චාමිනි වික්‍රමසිංහ

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර ශිෂ්‍යයකු වන චතුර විමර්ශ ප්‍රනාන්දු විසින් පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ One blood කෙටි චිත්‍රපටය පසුගියදා පැවති පළමුවැනි හොලිවුඞ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී ඇගැයුමට පාත්‍ර විය. රටවල් සියයකට අධික සංඛ්‍යාවකින් ඉදිරිපත් වුණු චිත්‍රපට දහසකට වැඩි ප්‍රමාණයකින් One blood හි රඟපෑ ශ්‍යාම් ප්‍රනාන්දුට හොඳම නළුවා සම්මානය හිමිවිය. මේ කතාබහ එහි අධ්‍යක්ෂ චතුර විමර්ශ ප්‍රනාන්දු සමගය.

චතුර ප්‍රනාන්දු සිනමාවට ප්‍රවේශ වෙන්නේ කොහොමද?


මම පාසල් අධ්‍යාපනය ලැබූවේ මීගමුව ලොයොලා විදුහලෙන්. පාසල් කාලයේ ඉඳන්ම සිංහල නාට්‍ය කණ්ඩායමේ වගේම ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායමෙත් හිටියා. ඒ කාලේ ඉඳන් වේදිකාවට සිංහල නාට්‍ය පිටපත් රචනය කළා. චිත්‍රපට ගැන ඉගෙන ගන්න හදාරන්න අවස්ථාව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ නැති වුණත් මම පාසල් කාලේ ඉඳන්ම වේදිකාව සමග වැඩ කළා. පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රතිබිම්බ කලා උපාධි අපේක්ෂකයෙකු වශයෙන් සිනමාව පිළිබඳව හැදෑරීමක් කළා.


කොහොමද මේ One blood නිර්මාණය වෙන්නේ?


ඇත්තටම මේක බිහිවෙන්නේ මගේ විශ්වවිද්‍යාලයේ අවසන් ව්‍යාපෘතිය විදියට. ඒත් මම මේක කළේ විභාගය විතරක් අරමුණ කරගෙන නෙවේ. අපිට ඕනේ වුණේ එළියේ සමාජයට වගේම අන්තර්ජාතික තලයට අලුත් වැඩක් කරන්න. ඒ වගේම මේ චිත්‍රපටිය බිහිවෙන්න ආසන්නතම සිදුවීම් කිහිපයක් තියෙනවා. එකක් තමයි මගේ සමීපතම මිත්‍රයෙක් සහ ඔහුගේ පියා අතර තිබූ විරසකය. ඇත්තටම ඒ තාත්තට තමන්ගේ පුතාව මරන්න තරම් හිතෙන විදියේ පිය පුතු අරගලයක් එතන තිබුණා. එතනින් තමයි මේ නිර්මාණය කරන්න මූලික අදහස මට ආවේ.


කතාව ගොඩනැගීමේදී සිග්මන්ඞ් ෆ්‍රොයිඞ්ගේ මනෝ විද්‍යාත්මක න්‍යායන් පාවිච්චි කළා. ග්‍රීක යුගයේ තිබුණ ක්‍රෝනස් සහ සියුස් ගැටුම පෙන්නුම් කළා. හැම සමාජ තලයකම තියෙන පිය පුතු අරගලය මම කතා තේමාව කරගත්තා. පිය පුතු අරගලයක් කියන්නේ හරිම දාර්ශනික ගැටුමක්. අවසානයේදී චින්තනමය ජයග්‍රහණයක් තුළින් තමයි අනාගතය කරා යන්න පුළුවන්.


ඒ වගේම මම මේ කතාව ගොඩ නගද්දි සත්‍ය සිදුවීම් කිහිපයක් යොදා ගත්තා. එකක් තමා මීට වසර ගණනාවකට පෙර දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වයකදී පොලීසිය අතින් පුද්ගලයකු මිය යනවා. ඒ කතාවේ සත්‍ය දර්ශනය මම චිත්‍රපටය තුළ ප්‍රතිනිර්මාණය කළා. මේ නිර්මාණයේ ආකෘතිය වුණේ පරිච්ඡේද සංකල්පයක්. එහිදී මම පරිච්ඡේද තුනක් භාවිත කළා. මේ චිත්‍රපටයේ පසුබිම් කතාව ඒක.


මේ චිත්‍රපටිය සඳහා ඔබ චරිත තෝරාගැනීම කළේ කොහොමද?


කැලණිය විශ්වවිද්‍යාලයේ සංජීව සර් ඇතුළු කිහිප දෙනෙක්ගෙන් මම අදහස් විමසුවා. එතනදි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරන්නේ ශ්‍යාම් ප්‍රනාන්ද්‍ර කියන දේ මගේ ඔළුවේ තියාගෙන තමයි මම ඒ අදහස් විමසුවේ. පස්සේ මේ චිත්‍රපටියේ කාස්ටින් කරපු ඉෂාර අයියා තේරුවෙත් ශ්‍යාම්ව. මේකේ අමාරුම කොටස වුණේ ළමා චරිතය තෝරගන්න එක. එතනදී පුතාගේ ළමා කාලේ සිදුවීම් ටික නිරූපණය කරන්න ගැළපෙන කෙනෙක් අපිට ඕනේ වුණා. ඒකට ගොඩක් ඉෂාර අයියා මහන්සි වුණා. පස්සේ අපි තුන් දෙනත් එක්කම පෙර පුහුණුවීම් කරලා තමයි රූගතකිරීම්වලට ගියේ.


මෙවැනි ජයග්‍රහණයක් ලබාගන්න චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන්නෙම හරි වෙහෙසකර වෑයමක්. එතනදි ඔබ මුහුණ දුන්නු දුෂ්කරතා, අභියෝග මොනවද?


මෙතනදි මම වැඩ කළේ මගේ සමකාලීනයන් එක්ක. සචිත් බුද්ධික මනම්පේරි සහ විමුක්ති සෝලංග ආරච්චි අයියා තමයි කැමරාකරණය කළේ. කලා අධ්‍යක්ෂණය කළේ කසුන් රජීව කියලා මගේ සමීපතමයෙක්. මේකෙදී අපිට සමහර දේවල් කලින් කරලා බලන්න වුණා. අපිට විශාල වශයෙන් තිබ්බ ගැටලුවක් තමයි බජට් එක. මොකද අපි මොන දේ කළත් බජට් කියන සීමාව ඇතුළේ ඉඳන් කරන්න වෙනවා. නැත්නම් අපිට අවසානයේ හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි ගොඩක් අත්හදා බැලීම් කළා. සමහර වෙලාවට මමයි සචිතුයි ගොඩාක් චිත්‍රපටි බැලුවා. ඒ ගැන කතා කළා. මොකද ෂූට් එක ඇතුළෙදි ඒක අවුල් වුණොත් කියන බය අපිට තිබ්බා. අපිට ඕනේ වුණේ වැරදි අවම කරගෙන මේ නිර්මාණය බිහි කරන්න. මගේ කණ්ඩායමේ නිෂ්පාදන අධීක්ෂණය කළේ ප්‍රභාත් අගම්පොඩි සර්. එතනදී සර් අපට ගොඩක් උදව් කළා. ඒ වගේම කණ්ඩායමක් විදියට අපි අපේ පෙර පුහුණුවීම් හොඳින් කළා.


මේ චිත්‍රපටියට One blood කියන නම දැම්මේ ඇයි?


අපි දෙන්නටම එහෙම නැත්නම් තාත්තෙක්ට සහ පුතෙක්ට තියෙන්නේ එක ලේ කියන සංකල්පය තුළ ඉඳන් තමයි මම මේ නම දැම්මේ. මොකද හැම වෙලේම පිය පුතු කියන පාරම්පරික බැඳීමේ මූලික කාරණය වෙන්නේ මේ එකම ලේ කියන සංකල්පය.


ඔබ මෙම කෙටි චිත්‍රපටිය හරහා සමාජගත කිරීමට වෑයම් කළ අදහස මොකක්ද?


අපිට ඕනේ වුණේ මෙතනදී සමාජ යථාර්ථයක් පෙන්නුම් කරන්න. මොකද අපේ රට දේශපාලනික හා සමාජීය වශයෙන් හැමවෙලේම පිය පුතු අරගලය පෙන්වනවා. ඒක ඇත්තටම පිය පුතු අරගලයක් වගේම පරම්පරා දෙකක ඝට්ටනයක්. මෙතනදි පිය පරම්පරාවක් විසින් පුතු පරම්පරාව චින්තනමය වශයෙන් පරාජය නොකරන තාක් අපිට අනාගතයක් නෑ. අපි එකම තැන හිරවෙලා ඉන්නවා. ඒ දාර්ශනික කේන්ද්‍රස්ථානය පෙන්නුම් කිරීමට මම උත්සාහ දැරුවා. මම කරන හැම නිර්මාණයක් ඇතුළෙම මම පෙන්වන්න හදපු දෙයක් තමයි මිනිස්සු ගන්න තීරණ, ඛේදාන්ත හා සුඛාන්ත තීරණය වෙන්නේ මානුෂීය සබදතා එක්ක කියන එක. එතකොට මේ පිය පුතු කියන මනුෂ්‍ය සබඳතාව පදනම් කරලා පොඩි චින්තනමය විප්ලවයක් හරහා මිනිස්සුන්ට අලුතින් හිතන්න දෙයක් දෙන්න මට ඕනේ වුණා. ඒ නිසාම මේ චිත්‍රපටයට හොඳ කියවීමක් තියෙනවා කියලා මම හිතනවා. පිය පුතු කතාවේ මතුපිටින් තියෙන මානුෂීය සම්බන්ධයේ පුතාගේ පරාජය සමග අනාගතය නවතිනවා කියන චින්තනය හදන්න අපි උත්සාහ කළා.


ලංකාවේ කෙටි චිත්‍රපට ගැන ඔබේ අදහස කුමක්ද?


මෑතකාලීනව කෙටි චිත්‍රපටි සඳහා පෙර පැවති තත්ත්වයට වඩා යම් හොඳ ප්‍රවණතාවක් තියෙනවා කියන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ අපි මේක මාරයි, නියමයි කියන තැනක අපි ඉන්නවා කියන එක නෙවේ. නව්‍ය නිර්මාණකරණය, ඒ සඳහා නව ආකෘතීන් පැමිණීම මෙහි හොඳ ප්‍රවණතා විදියට අපි දකිනවා.


කෙටි චිත්‍රපට කියන්නේ හරියට පර්යේෂණගාරයක් වගෙයි. ඒක ඇත්තටම අත්හදා බැලීමක්. කෙටි චිත්‍රපටවලින් කරන පර්යේෂණ තමයි මහ සිනමාවේ අනාගතය තීරණය කරන්නේ. ඒ කියන්නේ කෙටි චිත්‍රපටවලදී අපිට ඕනේ පර්යේෂණයක් කරන්න අවකාශය තියෙනවා. ඒකෙදී අපි භාවිත කරන තේමාවන්. කතා ශෛලිය එක්ක තමයි අපිට මහ සිනමාව ජයගන්න පුළුවන් වෙන්නේ. ලංකාව ඇතුළේ කෙටි සිනමාව කියන්නෙම පර්යේෂණාත්මක දෙයක්. ඒ පර්යේෂණ ගතිය ලංකාව ඇතුළේ ගොඩක් නිර්මාණවල තියෙනවා.


හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි ලංකාවේ සිනමා උළෙලවල්වල කෙටි විත්‍රපට වෙනුවෙන්ම අවකාශයක් තාම හදලා නෑ. සිනමා සම්මාන උළෙලවල් කෙසේ වෙතත් ප්‍රදර්ශනය කරන්න තියෙන අවකාශයක් අපිට නෑ. අපි විදේශ රටවල්වල චිත්‍රපට උළෙලවල් සඳහා දානව නම් ඒවා සමාජ ජාලා මාධ්‍යවල දාන්න බෑ වගේ ඒ අය නීති රීති කීපයක් දානවා. එතකොට මේක පෙන්වන්න පුළුවන් ලංකාවේ සිනමා ශාලාවල්වල විතරයි. යූ ටියුබ් දාන්න කාලයක් යනවා.

ඒක සිනමා උළෙලට ගිහින් ආවට පස්සේ තමා අපිට යූ ටියුබ් දාන්න පුළුවන්. ඒ නිසා ප්‍රධානම කාරණාව තමා මේ කෙටි චිත්‍රපටි බලලා ඒ ගැන කතා කරන්න පුළුවන් අවකාශයක් අපි අපේ රට තුළ හදන්න ඕනේ. මොකද චිත්‍රපට උළෙලකට ඉදිරිපත් කරලා සම්මාන දෙනවා කියන දේ තුළින් මේක අවසන් වෙනව නම් ඒකේ තේරුමක් නෑ. ඒක මාසිකව හරි සතියකට හරි වෙනවනම් හොඳයි. මොකද එක සිනමා ශාලාවක එක දර්ශන වේලාවක් ගැළෙව්වොත් ඒ වෙනුවට කෙටි චිත්‍රපට කිහිපයක් පෙන්වන්න පුළුවන් නම් කෙටි චිත්‍රපටවලට අදාළ ප්‍රේක්ෂකාගාර අපිට හදන්න පුළුවන්. මොකද කෙටි විත්‍රපට තුළින් චිත්‍රපටිකරු වගේම ප්‍රේක්ෂකයිනුත් වෙනස් වෙනවා. කෙටි චිත්‍රපටිවලින් කෙටි කාලයකදී ප්‍රේක්ෂක මනසට බලපෑමක් කරනවා. ඒකෙන් අපිට ප්‍රේක්ෂකයින් හිතන විදිය වෙනස් කරන්න පුළුවන්. නමුත් තවම අපිට කෙටි චිත්‍රපටි බලලා ඒ ගැන කතා කරන්න අවකාශයක් හදාගන්න ඉඩක් නෑ. දැන් ලංකාවේ හොඳ කෙටි චිත්‍රපට බිහිවෙනවා ඒත් කෙටි චිත්‍රපටයක් බිහිවීමේ මූලික අරමුණ ඒක පෙන්නලා සල්ලි හොයන අරමුණ වෙන්න බෑ. එක්කෝ ඒක කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන් හෝ සමාජයට දිය යුතු පණිවිඩයක් වෙනුවෙන් විය යුතුයි. එතකොට ඕනෑම චිත්‍රපටකරුවෙක් සතයක්වත් අය කරන්නේ නැතුව තමන්ගේ චිත්‍රපටය පෙන්වන්න සූදානම්.

හැබැයි ඒ සඳහා අවකාශය දෙන්න ඕනේ. මොකද කෙටි චිත්‍රපට වෙනුවෙන්ම බිහිවූ ප්‍රේක්ෂකයින් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ නිසා එවැනි දේ සඳහා ලාංකීය සිනමාවේ කලාගාර අවකාශය පුළුල් කරන්න පුළුවන්නම් ඒක ඉතාමත් වටිනා දෙයක්.


අලුතින් කෙටි චිත්‍රපට නිර්මාණය කරන්න කැමැත්තෙන් ඉන්න අයට ඔබ ආධුනික අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් දෙන පණිවිඩය කුමක්ද?


මම නිතරම කියන්නේ කෙටි චිත්‍රපටි කියන්නේ පර්යේෂණාගාරයක්. ඒ කියන්නේ අපිට වරදින එකත් කෙටි චිත්‍රපටි තුළ තියෙන ඉගැන්වීමක්. වරදිනවා කියන්නෙත් එක්තරා අධ්‍යයනයක්. මොකද මහ සිනමාවට එනකොට අපිට ගනුදෙනු කරන්න ඕනේ විදියක් තියෙනවා. වියදම වැඩියි. මොකද සිනමාව කියන්නෙම කර්මාන්තය එක්ක බැඳිච්ච කලාවක්නේ. සිනමාවේ අපේ ආකෘතිය ඇතුළේ හැමදේම, ඒ කියන්නේ අපිට ඕනේ රිදම් එක හදාගන්න තැන තමයි කෙටි චිත්‍රපට කියන්නේ. ඒ නිසා කෙටි චිත්‍රපටවලදී අපි නිතරම උත්සාහ කරන්න ඕනේ පර්යේෂණාත්මකව වැඩක් කරන්න. ආකෘතිමය වශයෙන් හරි අන්තර්ගතමය වශයෙන් හරි අපේම අනන්‍යතාවක් ගොඩනගා ගන්න එක තමා හොඳම දේ වෙන්නේ. ඒකෙන් තමා අපේ අනාගතය තීරණය වෙන්නේ. ඒක වෙනම අධ්‍යයනයක්. ඒක හරි ගියත්, වැරදුණත්, මොනවා ලැබුණත්, නොලැබුණත් කොටින්ම ප්‍රතික්ෂේප වුණත් ඒක අධ්‍යයනයක්. ඒ නිසා ඒ අධ්‍යයනය අරමුණු කරගෙන කෙටි චිත්‍රපට කරන්න පුළුවන් නම් ඒක වඩා ඵලදායි දෙයක් කියලා මට හිතෙනවා. ■