිමි වී ගිය ඇයට, ඇගේ ස්වාමියාගේ අසනීප තත්ත්වයද විඳ දරාගැනීමට සිදු වීය. මෙවැනි දෙමාපියන් තව කොතෙක් ඇතිද ? ඔවුන් වෙනුවෙන් රුපියල් හයදහසක මුදලක් මාසිකව ලබාදීම පාලකයන්ට අනුව සාධාරණ නැතිද ? අපට හැඟෙන පරිදි සියලු පාලකයන් නැතිවී ගිය මනුෂ්‍යය ජීවිත සදහා වන්දි තීරණ කරන්නේ අන්ධ මිනිසෙකු සේය. ඔවුන් ඔවුන්ගේ පක්ෂ දේශපාලනයේ වාසි තකා සියලු දේවල් ආරක්ෂා කරමින් සත්‍යය සහ යුක්තිය වසන් කරන්නේය. එබැවින් ඔවුන් ඔවුන්වම ආරක්ෂා කරගන්නා වටපිටාවක් දක්නට ඇති බව කියන්නට කැමතිය.


අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති
කේ.ජේ.බී.ප්‍රනාන්දු


මෙවැනි දීමනාවක් අවශ්‍ය වන්නේ දරු දෙදෙනාවම අතුරුදහන් කිරීම නිසා යැපීමට මගක් නැති වයස්ගත සහ අසනීප තත්ත්වයේ පසුවන සිරිසේනගේ පවුලටම පමණක් නෙවේ. තම එකම පුතුගේ අතුරුදන්වීම නිසා ඇති වූ සිත් තැවුල මත සියදිවි නසාගත්, පියාගේ අභාවයෙන් පසු අසරණ වූ ගාල්ලේ දයාවතී අම්මලා වැනි අය ද,


තම පියා සහ සහෝදරයන් දෙදෙනාවම ඝාතනය කර පසුව මළමිනී ද අතුරුදහන් කිරීම නිසා පීඩාවට පත් පවුලේ අනෙක් බාල සහෝදර සහෝදරියන් නඩත්තු කිරීම සදහා අධ්‍යාපනයද කඩා කප්පල් කර ගනිමින් අඩු වයසින් විදේශගතව පසුව ලංකාවට පැමිණි එම සිද්ධියේ බලපෑම නිසා සදාකාලිකවම අසනීපයෙන් පසුවන තම මව ජීවත් කරවීම සදහා අරගලයේ යෙදෙන කුරුණෑගල චම්පිකාලා වැනි අයද,


වයස අවුරුදු 70, 75 වූවත් තම දරුවන් අහිමිවීම නිසා රැක බලාගැනීමට කෙනෙකු නොමැති කමින් ජීවිතය ගැට ගසා ගැනීමට කුලී වැඩවල යෙදෙමින් හන්දිපත් වේදනාව ඉවසා ගැනීමට දිනපතා ශරීරයේ සිද්ධාලේප අතුල්ලමින් දිවි ගෙවන අයද, මෙම දීමනාව බලාපොරොත්තුවෙන් පසු වන්නේ සුරසැප විඳීමට නොව තමන්ට අවශ්‍ය බෙහෙත් ගැනීමට, එදාවේල පිරිමසා ගැනිමටයි. 1989 බිරින්ඳෑවරු දැන් අවුරුදු 50ත් පසුකරමින් ඉන්නවා. දෙමවුපියො අවුරුදු 70, 80 පහුකරමින් සිටිනවා. එහිදී අප අමතක නොකළ යුත්තේ තම දරුවන් ස්වාමිපුරුෂයන් අතුරුදන් කරවීම නිසා ඔවුන් පෙළෙන සදාකාලික මානසික පීඩනයට කිසිදු සාධාරණයක් ඉටු කිරීමට කිසිදු රජයකට නොහැකි වූ බවයි. මම හිතන විදියට අතුරුදන්වූවන්ගේ වේදනාව එක ජාතියකට පමණක් අයත් වූවක් නෙවේ. මෙම ව්‍යසනයට ගොදුරු වූ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව දීමනාව ලැබිය යුතුයි.


අගමැති මහින්ද රාජපක්ෂ 1989දී අතුරුදහන්වීම් වලට විරුද්ධව, එම පවුල් වලට උද්ඝෝෂණ සඳහා නායකත්වය දුන්න ඔවුන් වෙනුවෙන් ජිනීවා ගියා නායකයෙකු ලෙස එදා එම පවුල් වලට දුන් පොරොන්දු ඉටු කිරීමට අවම වශයෙන් මෙවර අයවැයෙන්වත් හරියට අපිට රුපියල් හයදාහ ලබාදෙයි කියලා බලාපොරොත්තු වුනා. නමුත් අවාසනාවට ඒ බලාපොරොත්තුවත් සුනු විසුනු වෙලා ගියා. ඒ වගේම 2019 අයවැයෙන් වෙන් කළ මිලියන පන්සීයෙන් ඉතිරි මිලියන හාරසිය අසූනවයට වුනේ මොකද්ද කියන කාරණෙත් අපි අහනවා.


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්
ටිල්වින් සිල්වා

  1. 1988/89 කාලවලදී අතුරුදහන් කිරීම් පිළිබද චෝදනාව යූඑන්පී එකට වගේම ජවිපෙටත් තියෙනවා. මේ සම්බන්ධව ඔබේ අදහස කුමක් ද ?
    පළමු කාරණය 88 සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරන්නේ ඉතිහාසය නොදන්න අයයි. අනෙක් කාරණාව හැටදාහකට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් කරපු අපරාදයට වගකිය යුතු අය තමයි ප්‍රධාන වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරන්නේ. ඒ අවස්ථාවේ ජවිපෙ ආණ්ඩුවක් නෙවේ. රාජ්‍යකුත් නෙවෙයි. තහනම් වෙච්ච සංවිධානයක්. අනෙක් කාරණය ජවිපෙට කාවවත් අතුරුදන් කරන්න උවමනාවක් තිබුනේ නැහැ. අපි සටන් කළේ ඉන්දීය හමුදාව ලංකාවට ඇවිල්ලා රට යටත් කරගැනීමට එරෙහිවයි. එනිසා ජවිපෙ විසින් අතුරුදන් කළා, ඝාතන කළා කියන අදහස ඉතිහාසය විකෘති කිරීමක්. අපේ විරුද්ධවාදීන් විසින් අපිට විරුද්ධව කරන චෝදනාවක් මිසක් ඇත්තක් නෙවේ.
  2. අතුරුදහන් කළ අයවලුන්ට මරණ සහතික ලබාදුන් ක්‍රමය ඔබ අනුමත කරනවා ද ?
    ආණ්ඩුවක් විසින් ජනතාව මර්දනය කරලා ඒ මර්දනයේම කොටසක් ලෙස ගන්න පියවර කාටත් අනුමත කරන්න බැහැ. සමහර අයට මරණ සහතික ලැබිලා තියෙනවා. සමහර අයට ලැබිලා නැහැ. සමහර මරණ ගැන ලියලා තියෙන දේවල් වැරදියි. කිසිවෙක්ට ඒවා සාධාරණීයකරණය කරන්න බැහැ.
  3. 2019 අයවැයෙන් කියලා තියෙනවා 1988/89 අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුවනතෙක් මාසිකව රුපියල් හයදහසක් ලබා දිය යුතුයි කියලා. නමුත් මේ ගෙවීම් වෙලා නැහැ සහ 2020 අයවැයෙනුත් ඔවුන්ට සාධාරණ වැඩපිළිවෙලක් ඉටු වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම විය යුත්තේ කුමක් ද?
    රටක යුද්ධයක් හෝ සිවිල් යුද්ධයක් වෙලා ඉන් විපතට පත් වූ අයට උදවු කර වන්දි ලබා දීම ආණ්ඩුවක වගකීමක්. ඒක 89ට වගේම අනෙක් සියලු කාරණාවලදි විය යුත්තක්. රටක පුරවැසියන්ට හානි සිදු වීමෙන් පසු ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම ආණ්ඩුවේ වගකීමක්. නමුත් අවංකවම සිවිල් යුද්ධයෙන් විපතට පත්වූවන්ට ආණ්ඩුව සැබෑ ලෙසම සාධාරණය ඉටු කරන්න සමත් වෙලා නැහැ.
  4. 1988/89 වගේම අනෙක් සියලු කළබලකාරී අවස්ථාවන් වලින් පීඩා ලැබූවන්ට මෙතෙක් යුක්තිය ඉටුවී නැහැ. එහි බරපතළකම කුමනාකාර ද?
    පැහැදිලිවම අපේ රටේ පන්ති දේශපාලනයක් තියෙනවා. එක පන්තියක් මාරුවෙන් මාරුවට බලයේ ඉන්නවා. මූණ මාරු වුණාට, පක්ෂ මාරු වුණාට, නම් මාරු වුණාට බලයේ ඉන්නෙ එක පැලැන්තියක්. එයාල මිත්‍රයින් සහ ඥාතීන්. නිදසුනක් ලෙස පහුගිය කාලෙ රාජපක්ෂයන් කෑමොර දුන්නා බලයට ආව ගමන් මහබැංකු වංචාවට සම්බන්ධ අයට අනිවාර්යෙන්ම දඩුවම් කරනවා කියලා. අර්ජුන මහේන්ද්‍රන්ව නැවත කුදලගෙන එනවා කියලා කීවා. නමුත් මේ ආණ්ඩුව බලයට ආවට පස්සෙ අධිකරණ ඇමතිවරයා කියනවා අර්ජුන මහේන්ද්‍රන්ට සිතාසි බාරදෙන්න විදියක් නැති නිසා නඩුව පවත්වන්න බැහැ කියලා. එතකොට අපිට පැහැදිලියි කාවද බේරන්න හදන්නෙ කියලා. මේ හැමෝම එකම පන්තියෙ මිනිස්සු. අර්ජුන මහේන්ද්‍රව කුදලගෙන ආව හැටියෙ ඊට පස්සෙ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක කියන දෙපාර්ශවයම වගකියන්න වෙනවා. ඉතින් එකම පන්තියෙ මිනිස්සු නිසා එයාල මෙයාලව බේරනවා මෙයාල එයාලව බේරනවා. ඔවුන්ගෙ ප්‍රධාන වටපිටාව තමන්ගෙ පන්තියෙ අයට දඩුවම් කරන්නෙ නැහැ කියන කාරණෙයි. දේශපාලන සිදුවීම් වලදී කිසිම ආණ්ඩුවකින් සාධාරණය බලාපොරොත්තු වෙන එක තේරුමක් නැහැ. ඉතිං මහජනතාව දේශපාලනික සවිඥානිකත්වය ඇතිව දේවල් තේරුම් ගන්නා තෙක් මේ දේවල් මේ විදියටම වේවි.
  5. ඔබ මහජනතාව දේශපාලනික සවිඥානික වූවොත් ඉදිරි දේශපාලනය තේරුමක් සහිතව ගෙන යා හැකි බව විශ්වාස කරනවා. ඒ වගේම ඔබලා එය දිගින් දිගටම කියනවා. නමුත් නොයෙක් කලබල මැද්දේ මෙච්චර කාලයක් ගෙවිලත් මහජනතාව තවම සවිඥානික නැහැ කියන්නෙ, ඉදිරියක් ගැන බලාපොරොත්තුවක් තබාගත හැකිද?
    ජනතාවගේ දේශපාලන සවිඥානිකත්වය ඉබේ හැදෙන්නෙ නැහැ. ඒකට සමාජය පිළිබද අවබෝධය තිබෙන කණ්ඩායමක් මැදිහත් විය යුතුයි. අපි මේ ජීවත් වන යුගය විශේෂ යුගයක්. තාක්ෂණයත් එක්ක ගෙවෙන මේ යුගය තීරණාත්මකයි. මොකද මේ තාක්ෂණය සමග පැමිණි විද්‍යුත් මාධ්‍ය ජනතාවගේ මනසට විශාල බලපැමක් කරනවා. ජනතාවගේ මනස සම්පූර්ණ පාලනය කරන්නෙ විද්‍යුත් මාධ්‍යය. ඉස්සර පත්තරේ අරන් තමන්ට ඕනි දේ කියවද්දි දැං රූපවාහිනිය ඉස්සරහට ගිහින් රූපවාහිනී නාලිකාවෙ අයිතිකාරය කැමති දේ තමයි දැං ජනතාව කියවන්නේ. එහෙම වටපිටාවක් මිනිස්සු වශයෙන් ස්වාධීන දේශපාලන මතයක් මත යැපීම හරි අඩුයි. ඉතින් ජනතාවගේ චින්තනය කලු සල්ලි මත යැපෙන විද්‍යුත් මාධ්‍යය කිහිපයක් හසුරුවන නිසා උක්ත වටපිටාව ගොඩ නැගිලා තියෙන්නේ. 1960 ගණන් වල ජනතාවට මිට වඩා දේශපාලනික සවිඥානිකත්වය තිබුනා. අද වන විට ජනතාවගේ දේශපාලන සවිඥානිකත්වය විනාස කරන්නෙ ආගමික සංස්ථා ටිකයි විද්‍යුත් මාධ්‍යය ටිකයි දේශපාලකයො ටිකයි එකතු වෙලා.