A monitor displays Moody's Corp. signage on the floor of the New York Stock Exchange (NYSE) in New York, U.S., on Monday, March 27, 2017. U.S. stocks fell, extending a decline on Friday after President Trump failed to pass his health-care bill, undermining optimism he can enact growth policies that invigorated bulls after the election. Photographer: Michael Nagle/Bloomberg

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු


Standard & Poor’s, Fitch Group සහ Moody’s Investors Service යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ණය ශ්‍රේණිගත ආයතන ත්‍රිත්වයයි. ක්‍රි.ව. 1909 දී ජෝන් මූඩි (John Moody) විසින් ආරම්භ කරන ලද Moody’s Corporation ආයතනය ආරම්භක යුගයේ දී කොටස්, බැදුම්කර සහ බැදුම්කර ශ්‍රේණිගත කිරීමට අදාළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන ලදී. එය ක්‍රි.ව. 1975 දී U.S Securities and Exchnge Commission විසින් ජාතික පිළිගත් සංඛ්‍යාලේඛන ශ්‍රේණිගත කිරීමේ සංවිධානයක් ලෙස පිළිගනු ලදුව ක්‍රි.ව. 2000 දී Dun & Bradstreet යන ආයනයේ හිමිකාරිත්වය යටතේ Moody’s Invesrors Service ආයතනය පිහිටවනු ලැබිණි. එය වාණිජ සහ රාජ්‍ය අංශය විසින් නිකුත් කරනු ලබන බැදුම්කර පිළිබඳ විශ්ලේෂණය කර ජාත්‍යන්තර මූල්‍ය පර්යේෂණ වාර්තා නිකුත් කරනු ලැබේ. මෙම නිකුත් කිරීම සිදු කරනුයේ ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා ය. එ අනුව ඒ ඒ රටවල ණයගැතිභාවය විශ්ලේෂණය කොට කොතෙක් දුරට ඒ ඒ රටවල ආයෝජනවල නියැලීම සුදුසු ද යන්න පිළිබඳ තොරතුරු සැපයීම හි Moody’s හි පරමාර්ථය වන්නේ ය.


Moody’s ආයතනය ණය ශ්‍රේණිගත කිරීමේ දී ආයෝජකයන්ගේ පහසුව පිණිස “ආයෝජන ශ්‍රේණිය” (Investment grade) “සමපේක්‍ෂණාත්මක ශ්‍රේණිය” (Speculative grade) යනුවෙන් මූලික වාර්ගීකරණයක් සිදු කොට ඒ කොටස් දෙකට අදාළ ශ්‍රේණිගත කිරීම් වෙනුවෙන් සංකේත කිහිපයක් භාවිතා කරන අතර ඉන් ගම්‍ය වන අදහස දිගුකාලීන සහ කෙටි කාලීන වශයෙන් ශ්‍රේණිගත කෙට එහි ප්‍රතිඵලය පෙන්නුම් කරයි. (වගුව 1 සහ 2 බලන්න)

ආයෝජන ශ්‍රේණි ධන (+) අගයක් ලෙසත් සමපේෂණ ශ්‍රේණිය යන්න (-) අගයක් ලෙස සලකනු ලැබේ.
Moody’s ශ්‍රේණිගත කිරීමේ හේතුවෙන් ඒ ඒ රටවල් පහත හෙළිමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ ඒ රටවල්වලට ණය ගැනීමේ දී ඉහළ පොලී ආනුපාතයක් ගෙවීමට සිදුවේ.


ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉකුත් සැප්තැම්බර් 28 වෙනි දින ශ්‍රී ලංකාව B2 (සමපේක්‍ෂණාත්මක ශ්‍රේණිය) සිට Caa1 (සමපේක්‍ෂණාත්මක ශ්‍රේණිය) තත්ත්වයට පහත හෙළිමට Moody’s ආයතනය විසින් කටයුතු කෙරිණ. එම තත්ත්වය ආර්ථික විද්‍යාත්මකව ශ්‍රී ලංකාවට බලපාන අයුරු පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක් කරන ලෙස ආර්ථික විශේෂඥයන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලීමක් කරන ලදුව එහිදී ඔවුන් දැක්වූ අදහස් මෙසේය.

ආර්ථිකයේ දී අපි ඉතා අවදානම්

මහාචාර්ය කෙනඩි ගුණවර්ධන


මූඩිස් කියන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්. ලෝකයේ ඕනෑම රටක මූල්‍ය තත්ත්වය, ඒ රටේ තිබෙන සෞභාග්‍යය තත්වයන් සලකා බලා ඔවුන් යම්කිසි අගයක් ලබා දෙනවා. එම අගය හොඳ නම් A ඊළඟට හොඳ නම් B අවදානමක් සහිත නම් C තත්වය බොහෝම බොහෝම භයානක නම් D කියලා Moody’s ආයතනය ප්‍රකාශ කරනු ලබනවා.


මූඩිස් වැනි ආයතනයක් එවැනි ශ්‍රේණිගත කිරීමක් කරන්නේ ලෝකයේ අනිකුත් රටවල් හෝ ආයතන එම රටත් එක්ක ගනුදෙනු කරන කොට ඒ රටේ අගය දැනගත්තාම ඒ අයට අවදානම පිළිබඳ අවබෝධයක් ලබාගත හැකියි. ඔය කරුණුවලට අනුව ලංකාවට B-2 සිට Caa 1 තියෙන අගය ලබාදීම සිදු කර තිබෙනවා. මෙම Caa 1   අදහස ඉතා අවදානම් තත්වයක් තිබෙන හෙයින් ඔබ සුපරීක්‍ෂාකාරී විය යුතු බවයි. එවැනි අගයක් දකුණු අප්‍රිකාවට ලබාදී තිබුණා. ග්‍රීසියට ද ලබාදුන්නා. ග්‍රීසිය එවැනි අගයක් ලබාදී සුළු කලකට පසු එරට බංකොලොත්භාවයට පත් වුණා.
අපේ රටේ තිබෙන තත්වයත්, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කොතෙක් දුරට ගමන් කර තිබෙන්නේ ද යන තත්ත්වයත් සලකා බලා අගයක් ලබාදීමට සිදු කරනවා. එවැනි අගයක් ලබාදීම හේතු කොටගෙන මූඩිස් ආයතනය එක්ක තරහා වී මේ ගනුදෙනුව කරන්න බැහැ. ඊට හේතුව මූඩිස් කියන්නේ ස්වාධීන ආයතනයක්. එම ආයතනය මෑතකදී ලබා දුන් අගය නිසා අප රට පහතට වැටී තිබෙන බව අනාවරණය කිරීමක් සිදු කෙරෙනවා. අප රටට ඔක්තෝම්බර් මස ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක බැඳුම්කරයක් ගෙවා දැමීමට තිබෙනවා. ඒ හේතුව මතත් මෙවැනි අගයක් ලබාදීමට බලපාන එක හේතුවක්.


අවුරුදු පහකට පෙර නිකුත් කරන ලද බැඳුම්කර අප රට අනිවාර්යෙන්ම ගෙවා නිම කළ යුතුයි. බැඳුම්කර නිකුත් කරන්නේ ආණ්ඩුවට ණය ගැනීම සඳහා යි. රජය ණය ගනු ලබන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් දේශීය බැංකුවලින් ආණ්ඩුවට ණය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊළඟට විදේශීය රටවල් වලින් හෝ ජත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි විදේශීය ආයතනවලින් ණය ගැනීමට හැකියාව තිබෙනවා. අපේ රට “ස්වෛරීත්ව බැඳුම්කර” නිකුත් කරන්නේ විදේශීය රටවල්වලින් හෝ විදේශීය ආයතනවලින් මුදල් ලබා ගැනීම සඳහායි. විදේශීය රටවල් හෝ විදේශීය ආයතන ඒ බැඳුම්කර මිලදී ගත් විට අපිට මුදල් ලැබෙන අතර එය ණය ගැනීමේ ක්‍රමයක්. හැබැයි ඒ ණය ගෙවන්නේ අවුරුදු පහකට පසුවයි. අවුරුදු පහකට පෙර නිකුත් කරන ලද බැඳුම්කරය පොලී මුදලකුත් සමග ගෙවා දමා නිදහස් කිරීම සිදු කරන අතරේ තවත් බැඳුම්කරයක් නිකුත් කරමින් පෙර බැඳුම්කරය නිදහස් කර ගැනීම සඳහා මුදල් සොයා ගන්නවා. ශක්තිමත් රටක එක බැඳුම්කරය රුපියල් 100 ක් නම් එය රුපියල් 100 හෝ 110 ක් වැනි වැඩි අගයකට විකිණීම සිදු කළ හැකියි. දුප්පත් රටවල බැඳුම්කරයේ අගය අඩු වෙනවා. අද අපි රුපියල් 100 බැඳුම්කරයක් රුපියල් 40 කට නිකුත් කළා නම් තව අවුරුදු පහකින් රුපියල් 100 ක ලබාදීමෙන් නිදහස් කිරීමට සිදු වෙනවා. ඊට අමතරව සෑම අවුරුද්දකම පොලියක් ද ඒ වෙනුවෙන් අපිට ගෙවීමට සිදුවෙනවා. අපි A ශ්‍රේණිය තුළ හිටියා නම් කිසිම කරදරයක් නැතුව රුපියල් 100 ක බැඳුම්කරය රුපියල් 100 කට හෝ ඊට ආසන්න අගයකට බැඳුම්කරය නිකුත් කර හැකි ඉක්මනින් මුදල් ලබා ගැනීමට පුළුවන් වෙනවා. ඒත් අවාසනාවකට වගේ අපට ශ්‍රේණිගත කිරීම්වලදී අගය අඩු වූ විට රුපියල් 100 බැඳුම්කරය විකිණීමට සිදු වන්නේ රුපියල් 40 යි. එවිට එම බැඳුම්කරයෙන් විශාල පාඩුවක් රටට සිදුවෙනවා. ඒ අනුව අපට ණය ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. එය අප රටට තිබෙන අවාසි සහගත තත්වයක්.


අප රටට ශ්‍රේණිගත කිරීම්වලදී අගය අඩු වුණේ ඇයි? ඊට බලපාන සාධක කිහිපයක් තිබෙනවා. එකක් අයවැය හිඟය. 2020 දී අයවැයක් නොපැමිණිය ද අයවැය හිඟය 8% – 9% ත් අතර ප්‍රමාණයක් තිබෙන බවට උපකල්පනය කර තිබෙනවා. ඒක ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ ආදායමයි වියදමයි අතර තිබෙන පරතරය ලොකු අගයක් ගැනීමයි. ඊළඟට අපේ ජාතික ආදායමට සමානව ලෝකයෙන් ණය අරගෙන තිබෙන ණය ප්‍රමාණයත් බලපානු ලැබුවා. එය අපේ රටට අවාසිදායක තත්ත්වයක්. අප රටේ දිගුකාලීන වශයෙන් අපේ සංචිතයන් එන්න එන්නම අඩු වෙමින් පැවතීම ද තවත් සාධකයක් වෙනවා. ඒ එසේම රජය ණයට ගැනීමේ පිරිවැය වැඩිවීම, පුද්ගලික අංශයෙන් විශාල ආදායමක් අහිමිවෙමින් පැවතීම, ආර්ථික ප්‍රතිසංස්කරණවලට රජය නොයෑම, විශාල ලෙස රජයේ රැකියා ලබාදීම තුළ රජයේ ආදායම විශාල ලෙස ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවීම යන කරුණු ද Moody’s අගයන් අඩු කිරීමට බලපා තිබෙනවා. මෙලෙස අඩු කිරීම තුළින් ණය ගැනීමේ පිරිවැය ඉහළ යාම තුළ උද්ධමනය වැඩිවීමක් සිදු වෙනවා. මෙවැනි අගයක් අප රටට ලැබුණාම විදේශීය රටවල තිබෙන පිළිගැනීම පලුදුවීමක් සිදු වෙනවා. මෙම තත්වය උපක්‍රමශීලීව පාලන කිරීමට රජය කටයුතු කළ යුතුයි.


අපට ලබාදී තිබෙන මූඩිස් අගය ඉහළ දමා ගැනීමට කඩිනමින් රාජ්‍ය ආයතවල කාර්යක්‍ෂමතාවය ඇති කොට ඒවා ලාභදායි ආයතන බවට පත් කළ යුතුයි. ඒ වගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීම ද සිදු කළ යුතු වෙනවා. ආණ්ඩුව කිසියම් අයුරකින් දැන්ම ආර්ථික ප්‍රතිසංස්කරණවලට යොමු වුවහොත් ආණ්ඩුවට ඔළුව උස්සා ගැනීමට හැකියාවක් ලැබේවි. ඉන් මා අදහස් කළේ රාජ්‍ය අයවැය හිඟය පියවා ගැනීමට හැකියාවක් ඒ හරහා ලැබේවි.

ආදායමෙන් ලොකු කොටසක් ණය ගෙවීම සඳහායි

ආචාර්ය චන්දන අලුත්ගේ

ලෝකයේ බහුලව සකස් වී තිබෙන්නේ ණය ගැනීම් මත දුවන ආර්ථිකයක්. එක් එක් රටවල් ණය ගත්තාම ඔවුන්ට ණය ගෙවා දැමීමට කොතරම් ශක්‍යතාවයක් තියෙනවා ද කියන එ ලෝකයේ ජනතාවට, ආයතනවලට සහ රටවල්වලට වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ ශක්‍යතාව පිළිබඳ ගැටලු තිබෙනවා. මූඩිස් දර්ශකයේ පහළ අදිරයකට එය වැටී තිබීමෙන් ඒ බව සනාථ කෙරෙනවා. එම දර්ශකය ගණනය කිරීමේ දී මූඩිස් ආයතනය විවිධ පැතිකඩවලින් විශ්ලේෂණය කරනවා. මෙරට ආනයන – ආපනයන ශක්‍යතාව, ණය ප්‍රමාණය සහ ආදායම් ගණනය කිරීමේ ශක්‍යතාව මෙන්ම ඉදිරියේ දී බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිපත්ති ඇසුරු කරගෙන තමයි මෙම ශක්‍යතාවය ගණනය කරන්නේ.


ශක්‍යතාවය පහළට යනවා කියන්නේ අපේ ණය ගෙවීමේ අවදානම වැඩි වෙනවා කියන එක. ශ්‍රී ලංකාව දැනටමත් විශාල වශයෙන් ණය ලබාගෙන තිබීම තුළ ණය ගොඩ ගැසී තිබෙනවා. එම ණය ගෙවන්න තව ණය ගැනීම සිදු කරනවා. එසේ කිරීම ඉතා බැරෑරුම් තත්ත්වයක්. එහි ප්‍රතිඵලය හැටියට අපිට දකින්නට ලැබෙන්නේ අපේ ආදායමනේ විශාල ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා වැය වෙනවා.


මූඩිස් ආයතනය විසින් හැම රටක් සම්බන්ධයෙන් ණය ශ්‍රේණිගත කිරීම් කරනවා. එම ආයතනය B 2 සිට Caa 1 තත්ත්වයට පහළ දමා තිබෙන්නේ අප රටක් හැටියට අවදානම් ආර්ථිකයක් පවත්වාගෙන යන බව අනාවරණය කිරීමටයි. ඒ නිසා පවතින රජය උනන්දු පාර්ශ්වයන් සහ සංවිධාන විසින් අපි මේ වෙනුවෙන් කුමක් සිදුකළ යුතු ද කියා සොයා බැලිය යුතුයි.


ණය ගැනීමෙන් මොකක්ද තිබෙන ගැටලුව කියා යමෙකුට ඇසිය හැකියි. ණය ගැනීම ප්‍රශ්නයක් නොවේ. එය ඒ ණය අරගෙන අපි මොනවාද කරන්නේ? ඒ ණයවලින් ආදායම් උපයනවාද ? කියන කාරණා ගැන සැලකිල්ලක් දැක්විය යුතුයි.


ශ්‍රී ලංකාවේ ණයගැතිභාවය ඊයේ පෙරේදා ඇති වු දෙයක් නොවේ. නිදහසින් පසු කාලයේ සිට මේ තත්ත්වය ඇති වී තිබෙනවා. දේශීය සහ විදේශීය වශයෙන් ආදායම් උපයා ගැනීම ක්‍ෂේත්‍රය ගත් විට අප රට ඉතා කණගාටුදායක තත්ත්වයක ඉන්නේ. ඒ ශක්‍යතාවය අපි වර්ධනය කරගන්න ඕනේ.


ලෝකයට විකුණන්න පුළුවන් භාණ්ඩ සහ සේවා මොනවාද කියා විමසා බලා ඒවාට යොමු වීම ඉතා අඩුයි. අපි තවමත් පිටරට යවන්නේ තේ, ඇඳුම් පැළදුම් සහ ශ්‍රමිකයන්. මේ වන විට ලංකාව ලෝකයේ තේ සපයන රටක් වශයෙන් සිටින්නේ හතර වන ස්ථානයේ. ලෝකයට ඇඟලුම් සපයන්නේ 2%ක් විතර ප්‍රමාණයකින් වන අතර ඉතිරිය අනෙකුත් රටවල් විසින් සිදු කරනවා. දැන් පවතින ලෝක තත්ත්වයන් අනුව අපේ විදේශගත ශ්‍රමිකයන්ට තිබෙන ඉල්ලුම ඉතා විශාල වශයෙන් පහළ මට්ටමකයි තිබෙන්නේ. විදේශිකයන් ඔවුන්ගේ ආදායම් තත්ත්වය අඩු වුණාම ඉස්සෙල්ලාම කප්පාදු කිරීමට බලන්නේ ඔවුන් ළඟ සිටින විදේශීය ශ්‍රමිකයන් සේවයෙන් පහ කිරීමයි.


මූඩිස් ආයතනය පෙන්වා දෙන අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවයක්. එසේ නොමැතිව අප රටේ ණය ගැනීමේ ශක්‍යතාවය තවදුරටත් පහළට ගියහොත් අප්‍රිකාවේ තිබෙන සමහරක් රටවල තත්ත්වයට අප රටත් පත්වෙනවා. ඒ නිසා රටේ ආර්ථික ප්‍රශ්නවලට ප්‍රමුඛතාවය ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුයි. ඒත් රජය විසින් ආදායම් උපද්දන්න ලබාදෙනු ලබන අවධානය ඉතාම අවමයි. අද වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙහි ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙනවා. ඊට වඩා රටේ ආර්ථිකයට ප්‍රමුඛතාවය දැක්විය යුතුයි.

අප ගත යුත්තේ ධනාත්මකවයි

ආචාර්ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන

මූඩිස් ආයතනය ණය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව නම් කරලා තියෙන්නේ කෙටිකාලීන නොව දිගුකාලීන වශයෙන් බව හුඟ දෙනෙක් දන්නේ නැහැ. දිගුකාලීන කියා අදහස් කරන්නේ අවුරුද්දකට වැඩි කාලයක් ගෙවී ගිය පසු ඇති වන තත්ත්වයයි. ඉකුත් ඔක්තෝබර් 4 වැනි දින ගෙවීමට තිබුණු ණය ශ්‍රී ලංකාව ආපසු ගෙවා තිබෙනවා. ඒ නිසා මූඩිස් ආයතනය කරන ලද ප්‍රකාශය සියලු දෙනාම වැරදියට තේරුම් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ දිගුකාලීනයේ දී ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනය හරියට හදාගත්තේ නැත්නම් තත්ත්වය භයානකයි කියන එක.

දෙවැනි කාරණය ශ්‍රී ලංකාව ණය ගැනීමේ දී ශ්‍රේණිගත කරන්නේ Fitch සහ Standard and Poor’s ආයතන මිස Moody’s නොවේ. ඒ අනුව ඔය කරුණු දෙක නිසා Moody’s විසින් කරන ලද පහත හෙළීම එතරම් ලොකු බලපෑමක් ශ්‍රී ලංකාවට නැහැ. නමුත් ඒකෙන් අපට ලබාදී තිබෙනවා අනතුරු හැඟවීමක් අවුරුද්දකින් පස්සේ ඇති වන අයහපත් අයවැය ලේඛනයක් ඇති වුවහොත් තත්ත්වය භයානකයි කියන එක. ඒක හුදෙක් වෛiවරයකු විසින් යම් රෝගියකුට අවුරුද්දකින් විතර දියවැඩියාව හැදෙන්න තියෙනවා නම් දැන්ම සීිනි කෑම නතර කරන්න කියලා. ඒ නිසා Moody’s ශ්‍රේණිගත කිරීම අප ගත යුත්තේ ධනාත්මකවයි. ඔවුන් කර තිබෙන්නේ අනතුරු ඇඟවීමක්. එසේ නොමතිව Moody’s ආයතනයට බැනලා වැඩක් නැහැ. එමගින් අපට තියෙන බලපෑම ඉතාමත් සීමිතයි. ඒ කියන්නේ ඔක්තෝබර් 4 වෙනි දින කල් පිරුණු ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක ණය ඔක්තෝබර් දෙවැනි දින ශ්‍රී ලංකාව ගෙවා දැම්මා. ඒක ගෙවන්න අපිට සල්ලි තියෙනවා. නමුත් ලබන අවුරුද්දට එහා යන විට අපිට ලොකු සටනක් තියෙනවා. ඒකයි ඒගොල්ලෝ කියන්නේ. ආණ්ඩුවේ අයටත් මේ තත්ත්වය හරිහැටි පැහැදිලි කරන්න ඔවුන් හරියට දන්නේ නැහැ.
හරි ඇත්ත මේ තත්ත්වයයි. නමුත් මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් කියා සිටියේ වැරදි Moody’s ආයතනය විසින් විශ්ලේෂණ පදනම් කරගෙන කරන ලද ශ්‍රේණිගත කිරීමක් බවයි. හරි ඇත්ත නොකියා වලිගය පාගා ගෙන කතා කරලා වැඩක් නැහැ. ඒගොල්ලොත් දන්නේ නැහැ ඇත්තටම මේ මොකක්ද කියලා. මේක දීර්ඝකාලීනව ඇති විය හැකි තත්ත්වයක්.


2010 සිට ආර්ථිකය තුළ ඇති වූ ලොකු අර්බුදයක් තිබෙනවා. ඒකට විසඳුමක් මහින්ද රාජපක්‍ෂ රජයෙන් හෝ යහපාලන රජයෙන්වත් ලැබුනේ නැහැ. ඒක උග්‍රවෙලා තියෙන්නේ. ඒක විසඳන්න පුළුවන් ක්‍රමය තමයි පිටරටින් ණය ගන්න එක. නමුත් අපිට ජාත්‍යන්තර වෙළඳපලට ගිහින් ණය ගන්න බැහැ. ඒකට හේතුව දිගුකාලිනව අඩු ශ්‍රේණිගත කිරීමක් ශ්‍රී ලංකාවට ලැබී තිබීමයි. ඒ නිසා රජය කරන්නේ කෙටිකාලීනව ණය ගන්න පුළුවන් රටවලින් ණය ගන්නවා. උදාහරණයක් විදියට ඉන්දියාව ශ්‍රී ලංකාවට දී තිබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්. චීනය මිලියන 600 ක්. මේක මිලියන 1000 දක්වා වැඩි කර ගැනීමට ඉන්දියාව සමග රජය කතා කරමින් පවතිනවා. චීනයත් සමග කතා කරමින් එය මිලියන 1500 දක්වා වැඩි කර ගැනීමට අපේක්‍ෂා කරනවා.


මෙම ආර්ථික අර්බුදයට හේතුව ශ්‍රී ලංකාවේ ආදායමට ඔරොත්තු නොදෙන පාරිභෝජන මට්ටමකට අපි ගිහින් තිබීමයි. ඉස්සර මෝටර් කාර් ගෙන්වීමට ඉඩ දුන්නා. එතකොට කාර් බලපත්‍ර දේශපාලඥයන්ට ලබා දුන්නා. ඒ කාර්වලට පෙට්‍රල් ගැසිය යුතු අතර ඒවාට සල්ලි විදයම් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හදන්නේ නැහැ. ඒ ආකාරයෙන් වියදම අනිත් පැත්තට ගිය තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇමැති මණ්ඩලය විශාල පිරිසක් තියාගෙන හිටියා. දැනුත් බැලුවාම තිහකට අඩු කරගෙන තිබෙනවා. ඒත් රාජ්‍ය ඇමතිවරු ප්‍රමාණය වැඩියි. 1948 ඉඳන් සමස්ත පාරිභෝජන මට්ටම ඉහළ තත්ත්වයක පවත්වාගෙන යාමේ ප්‍රතිඵල වශයෙන් තමයි මේ උග්‍ර ආර්ථික අර්බුදය ඇති වී තිබෙන්නේ. ඒකට විසඳුම තමයි මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තිබෙනවා මෝටර් කාර් ගෙන්වීම තහනම් කරන්න. රෙදිපිළි ගෙන්වීම තහනම් කරන්න. ඉස්සරහට කිරිපිටි ගෙනෙන එකක් තහනම් කරන්න වෙයි. රටේ ආදායම අනුව පරිභෝජනය සිද්ධ විය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here