ආචාර්ය ප්‍රසාද් මහින්දරත්න

කොරෝනා ව‍ෛයිරස් රෝගය (COVID-19) යනු බෝවන රෝගයක් වන අතර එය ප්‍රථම වරට 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ අගනුවර වන වුහාන් හිදී හඳුනාගත් අතර දැන් එය ගෝලීයව වසංගතයක්ව ලොව පූරා ව්‍යාප්ත වී ඇත. එහි ප්‍රතිළුලයක් ලෙස ලෝකය මේවන විට යම් ආකාරයක අස්ථාවර තත්වයකට පත්ව ඇති අතර සියලු ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් පාහේ අක්‍රීය වී ඇත. මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෑම රජයක්ම දැඩි පියවර ගනිමින් සිටින අතර, සමාජ දුරස්ථභාවය පිළිබඳ රෙගුලාසි පැනවීම, සංචරණ සීමා යෙදවීම, අත් සේදීම සහ මුහුණු ආවරණ අනිවාර්ය කිරීම ඇතුළු පෞද්ගලික සනීපාරක්ෂක ක්‍රියාමාර්ග සහ දීර්ඝ කාලයක් සදහා වන දැඩි අගුලු දැමීම වැනි පියවරයන් අනුගමනය කිරීම සිටී.

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී බලපෑමට ලක් වූ රටවල් බහුතරයක් මුහුණ දෙන බරපතලම ගැටලුවක් වන්නේ සංචරණ සීමා පනවන ලද හෝ අගුලු දමන ලද තත්වයන් යටතේ ඔවුන්ගේ ජනගහනය පෝෂණය කිරීමයි. වසංගත කාලය තුළ ආහාර නිෂ්පාදනය, සැකසීම, ප්‍රවාහනය සහ සිල්ලර වෙළඳාම අඩපණ වූ අතර ඉදිරියේදී ඇතිවිය හැකි සාගත තත්වයන් පිළිබඳව ද අනතුරු ඇඟවීම් කර ඇත. සංවර්ධිත රටවල් පවා ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍යතා හිඟයකට මුහුණ දෙන පරිසරයක් තුළ සංවර්ධනය වෙමින් පවතින හා ඌණ සංවර්ධිත රටවල ඉරණම ඉතා පැහැදිලිය. මේ අනුව විශ්ලේෂකයින් මෙම වසංගතය දෙවන ලෝක යුද්ධයෙන් පසු මානව ප්‍රජාව වෙත එල්ල වූ දරුණුතම වියසනය ලෙස විස්තර කිරීමට ද උනන්දු වෙති. මෙම ගෝලීය තත්ත්වය මානව ප්‍රජාවට  ඔවුන්ගේ වත්මන් සංවර්ධනය, රාජ්‍ය ආරක්ෂාව, සෞඛ්‍ය සේවා, ආහාර සුරක්‍ෂිතතාව සහ ඔරොත්තු දීමේ හැකියාව යනාදිය සඳහා වූ අර්ථ දැක්වීම්, ප්‍රවේශයන් හා උපාය මාර්ග පිළිබඳ නැවත සිතා බැලීමට, සමාලෝචනයට හා නව්‍යකරණයටද බල කිරීමක්  සිදූ කරයි.

COIVD-19 පැතිරීමේ දැඩි අවදානම මධ්‍යයේ ශ්‍රී ලංකා රජය කෘෂිකාර්මික අංශයේ බරපතල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කරනු ලැබූ අතර එමඟින් කෘතිම කෘෂි රසායන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර මාස හයක වැනි කෙටි කාලයක් තුළ රට කාබනික කෘෂිකර්මාන්තයක් කරා යොමු කරවීමට යත්න දරමින් සිටි.

මෙම ලිපිය මගින් අප රට මේවන විට මුහුණ දෙමින් සිටින මෙම ද්විත්ව අර්බුද හේතුකෙට ගෙන රටේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිය යුතු ආහාර සුරක්‍ෂිතතාවය කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳ විශ්ලේෂණක් කිරීමට උත්සුක වන්නෙමු. මේ අනුව මෙම ලිපියේ මූලික පරමාර්ථය වන්නේ ආහාර සුරක්‍ෂිතතාව, එහි වැදගත්කම සහ රටේ ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා වන අවශ්‍යතාවය පිළිබඳව පාඨකයින් දැනුවත් කිරීම සහ සංවේදී කිරීම.

කෘෂිකර්මාන්තය 21 වන සියවසේ වඩාත් අභියෝගාත්මකම ක්ෂේත්‍රය ලෙස විශ්ලේෂකයින් හඳුන්වා දෙයි. වැඩිවන ජනගහනයත් සමඟ, 2050 වන විට ප්‍රක්ෂේපිත බිලියන 9 ක ජනගහනය පෝෂණය කිරීම සඳහා ලෝක ආහාර නිෂ්පාදනය 60% කින් වැඩි කළ යුතුය බවට ද පුරෝකථනය කර ඇත. මෙම දැවැන්ත ඉලක්කය සපුරා ගැනීමට සිදුව ඇත්තේ ඉතා වේගයෙන් අඩු වීගෙන යන වගා බිම් ප්‍රමාණයන්, සීඝ්‍රව  පිරිහෙමින් පවතින පාංශු හා කෘෂිපාරිසරික තත්ත්වයන්, දේශගුණික විපර්යාස, දරුණු හා සුළභ ස්වාභාවික විපත්, සුළභ පළිබෝධ සහ රෝග පැතිරීම්, කෘෂිකාර්මික ශ්‍රමිකයන් සංක්‍රමණය වීම්, රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් කෘෂිකර්මාන්තය සඳහා වන අඩු ආයෝජන ආකර්ෂණයන්, යුද්ධය සහ සිවිල් ආරවුල්, දේශපාලන අස්ථාවරත්වයන් සහ වසංගත ( උදා: COVID 19) යනාදි ඉතා අභියෝගාත්මක සන්දර්භයන් තුළය.

ආහාර සුරක්ෂිතතාව යනු කුමක්ද?

COVID-19 වසංගතයට පෙර පවා ආහාර සුරක්ෂිතතාවය දැඩි ගෝලීය ගැටලුවක්ව පැවතුණි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) අනුව මිලියන 830 කට වැඩි ජනතාවක් හෝ සෑම නව දෙනෙකුගෙන් එක් අයෙකුට ප්‍රමාණවත් ආහාර නොලැබෙන අතර ලොව පුරා මිලියන 113 ක් පමණ ජනතාවක් කුසගින්නෙන් පෙළෙති.

ආරම්භයේදීම ආහාර සුරක්‍ෂිතතාවය යන පදය පැහැදිලි කිරීම වැදගත් යැයි හැඟෙන්නේ එය බහුලව භාවිතා වුවද එහි සත්‍ය අර්ථය අර්ධ ලෙස වටහාගෙන ඇති බවක් පෙන්වන අතර බොහෝ විට කුසගින්න, සාගතය, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණ සුරක්‍ෂිතතාව වැනි වචන පැටළිලි සහගත ලෙස භාවිත කරමින් සිටි. තවද, ආහාර සුරක්‍ෂිතතාවය ළඟා කර ගැනීම සඳහා මැදිහත්වීම් සැලසුම් කිරීමේදී ආහාර සුරක්‍ෂිතතාවයේ පුළුල් අරුත වටහා ගැනීම ඉතා වැදගත් වේ.

1996 දී ලෝක ආහාර සමුළුව (WFS) විසින් අනුමත කරන ලද වඩාත් පිළිගත් නිර්වචනයට අනුව, ආහාර සුරක්ෂිතතාව ඇති වන්නේ ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර අවශ්‍යතා සහ ආහාර මනාපයන් ලගා කරගැනීමට සෑම පුද්ගලයෙකුටම, සෑම විටම ප්‍රමාණවත් භෞතික, සමාජීය හා ආර්ථික ප්‍රවේශය ඇති වූ විට ය. ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ප්‍රමාණවත් ආහාර සඳහා නිරන්තර ප්‍රවේශයක් නොමැති විට ආහාර අනාරක්ෂිතභාවය ඇතිවේ.

ලෝක ආහාර සමුළුවෙහි අර්ථ දැක්වීමට අනුව ආහාර සුරක්‍ෂිතතාවයේ වැදගත් මානයන් හතරක් ඇත. එ්වා නම්, ආහාර සුලභතාව (Availability), ආහාර සඳහා ප්‍රවේශය (Access), උපයෝගීතාව (Utility) සහ ස්ථායිතාවයයි (Stability). මෙම මානයන් එකක් හෝ කිහිපයක් නොමැති වීම ආහාර අනාරක්ෂිතභාවයට හේතු වේ. සුලභතාව (Availability) යන්නෙන් අදහස් වන්නේ ආහාරවල ප්‍රමාණවත් බව හෝ නිශ්චිතවම රටක හෝ ප්‍රදේශයක ඇති සියළුම දේශීය නිෂ්පාදන, ආනයන, ආහාර තොග සහ ආහාර ආධාර හරහා ඇති ආහාර ප්‍රමාණයයි. ආහාර සුලභතාව සහතික කිරීමේදී කෘෂිකර්මාන්තය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර ඒ හේතුකෙට ගෙන ආහාර සුරක්‍ෂිතතාවය යනු ආහාර සුලභතාවම යැයි  කලක් තිස්සේ විශ්වාස කර තිබේ. එය සැමවිටම සත්‍ය නොවන්නේ මිනිසුන්ට ආහාර සඳහා ප්‍රවේශ විය නොහැකි නම් ආහාර බහුල වුවද ආහාර සුරක්ෂිතතාව ඇති නොවන බැවිනි. කෙසේ වෙතත් ප්‍රජාවේ හෝ අදාළ රටේ ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් ආහාර සැපයුමක් නොමැතිව ආහාර සුරක්ෂිතතාව ස්ථාපිත කළ නොහැක.

දෙවන මානය වන ආහාර සඳහා ප්‍රවේශය (Access) ආහාර මිලදී ගැනීම, ආහාර හුවමාරුව, ණයට ආහාර ලබා ගැනීම් සහ ආහාර ආධාර හෝ ආහාර තෑගි එකතුවක් තුළින් නිතිපතා ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් ලබා ගැනීමට නිවැසියෙකුට ඇති හැකියාව ලෙස අර්ථ දක්වා ඇත. ආහාර සඳහා ප්‍රවේශයේ අංග තුනක් ඇත. ඒවා නම් භෞතික ප්‍රවේශය (Physical Access), ආර්ථික ප්‍රවේශය (Economic Access) හා සමාජ-සංස්කෘතික ප්‍රවේශයයි (Socio-cultural access). භෞතික ප්‍රවේශයෙන් ප්‍රධාන විස්තර වන්නේ  පාරිභෝගිකයින්ට අඛණ්ඩව ආහාර ලබා ගැනීම සහතික කරන සැපයුම් හෝ සැපයුම් දාමයනිහි ශක්‍යතාවය සම්බන්ධවයි. ආර්ථික ප්‍රවේශය මගින් පාරිභෝගිකයින්ගේ  මිල දී ගැනීමේ හැකියාව අවධාරණය කරන අතර එය ප්‍රමාණවත් ආහාර නිතිපතා මිලදී ගැනීමේ හැකියාව තීරණය කරන මූලික සාධකයයි. තවද දුප්පත්කම, යටිතල පහසුකම් සහ දැනුම ආහාර සඳහා ප්‍රවේශවීමේ ප්‍රධාන ප්‍රේරකයන්වේ. ආහාර සඳහා ප්‍රවේශවීමේ තුන්වන අංගය වන්නේ ආහාර සඳහා ප්‍රවේශයට බාධාවක් වන ස්ත්‍රී පුරුෂ භාවය, කුල ගැටලු, විශ්වාසයන්, සිරිත් විරිත් සහ මිථ්‍යාවන් වැනි සමාජ-සංස්කෘතික බාධක අවධාරණය කරන සමාජ-සංස්කෘතික අංගයන් ය.

ආහාර සුරක්‍ෂිතතාවයේ තුන්වන මානයෙන්නේ විස්තර වන්නේ මිනිසුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලන ආරක්‍ෂිත හා පෝෂ්‍යදායී ආහාර උපයෝජන (Food Utilization) ක්‍රියාවලියයි. ඒ අනුව ජනතාවට නිරන්තරයෙන් ආරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමේ හැකියාව සහතික විය යුතු අතර ආහාර සුලභතාව සහ ආහාර සඳහා ප්‍රවේශය තිබූ පමණින් ආහාර සුරක්‍ෂිතතාවය ස්ථාපිත නොවේ. හොඳ ආහාර තෝරා ගැනීම, සෞඛ්‍ය සම්පන්න සැකසීම, ළුලදායී ලෙස සංරක්ෂණය කිරීම, සුදුසු ලෙස පිළියෙල කිරීම සහ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කාර්යක්ෂමතාව වැඩි කිරීම ආහාර උපයෝගීතාව වැඩි දියුණු කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු වේ. ආහාර සුරක්ෂිතතාව (Food Security) අර්ථ දැක්වීමේ දී  “ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර”  පිළිබඳ සංකල්පය ද  (Food Safety) ඇතුලත් කර ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව ආහාර ආරක්‍ෂිතතාවය (Food Safety) යනු ආසාදන වැලැක්වීම සඳහා ආහාර නිසි ලෙස ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම සහ පිළියෙල කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ප්‍රමාණවත් තරම් පෝෂ්‍යදායී  මට්ටමක තබා ගැනීමට වග බලා ගැනීමයි. අනාරක්ෂිත ආහාර සහ ජලය යන්නෙන් අදහස් වන්නේ එය අපිරිසිදු හා විෂබීජ වලට නිරාවරණය වී ඇති බවයි.

ආහාර සුරක්ෂිතතාවයේ අවසාන හා සිව්වන මානය ස්ථායිතාව (Stability) වන අතර එය පළමු මානයන් තුන වන  ආහාර සුලභතාව, ප්‍රවේශය සහ උපයෝගීතාවයේ තිරසාර භාවය පිළිබඳව අවධාරණය කරයි. ස්ථායිතාව මත පදනම්ව ආහාර අනාරක්‍ෂිතතා තත්ත්වයන් (Food Insecurities) තුනක් හඳුනාගත හැකිය. ඒවා නම් දීර්ඝ කාලීන (Chronic Food Insecurity) ආහාර අනාරක්‍ෂිතතාවය (අවම ආහාර අවශ්‍යතාවය නොනවත්වා හෝ දීර්ඝ කාලයක් තිස්සේ සපුරාලීමට ඇති නොහැකියාව); සංක්‍රාන්ති (Transitional Food Insecurity)  ආහාර අනාරක්‍ෂිතතාවය (කෙටි කාලීනව අවම ආහාර අවශ්‍යතාව සපුරාලීමට ඇති නොහැකියාව) සහ චක්‍රීය (Cyclic Food Insecurity) ආහාර අනාරක්‍ෂිතතාවය (සෘතුමය වශයෙන් සිදුවන ආහාර අනාරක්‍ෂිතතාවය).

ආහාර සුරක්ෂිතතා ක්‍රියාවලිය තේරුම් ගන්නේ කෙසේද?

පුද්ගලයෙකුගේ ආහාර සුරක්‍ෂිතතාවය ස්ථාපනය වීම එම පුද්ගලයාගෙන් ඔබ්බට ගොස් එම පුද්ගලයාගේ ගෘහ ඒකකය, රට සහ ගෝලීය මට්ටම දක්වා විහිදේ. එනිසා ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ සමස්ථ චිත්‍රය අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වන අතර ආහාර සුරක්‍ෂිතතා ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා සංකල්පීය රාමු ගණනාවක් ඉදිරි පත්කර තිබේ.

යුනිසෙෆ් අයතනය (UNICEF) විසින් ඉදිරිපත් කරන ලද ඉහත දැක්වෙන සංකල්පීය රාමුව ආහාර සුරක්ෂිතතා ක්‍රියාවලිය වඩාත් පුළුල් හා පරිපූර්ණ ලෙස අවබෝධ කර ගැනීමට උපකාරී වේ. මෙම රාමුව මගින් ගෝලීය හා ජාතික ආහාර සුලභතාව, කුටුම්භ හා පුද්ගල ආහාර සඳහා ප්‍රවේශය සහ පුද්ගලයන්ගේ පෝෂණ සුරක්‍ෂිතතාව සම්බන්ධ කරන ආහාර සුරක්‍ෂිතතාවයේ සමස්ත ක්‍රියාවලිය විස්තර කෙරේ. ගෝලීය හා ජාතික ආහාර සුලභතාව සාර්ව මට්ටමින් (Macro Level) සිදුවන අතර කුටුම්භ හා පුද්ගලයන්ගේ ආහාර සුරක්‍ෂිතතාව ක්ෂුද්‍ර මට්ටමින් (Micro Level) සිදු වේ. ගෝලීය ආහාර නිෂ්පාදනය සහ ආහාර ලෝක වෙළඳපොළට යොමු කිරීම ගෝලීය මගින් ගෝලීය ආහාර සුලභතාව ඇති කරයි. රටක ආර්ථික ධාරිතාවය ගෝලීය වෙළඳපොළෙන් ආහාර ලබා ගැනීම සඳහා ඇති ප්‍රවේශය තීරණය කරනු ලබයි. ඒ අනුව වර්ෂයක් සඳහා ජාතික ආහාර සුලභතාව වන්නේ වර්ෂය තුළ සමස්ත ජාතික ආහාර නිෂ්පාදනය (Production of the Year), පෙර වසරේ ඉතිරි ආහාර තොග ( Balance stock of food) , ශුද්ධ ආහාර ආනයනය (National net import of food) සහ ආහාර ආධාර (Food Donations) වල සමස්ථ එකතුවයි. ගෘහස්ථ ආහාර සඳහා ප්‍රවේශය සහ පුද්ගල ආහාර සුරක්‍ෂිතතාවය මූලික ලෙස  තීරණය කරනු ලබන්නේ  ජාතික ආහාර සුලභතාව සහ සමස්ථ ගෘහස්ථ ආදායමයි. වඩාත් ක්ෂුද්‍ර මට්ටමින් තනි පෝෂණ සුරක්ෂිතතාව ඇතිවේ. ආහාර සුරක්‍ෂිතතාවයේ අවසාන පරමාර්ථය වන ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා පුද්ගල පෝෂණ සුරක්‍ෂිතතාවය ඉතා වැදගත් වේ.

ආහාර සුරක්ෂිතතාවයේ අප සිටින්නේ කොහේද?

ආහාර සුරක්‍ෂිතතාවය වසර ගණනාවක් තිස්සේ ලොව පුරා අවධානයට ලක්ව ඇති අතර ආහාර සුරක්‍ෂිතතා තත්ත්වය සහ ඒ හා සම්බන්ධ ගැටළු අධ්‍යනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග සකස් කර ඇත. ජාත්‍යන්තර පුවත්පත් සමාගමක් වන ඉකොනොමිස්ට් සමූහය ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය (Global Food Security Index – GFSI) භාවිතා කරමින් ලෝකයේ බොහෝ රටවල ආහාර සුරක්‍ෂිතතාව මැන බලන අතර ඔවුන් සොයාගැනීම් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරයි. ආහාර අනාරක්‍ෂිතතාවයේ ප්‍රධාන ප්‍රතිළුල වන්නේ කුසගින්න සහ මන්දපෝෂණයයි. අනෙක් පිළිගත් ගෝලීය දර්ශකයක් වන ගෝලීය සාගින්න දර්ශකය (Global Hunger Index-GHI) නිර්මාණය කර ඇත්තේ ගෝලීය, කලාපීය සහ රටවල් මට්ටමින් සාගින්න මැන බැලීම සහ විශ්ලේෂණය කිරීම සඳහා ය. කන්සන් වර්ල්ඩ්වයිඩ් (Concern Worldwide) සහ වෙල්තුන්ගර්හිල්ෆ් (Welthungerhilfe) ආයතන ද්විත්වය ඒකාබද්ධව සමාලෝචිත වාර්ෂික වාර්තාවක් ලෙස GHI වාර්තාව ප්‍රකාශයට පත් කරති.

GFSI 2019 නවතම වාර්තාවට අනුව රටවල් 113 ක් අතරින් සිංගප්පූරුව, අයර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, නෝර්වේ සහ ෆින්ලන්තය පිළිවෙලින් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථාන හය හිමි කරගෙන තිබේ. සියයට 60.8 ක් ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකාව 66 වන ස්ථානයට පත්ව ඇති අතර අනෙකුත් සාර්ක් රටවල් වන ඉන්දියාව  72 වන (58.9), පාකිස්තානය  78 (56.8), නේපාලය  79 (56.4) සහ බංග්ලාදේශය  83 වැනි (53.2) ස්ථාන වල පසු වෙයි. අනෙක් දර්ශකය වන ගෝලීය සාගින්න දර්ශකය (GHI) ගණනය කරනු ලබන්නේ වයස අවුරුදු පහට පෙර මිය යන්න දරුවන්ගේ ප්‍රතිශතය, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිශතය, වයසට සරිලන උස නොමැති (Stunning) දරුවන්ගේ ප්‍රතිශතය  සහ  උසට සරිලන බර නොමැති (Wasting) දරුවන්ගේ ප්‍රතිශතය යන පරාමිතීන් ද පදනම් කරගෙනය. ලකුණු 100 ක පරිමාණයකින් GHI ලකුණු ලබා දෙන අතර එහිදී ලකුණු 0 හොඳම තත්ත්වය වන අතර ලකුණු 100 අයහපත්ම තත්ත්වය වේ. GHI 2019 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව GHI ලකුණු 17.1 ක් ලබා ගනිමින් 66 වන ස්ථානය ලබා ගෙන ඇත. කලාපයේ අනෙකුත් රටවල GHI ශ්‍රේණිගත කිරීම් සලකා බැලීමේදී රටවල් 117 අතුරින් ඉන්දියාව 102 වන ස්ථානය, පාකිස්තානය 94, බංග්ලාදේශය 88, සහ නේපාලය ස්ථාන 73 හිමිකර ගෙන සිටී.

GFSI 2019 සහ GHI 2019 වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ තත්ත්වය බැරෑරුම් නොවන අතර එය “මධ්‍යස්ථ” ලෙස වර්ගීකරණය කර ඇත. GHI 2019 වාර්තාව මඳක් ගැඹුරට විශ්ලේෂණය කල විට පෙනී යන්නේ මන්දපෝෂණයෙන් පෙළීම සම්බන්ධයෙන් ගත්කල සාර්ක් රටවල් අතුරින් (ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, සහ ඇෆ්ගනිස්ථානය) ශ්‍රී ලංකාව 3 වන ස්ථානයේ පසුවන බවයි. ළමුන්ගේ  උසට සරිලන බර සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා පමණක් ඉදිරියෙන් සිටී. කෙසේ වෙතත් අවුරුදු පහට අඩු මරණ අනුපාතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලැයිස්තුවේ ඉහළින්ම සිටී. වඩාත් වැදගත්ම කරුණ නම් 2000 වර්ෂයේ සිට 2019 දක්වා ගෝලීය සාගින්න දර්ශකයේ (GHI) වර්ධනය සම්බන්ධයෙන් ගත් කළ ශ්‍රී ලංකාව යළිත් වරක් ඉන්දියාවට වඩා පමණක් ඉදිරියෙන් සිටී. මෙම කරුණු සහ සංඛ්‍යා වලින් පෙනී යන්නේ අපගේ සාගින්න තුරන් කිරීමේ වේගය මන්දගාමී බවත් එ් සදහා වන අපගේ මැදිහත්වීම්වල ළුලදායීතාවය ඉතා අඩු බවත් ය.

සම්පූර්ණ වශයෙන්ම විද්‍යාත්මක නොවූවත් අපගේ දිවා ආහාර පිඟානේ ඇති ආහාර ද්‍රව්‍යවල සම්භවය සොයා බැලීමේ දී අපගේ ගෘහස්ථ ආහාර සුරක්‍ෂිතතාවයේ තත්ත්වය පිළිබඳ ඉඟියක් ලබා ගත හැකිය. උදාහරණයක් ලෙස අප රටේ සාමාන්‍ය දිවා ආහාර වේලක් ලෙස බත්, පරිප්පු, සෝයාමීට්, බෝංචි සහ කොළ එළවළුවලකින් සමන්විත ආහාර වේලක් සළකා බලමු. එහි දී, ව්‍යංජන හතරෙන් දෙකක් ආනයනය කරන ලද භාණ්ඩ වන අතර කුටුම්භයන්ගෙන් බහුතරයක් මෙම සියලු දෑ මිලදී ගැනීම සිදු කරයි (ගෘහස්ථ නිෂ්පාදනයක් නොමැති තරම්ය). පාන් සහ පරිප්පු ව්‍යංජනකින් සමන්විත සාමාන්‍ය උදෑසන ආහාර වේලක් සළකා බැලීමේ දී එය සියයට සියයක් ආනයනය කරනු ලබන ආහාර වේලකී. මෙම සරල විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ අප අපගේ ප්‍රධාන ආහාර වේල් සඳහා කොපමණ ප්‍රමාණයකට විදේශීය ප්‍රභවයන් මත යැපෙමින් සිටිනවාද යන්නයි. මෙම විශ්ලේෂණය  ඉහත ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය වල (බීජ, කෘෂි රසායන, මෙවලම් හා යන්ත්‍රෝපකරණ, වෙනත් ද්‍රව්‍ය හා බලශක්තිය ආදිය) ප්‍රභවයන් දක්වා ගෙන ගියේ නම් (බොහෝ අමුද්‍රව්‍ය ආනයනික ද්‍රව්‍ය වේ)  ප්‍රතිළුලය භයානක හා ඉතා ශෝකජනක වනු ඇත.

වර්තමානයේ (COVID-19 වසංගතයට සහ කෘතිම කෘෂි රසායනික තහනමට පෙර) රටක් වශයෙන් අපට අපගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවේ. වාසනාවකට මෙන් අපට සහලින් ස්වයංපෝෂිත වීමට හැකි වී තිබුණ ද (2015 සිට) පවතින වෙළඳපල අකාර්යක්ෂමතාවය හා ඒකාධිකාරීතවය නිසා නිරතුරැවම සහල් හිඟයට මුහුණ දෙමින් සිටී. පහත දැක්වෙන  වගුවෙන් අනෙකුත් ආහාර බෝග වල නිෂ්පාදන තත්ත්වය පෙන්නුම් කරයි.

ආහාර ශේෂ පත්‍රය – පස් අවුරුදු සාමාන්‍යය          (2015 – 2019)
   
බෝගනිෂ්පාදනය (%)ආනයනය (%)
ධාන්‍ය6535
අල බෝග7525
සීනි1585
මාංශ භෝග1387
එළවළු9010
පළතුරු928

මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව – ආහාර ශේෂ පත්‍රය

මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව

COVID-19 වසංගතය වැළැක්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාකාරකම් ආහාර නිෂ්පාදනය, සැකසීම, බෙදා හැරීම, වෙළඳාම සහ ආහාර ආනයනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම සුවිශේෂී මොහොතේදී ශ්‍රී ලංකාව තුළ කෙටිකාලීන (Acute food insecurity)  හෝ සංක්‍රාන්තික ආහාර අනාරක්ෂිතභාවයක් (transitory food insecurity) ඇති වීමේ ඉහළ ප්‍රවණතාවක් පවතී. කෘෂි රසායන හා කෘතිම පොහොර තහනම් කිරීමේ හදිසි, සැලසුම් රහිත සහ අකල් තීරණය නිසා යට කී ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් තීව්‍ර වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත.  ජාත්‍යන්තර හා ජාතික පර්යේෂණ සොයාගැනීම් මත පදනම්ව කෘෂිවිද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට කෘෂි රසායන හා කෘතිම පොහොර තහනම්  කිරීම මඟින් ප්‍රධාන ආහාර භෝග ඇතුළු අනෙකුත් ආහාර භෝගවල සැලකිය යුතු අස්වනු අඩු වීමක් සිදුවනු ඇත (පහත වගුව බලන්න). තවද  තේ සහ අනෙකුත් විදේශ විනිමය උපයන භෝග අස්වනු අඩු වීම තුළින් රටේ විදේශ විනිමය ඉපැයීම් සහ විදේශ සංචිත වලට ද විශාල බලපෑමක් සිදු කරනු ඇත.

බෝගඅපේක්ෂිත අස්වැන්න අඩුවීම (%)
වී30 – 50
බඩ ඉරිඟු50 ක් දක්වා
අර්තාපල්30 – 50
උක්30 – 40
උඩරට එළවළු30 – 50
තේ50 ක් දක්වා
මල් වගාවසම්පූර්ණයෙන්ම
ආරක්ෂිත නිවාස බෝගසම්පූර්ණයෙන්ම

තවත් දැවෙන කාරණයක් නම්, COVID-19 වසංගතය හේතුවෙන් පසුගිය වසර තුළ පමණක් (2020) ලෝකයේ ආහාර උද්ධමනය (Food Inflation)  42% කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ මහ බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන අනුපාතය ඉතා ඉහළ මට්ටමක පවතින අතර සාමාන්‍ය උද්ධමනයට (General Inflation) ආහාර උද්ධමනයේ දායකත්වය 77% ක් තරම් ඉහළ අගයක් ගනී. තවද මහ බැංකු සංඛ්‍යා ලේඛන මගින්  පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ කුටුම්භයන්ගෙන් 80% ක්ම තම ඉපැයීම්වලින් 40% ක් ආහාර මිලදී ගැනීම සඳහා වැය කිරීමයි. මෙම දත්ත වර්ථමානයේ (COVID-19 වසංගතයට සහ කෘතිම කෘෂි රසායනික තහනමට පෙර) රට තුළ පවතින ආහාර ගැටලුවේ බරපතලකම මනාව විස්තර කරයි. මෙම තත්වයන්  යටතේ අප රටට අතිරේක ආහාර ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වුවහොත් (වර්තමාන ආහාර  ආනයනය වියදම රුපියල් බිලියන 422.5) එය දේශීය වෙළඳපොලේ ආහාර මිල අධික ලෙස ඉහළ යාමට සහ / හෝ රටේ පවතින විදේශ සංචිත අර්බුදය හේතුවෙන් බරපතල ආහාර හිඟයකට වුවද හේතුපාදක වනු ඇත. ළුලදායී මැදිහත් වීමක් සිදු නොවුනහොත් මෙම තත්ත්වය  දීර්ඝ කාලීන ආහාර අනාරක්ෂිතභාවයක් (Chronic Food Insecurity) දක්වා වුවද වර්ධනය විය හැකිය.

ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව හා සමානවේ. එබැවින් COVID-19 වසංගතය හේතුවෙන් ලොව පුරා නිර්මාණය වී ඇති මෙම අතිශය අවිනිශ්චිත හා අස්ථාවර තත්ත්වය තුළ යම් රටක් කිසියම් දේශපාලනික හෝ ආර්ථික ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙන්නේනම් එය අතිශය පරික්ෂාකාරීව සහ විචක්ෂණශීලීව  කළ යුතුවේ. කෙසේ වෙතත් මෙය රටකට විශාල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා යාමට කිසිසේත්ම සුදුසු කාලය නොවේ. මෙම අතිශය අවිනිශ්චිත හා අස්ථාවර කාල පරිඡේදය තුළ අප උත්සුක විය යුත්තේ රටේ ආර්ථිකයේ හා ජන ජීවිතවල අවම බිඳ වැටීමක් පමණක් සිදුවන පරිදි විචක්ෂණශීලීව සහ උපායමාර්ගිකව රාජ්‍ය පාලනය සිදු කිරීමයි (maintaining the status quo).

කතුවරයා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. ඔහු කෘෂිකාර්මක විශේෂ උපාධිය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (එම්.බී.ඒ) පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර චීනයේ දාලියන් තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත. ඔහු කෘෂි ව්‍යාපාර කළමනාකරණය, කෘෂිකාර්මික ව්‍යවසායකත්වය, කෘෂිකාර්මික තොරතුරු කළමනාකරණය සහ කෘෂිතාක්‍ෂණ ව්‍යාප්තිය පිළිබඳ ඉගැන්වීම් හා පර්යේෂණවල නිරත වී සිටී.   [email protected]